බණ්ඩාරදූවට සිනා මල් කැන්දූ කළුගල්ඔය නිල් දියවර….

215

කොටි ගමේ 31ක් මරලා දැම්මා…..

හේන් ගොවිතැන කරලා ජීවත් වුණේ..

එදා ගමට පාරක් තිබ්බේ නෑ., බස් එකක් නෑ……කිලෝ මීටර් පහළොවක් පයින් ගියා

දිගාමඩුලූ පුරවරයේ උහන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරදුව නම කී සැණින් අපට සිහිපත් වන්නේ අතිදුෂ්කර ගම්මානයකි. වසරේ එක් කන්නයක් පමණක් හේන් ගොවිතැනින් දිවිය සරි කරගන්නා ජනතාවක් වෙසෙන මෙම ගම්මානයේ ජනයා අතීතයේ සිට අප‍්‍රමාණ දුක් කන්දරාවක් විඳින්නට වූහ.

අතීතයේදී හෝලිකේ වන්නකු තිසාහාමි හෙවත් මිනීමරු තිසාහාමි ලෙසින් ප‍්‍රචලිත වූ ආදිවාසියෙකු මෙම පුරවරය අණසක පතුරවමින් දිවි ගෙවන්නට විය. මුස්ලිම් වෙළෙන්දෙකු, ගමේ ආරච්චි සහ ආදිවාසීන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු විටෙන් විට වෙඩි තබා මරා දැමීම නිසා හෝලිකේ වන්නකු තිසාහාමි මිනීමරු තිසාහාමි ලෙස ප‍්‍රසිද්ධ වන්නට විය. ඔහුට සුදුබණ්ඩා, බණ්ඩාර මැණිකේ, බාල වන්නියා, ටිකිරි වන්නියා, කොම්බි ලෙස දූ දරුවන් පස් දෙනෙක් සිටින්නට විය. අවුරුදු අනූවේදී මිනීමරු තිසාහාමි පොලිසියට භාර වූ අතර ඔහුගේ ලොකු දුව වූ බණ්ඩාර මැණිකාට බෙදාදුන් ගම්මානය පසු කලෙක බණ්ඩාරදුව නමින් ප‍්‍රසිද්ධියට පත්වන්නට විය. පියාගේ නික්ම යෑමත් සමගම බණ්ඩාර මැණිකා ඇතුළු පිරිවර බණ්ඩාරදුව අත්හැර හෝලිකේ ඇතුළු ආදිවාසී ගම්මානවලට පදිංචි වූ අතර ඉතිරි දරුවන්ගේ අභාවයත් සමඟම බණ්ඩාරදුවෙන් හෝලිකේ ආදිවාසී පරපුරේ වියැකී යන්නට විය.

1818 ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගත් දොරකුඹුර, උඩගමුව, මාරාව ආදී බිබිල ප‍්‍රදේශයේ ජනයා ගම්මාන අත්හැර වනගත වන්නට වූහ.

ඔවුන් වසර 130ක් පමණ බලාන, අලකනත්ත, මැටිගහබොක්ක ආදී වන ගත ප‍්‍රදේශවල හේන් ගොවිතැන් කරමින් දිවි ගෙවන්නට විය. පසුව ගල්ඔය ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ බණ්ඩාරදුව ගම්මානයට පවුල් 11ක් පමණ පැමිණ පදිංචි වන්නට වූහ.

එලෙස පැමිණි පවුල් 11 කේන්ද්‍ර කරගනිමින් බණ්ඩාරදුව ගම්මානයේ පරම්පරා කිහිපයක් යන විට පවූල් 500කට ආසන්න ප‍්‍රමාණයක් දක්වා වර්ධනය වී තිබේ.

රාස්සගල, මුවා පැන්නූබලිය, සමංගල කන්ද, බලගල කන්ද, පෙට්ටිගල, කිරිනැලිය කන්ද යන සුන්දර කඳුවැටි වලින් වටවූ බණ්ඩාරදුව ගම්මානය මැදින් කළුගල්ඔය ගලා යන්නට විය. වැසි සමයේ මෙම ජනයාට වත්තේ කපාගන්නා ළිඳකින් ජලය ලබා ගැනීමට හැකිවුවත් පායන සමයේ නම් ජලය සොයා සැතපුම් තුනක්, හතර දුර යන්නට සිදු වූහ. රාත‍්‍රී කාලයේදී පන්දම් සකස් කර අලි කොටි මැද මහ වනේ මහා දුෂ්කරතාවයක් විඳ ජලය ලබා ගන්නට මෙම ගම්මානයේ ජනයාට සිදු වන්නට විය.

රාස්සගල සහ කිරිනැලිය කන්ද යා කරමින් කළුගල් ඔය හරස් කරමින් වැවක් බැඳීමට 1965 වසරේදී සහ 94 වසරේ චන්ද්‍රිකා ජනපතිනියගේ පාලන සමයේ උත්සාහ දැරුවත් ඒවා මල්ඵල ගැනුනේ නැති නිසා දිගින් දිගටම අලි කොටි ගහන වනාන්තර මැද ජලය සොයා අරගල කරන්නට බණ්ඩාරදුව ජනතාවට සිදුවන්නට විය. අවසානයේ 2014 වසරේ මහින්ද රාජපක්ෂ රජය යටතේ මුල්ගල තැබූ කළුගල් ඔය ව්‍යාපෘතිය පසුගියදා වාරිමාර්ග ස්වදේශ කටයුතු හා ආරක්ෂණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් වන්නට විය.

අවසානයේදී යකින්නන් හෙළ , කළුහෙළ, කුඩා වාළිඹ, මාකිදාකැටිය යන සුන්දර කඳු වලින් වටව අලංකාර කළු ගල් ඔය ජලාශය නිර්මාණය වූයේ බණ්ඩාරදුව ජනතාවගේ මුව මඬලට සිනහ මල් කැන්දමිනි.

මෙම ජලාශය සෑදීම සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 2500කි. නමුත් ලාංකික වාරි ශිල්පීන්ගේ දායකත්වය මත විදේශ මුදල් නොමැතිව රුපියල් මිලියන 2322 කින් ඇස්තමේන්තු ගත මුදලට වඩා අඩුවෙන් කළුගල් ඔය ජලාශය නිර්මාණය කරන ලදී. අක්කර අඩි 8177 ධාරිතාවයෙන් මෙම ජලාශයේ දියවරින් යල මහ දෙකන්නයේ අක්කර 1500ක් වගා කළ හැකිය.

බණ්ඩාරදූවට සිනා මල් කැන්දූ කළුගල්ඔය නිල් දියවර….

උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක කිරිඳිවැල සෝමරතන නාහිමියන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

තිස් අවුරුදු යුද්ධයෙන් නැගෙනහිර පළාතේ ජනතාව බැට කෑවා. මගේ ගුරු හිමියන් ඇතුළු 31 නමක් හිමිවරු කපා කොටා ඝාතනය කරා. බණ්ඩාරදුව ජනතාව කපා කොටා ඝාතනය කළා. එකල හිටපු පාලකයින්ගේ අදූරදර්ශී තීරණ නිසා අම්පාර දිස්ත‍්‍රික්කයේ නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් සුදු කොඩි අරන් යටත් වෙන්න කීවට පස්සේ පොලිස් නිලධාරීන් 600ක් පමණ කොටි අමානුෂික ලෙස බිළිගත්තා.

මේ විදිහට අම්පාර දිස්ත‍්‍රික්කය තුළ තිස් වසරක අඳුරු යුගයක් යුද්ධය නිසා ඇතිවෙලා තිබ්බා. මේ වන විට මාර්ග පද්ධති ඇති වෙලා, විදුලි යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක වෙලා විශාල වැඩ කොටසක් රාජපක්ෂවරුන්ගේ පාලන සමයේ සිදුවෙලා තිබෙනවා. අද මිනිස්සු නිදහසේ ජීවත් වෙන්නේ ඒ නිසයි. කළුගල් ඔය ජල යෝජනා ක‍්‍රමයෙන් බණ්ඩාරදුව ජනතාවට විශාල සහනයක් ලැබෙනවා. ඉදිරියේදීත් දිගාමඩුල්ල මිටියාවතේ ඉතිරිව ඇති ගැටලූ විසඳා දීමට කටයුතු කරන්නැයි කියා අපි ඉල්ලා සිටිනවා. ඒ සමගම මෙවැනි වැඩ සටහන් කිරීම නිමිත්තෙන් අපි සංඝරත්නය විදිහට ආශිර්වාද කරනවා යැයි පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියන් අදහස් දක්වමින් පවසා සිටින්නට වූහ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දැක්වූවේය.

කළුගල්ඔය ව්‍යාපාරය 2014 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේ වැඩ ආරම්භ කරලා අපිට අද දිනයේදී ජනතා අයිතියට පත් කිරීමට හැකියාවක් ලැබුණා. මෙමගින් හේන් ගොවිතැනින් දිවි ගෙවූ ජනතාවට යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒ සමඟම අද අපි මත්ස්‍ය පැටවුන් මෙම ජලාශයට මුදාහැරියා. ඒ තුළින් ගමේ ජනතාවට පෝෂණය ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. මෙම වැව අවට හරිම ලස්සනයි, සුන්දරයි. ඒ නිසා සංචාරකයන් ගෙන්වා ගැනීමට, කුඩා දරුවන් ඇතුළු පිරිස් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. අපි ලංකාව පුරා වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ වැව් පන්දහසක් පමණ පිළිසකර කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වෙද්දි වැව් 1700ක පමණ වැඩ අවසන් කර තිබෙන බවත් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා එම අවස්ථාවේදී පවසා සිටින්නට විය.

හිටපු වනජීවී සහ වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය වත්මන් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ද මෙලෙස පැවසීය.

කෘෂිකර්මය සහ වාරි කර්මාන්තය ගැන විශිෂ්ට දැනුමක් තිබෙන චමල් රාජපක්ෂ මහතාට මෙම අමාත්‍ය හිමිවීම සතුටට කරුණක්. එනිසා අද ලංකාව පුරා වාරි පද්ධතියේ විශාල දියුණුවක් ඇති වෙලා තියෙනවා.

එදා බණ්ඩාරදුව ගොවීන්ගේ වත්තට ඇවිත් කෙහෙල් කැනක් රුපියල් පහකට අරගෙන යන මුදලාලි ඒක කොළඹ මැනිං මාකට් එකට අරන් ගිහිල්ලා එක ගෙඩියක් රුපියල් පහකට විකුණුවා. එදා මේ ගමේ ජනතාව කිලෝ මීටර් පහළොවක් පයින් ගෙවලා උහනට ගියා. අද පාර කාපට් වෙලා. ගමට විදුලිය ඇවිල්ලා. ජල පහසුකම් ලැබිලා විශාල දියුණුවක් සිදුවෙලා තියෙනවා. එදා නගරේ පාසලට කිලෝ මීටර් දහයක්, පහළොවක් පයින් ගිය පාසල් දරුවන් අද ගේ අසලින් බස් එකට නැගලා නගරයේ පාසලට යනවා. අද බණ්ඩාරදුව විතරක් නෙමේ බින්තැන්නපත්තුව, පොල්ලෙබැද්ද වගේ සෑම ගම්මානයක්ම කාපට් පාරවල් අතුරලා හිතන්න බැරි පරිවර්තනයක් වෙලා තියෙනවා. අද ස්පිට්ල් මහතා ඉපදුනොත් ඔහුට අදහගන්න බැරි වෙයි. ඔහු එදා විස්තර කරපු ගම්මාන වෙලා තියෙන පරිවර්තනය යනුවෙන් දිසානායක අමාත්‍යවරයා පවසා සිටින්නට විය.

මෙම ජල යෝජනා ක‍්‍රමය පිළිබඳ බණ්ඩාරදුව ගම්වාසීන්ද මෙලෙස පැවැසූහ.

පාරිම්පරික වෛද්‍යවරයෙක් වූ ටී. බී. කිරි බණ්ඩා මහතා මෙලස පැවසුවේය.

බණ්ඩාරදූවට සිනා මල් කැන්දූ කළුගල්ඔය නිල් දියවර….

මේ ගම්මානයේ අතීතයේ ඉඳන් මිනිස්සු වතුර නැතිව පුදුම දුකක් වින්දේ. වැහි කාලේ වත්තේ ළිඳක් කපලා වතුර ගන්න පුළුවන් වුණත් අපට පායන කාලෙට වතුර හොයාගන්න කිලෝ මීටර දෙක තුනක් දුර ගෙවාගෙන යන්න සිදු වුණා.

හේන්වල වැඩ කරලා ආපුවම හුළු අතු බැඳගෙන තමයි අපි වතුර හොයා ගෙන යන්නේ.

ඒ යද්දි අලි ගහන්න පන්නනවා. සතුන්ගේ කරදර ගොඩක් තිබුණා. ගෙදර පාවිච්චියට කිලෝ මීටර් දෙක තුන දුර ඉඳන් වතුර අදින්න උනා. හැමදාම හේනක් කරලා ඒකෙන් වසරක් ජීවත් වෙන්න සිදු වෙලා තිබ්බා. මේක හීනයක් වගේ. කළුගල් ඔය ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරපු එක පුදුමාකාර සතුටක් තියෙන්නේ. ගමේ අයට අක්කර එකහමාර ගාණේ දීලා තියනවා. එනිසා යල මහ දෙකන්නය වගා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ගමේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පානීය ජලය නළ මාර්ගයෙන් ගමට ඇවිල්ල තියෙනවා. පාරවල් හැදිලා තියෙනවා. දැන් ඉතින් දෙයියනේ කියලා බණ්ඩාරදුව ගම්මානයට හොඳ කලක් ලබලා තියෙනවා. ඒ සතුටු වෙන්න පුළුවන් බව කිරිබණ්ඩා වෙද මහතා පවසා සිටින්නට වූවේය.

බණ්ඩාරදුවේ ඒ. එම්. හීංමැණිකා මහත්මිය මෙලෙස කීවාය.

අපේ හීනය සැබෑ වුණා කියලයි මට හිතෙන්නේ. අපි මැරෙන්න කලින් මේක හැදෙයි කියලා හිතුවේ නෑ. මොකද හදනවා හදනවා කියල කාලෙක ඉඳන් කිව්වත් ඒ දේ උනේ නැති හින්දා අපි බලාපොරොත්තු අතැරලායි තිබ්බේ. එවැනි වේලාවක මේ වැව හදලා අපිට කුඹුරු ඉඩම් දීලා දීපු එක ගැන ගොඩක් සතුටුයි. දැන් අපේ කාලේ ඉවර වේගන යනවා. අපි දරු පරපුරවත් දුක් විඳින්නේ නැතිව සතුටින් ජීවත් වෙන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. නැත්තං හේනක් කරලා ඒකෙන් අවුරුද්දක් කොහොමද ජීවත් වෙන්නේ. දැන් දෙයියන්නේ පිහිටෙන් කන්න දෙකක් වගා කරලා වී ඇටයක් ගේ ඇතුළට අරන් ගිහිල්ලා කුස ගින්දර නිවා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගොඩක් සන්තෝසයි. අපේ වැව හදලා අපිට කන්න දෙකේ වගා කරන්නට ඉඩ දුන්නට යනුවෙන් හීංමැණිකේ මහත්මිය කීවාය.

දශක ගණනාවක් පුරා පරිසරයෙන් සහ වන සතුන්ගෙන් බැට කමින්, රුදුරු කොටි ත‍්‍රස්තවාදීන්ගෙන්ද හිටු කියා බැට කමින් බණ්ඩාරදුව ගම්මානයෙ ගම්වාසීන් වින්ද දුකට දැන් තිත තැබී ඇත. මන බන්දන කළුගල් ඔය සුන්දර නිල් දියවර නිසා ඔවුන්ගේ සිත්සතන්ද පිනවෙනු ඇත. යල මහ දෙකන්නේ අස්වැද්දෙන කෙත් හෙට දිනයේ සිට ආර්ථිකයට ද මහත් ශක්තියක් ලැබෙනු ඇත.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment