බණ්ඩි පොහොර මිල රු.4500 කින් පහළට

117

මෙවර යල කන්නයේ දී බණ්ඩි පොහොර මිල රුපියල් 4500 කින් පහළ දැමීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පසුගියදා රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ දී මේ සම්බන්ධව රජයේ අවධානය යොමු කළ බවත් දැනට වෙළෙඳපොළේ බණ්ඩි පොහොර කිලෝ 50ක මිටියක් අලෙවි වන්නේ රුපියල් 18,500ක පමණ මිලකට වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

රජයට අයත් පොහොර සමාගම් දෙක විසින් අවම මිලක් යටතේ පොහොර ලබාදීමට කටයුතු කරන නිසා මේ වන විට රසායනික පොහොර අලෙවිය සම්බන්ධව වෙළෙඳපොල තුළ තරගකාරීත්වයක් මතු වී තිබෙන බවත් එහි වාසිය ගොවි ජනතාවට ලැබෙන පරිදි පසුගිය යල කන්නයේ රුපියල් 42,000කට පැවැති යූරියා පොහොර මිටියක මිල මේ වන විට රුපියල් 11,000 දක්වා අවම වී ඇති අයුරින් ම ඉදිරි කාලයේ දී මඩ පොහොර සහ බණ්ඩි පොහොර මිල ගණන් ද තවදුරටත් අඩු වනු ඇති බව ද පුද්ගලික අංශයේ පොහොර අලෙවිකරුවන් ප්‍රකාශ කර ඇති බවත් ඇමැතිවරයා කියයි.

විශේෂයෙන්ම පසුගිය කාලය තුළ පොහොර ආනයනය කරන සහ බෙදාහරින පුද්ගලික සමාගම් රට තුළ පැවතියේ 06ක් වැනි සුළු ප්‍රමාණයක් නමුත් දැනට මෙරටට ආනයනය කරන සහ බෙදාහරින පොහොර සමාගම් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද ඇමැතිවරයා කියයි. මෙම තරගකාරීත්වයේ වාසිය ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස තමන් එම සමාගම් වෙතින් ඉල්ලා සිටි බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment