බත් වෙනුවට වස

1362

ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රශ්නය ඉතාම උග්‍ර අවස්ථාවකට පත්වී තිබේ. හාල් දෙයියන්ගේ හාල් බවට පත්වී ඇති අතර සල්ලි දෙයියන්ගේ මල්ලී නොව දෙයියන්ගේ තාත්තා බවට පත්වී ඇත. හාල් කිලෝව රු. 500 දක්වා යන ගමනක් ආරම්භ කර තිබේ. දැනටමත් සහල් කිලෝවක පාලන මිල වශයෙන් රු. 210ක් රජය විසින් නියම කරනු ලැබ ඇති අතර ඒ මිලට කිසිදු තැනකින් සහල් ලබාගැනීමට හැකි වන්නේ නැත. මේ වෙලාවේදී කබල්ම හාල් කිලෝවක් පවා රු. 260 ඉක්මවයි. පොන්නි යනුවෙන් හඳුන්වන ඉන්දියාවෙන් ගෙන්වන සහල් විශේෂයක් ඇති අතර ආණ්ඩුව එයට සම්බා යනුවෙන් නම්බු නාමයක් දී ජනයා සතුටු කිරීම පිණිස පොන්නි සම්බා ලෙස අලෙවි කිරීමට පටන්ගනු ලැබීය. අද වනවිට වෙළෙඳපොළේ පොන්නිත් නැත; සම්බාත් නැත. හැබැයි කිලෝව රු. 450ක් වන බාස්මතී සහල් ඕනෑ තරම් ඇත. රු. 450 ගණනේ බාස්මතී මිලට ගතහොත් මේ රටේ සාමාන්‍ය ජනයාට මාසයකට දවස් 5කට වඩා බත් කෑමට නොලැබේ. පාන් රාත්තලක් රු. 170ක් වන නිසා ඒවා අනුභව කිරීමට ද ආර්ථික ශක්තියක් නැත. කඩල, මුංඇට යනාදිය කෙතරම් මිල අධික ද යත් ඒවා අනුභව කිරීමේ ආර්ථික හයිය ඇත්තේ මැති ඇමැතිවරුන්ට සහ ධනපතියන්ට පමණි. ශිෂ්ටාචාරයේ මුල සිටම මනුෂ්‍යයාගේ ප්‍රමුඛ අවශ්‍යතාව වූයේ කෑම බීමයි. කෑම නැතිව කිසිත් කිරීමට බැරි අතර කෑම නැතිව වැඩි කලක් සිටියොත් ස්ථිර වශයෙන්ම මිය යන්නට සිදුවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත්ය. මෙය තනිකරම කාබෝහයිඩ්‍රේට් ගුලියකි. එහෙත් මෙය තිරිඟු පිටිවලින් හදන කෑමවලට වඩා ඉතා ගුණදායකය. තිරිඟු පිටිවල ග්ලූටෙන් නමැති සංඝටකයක් තිබේ. මේ සංඝටකය මේ ලෝකයේ තිබෙන අටඅනූවක් රෝග සහ නව අනූවක් ව්‍යාධිවලට මුල බව කියනු ලැබේ. ඒ නිසා අපට අත්‍යවශ්‍ය ආහාරය වන්නේ බත්ය. බත් නිසා ආණ්ඩු පෙරළිය හැකිය. එක්දහස් නවසිය පනස් ගණන්වල ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව පෙරළුනේද සහල් මිල ඉතා ස්වල්පයකින් වැඩි කිරීම නිසාය.

මේ දිනවල පවත්නා සහල් හිඟයට ප්‍රධාන හේතුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් ගිල දමන ලද දිරා ගිය ලණුවකි. එවැනි දිරා ගිය ලණුවක් ගිල දැමූවිට එය ආපසු කටින් එළියට ඇදගැනීම කළ නොහැක. එයට හේතුව ඇද්ද ගමන්ම ලණුව කැඩී බඩ ඇතුළේ කොටසක් ඉතිරි වීමය. ගෝඨාභය ගිල්ල දිරූ ලණුව වූකලී රසායනික පොහොර ලණුවය. ශ්‍රී ලංකාව එක්දහස් නවසිය පනස් ගණන්වල අග භාගයේ සිටම රසායනික පොහොර සහ කෘමිනාශකවලටත්, වල්නාශකවලටත් පුරුදු වූ රටකි. මේ නිසා අද වනවිට පොටෑසියම් සයනයිඩ් පවා අපේ බඩේ දිරවන තත්ත්වයක් මතුවී තිබේ.

පසුගිය මහ කන්නය සඳහා රසායනික පොහොර ගැනීමට ආණ්ඩුවට සල්ලි නැති විය. මේ නිසා ජනතාවට ඉතා හොඳ බොරුවක් කියා රසායනික පොහොර වෙනුවට බෙහෙවින් ලාබ කාබනික පොහොර ගොවීන්ගේ ඇඟේ ගැසීමට ආණ්ඩුවේ සිටින විද්වත්හු තීරණය කළහ. එතැන් සිට මහ කන්නය සඳහා පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ත ගොවිතැන් කටයුතු සඳහා කාබනික පොහොර යෙදිය යුතු බවට ආණ්ඩුව තීරණය කළේය. මේ යටතේ චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර තොග ඉතාම අසාර්ථක ප්‍රතිඵල දුන්නේය. කාබනික පොහොර ප්‍රචාරය කිරීම සඳහා ආණ්ඩුව ඉතා අසාර්ථක ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. කාබනික පොහොර යෙදීමෙන් ගොයම් ගස් මිනිසකුගේ උසටත් වඩා උස යන බවටත් ඒවායේ ගොයම් කරල් විශාල වශයෙන් හටගන්නා බවත් කියන ගොවීන් රූපවාහිනිය මගින් පෙන්වන ලදී. ගොයම් ගසක්, කෙසෙල් ගසක් හෝ පුවක් ගසක් තරමට උස යන රටක් නැත. එසේ උස යනවා නම් එය වෙනත් ධාන්‍ය වර්ගයකි. මේ ආකාරයෙන් උස යන ගොයම් ගස් ජාතියක් ගැන අග්ගඤ්ඤ සූත්‍රයෙහි එයි. මෙම වී වර්ගය හඳුන්වන්නේ ස්වයංජාත හැල් වී ලෙස ය. ස්වයංජාත හැල් වී දැනට මේ මහපොළොව මත නැත. ඒ අනුව මිනිසුන්ට වඩා උස යන ගොයම් ගස් තිබේ යන්න ආණ්ඩුවේ ප්‍රචාරක වැඩපිළිවෙළේ මෝඩම කොටස්වලින් එකක් විය. අන්තිමේදී රසායනික පොහොර වැඩේ අල වී මහ කන්නය සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. අද අප භුක්ති විඳින සහල් හිඟය කාබනික පොහොර ක්‍රියාවලියේ අවසන් ඵලය වේ. මේ දිනවල සතොසේ සහල් බක්කි සම්පූර්ණයෙන්ම හිස්ය. සුපර්මාර්කට්වල පමණක් පාලන මිලට සහල් යම් ප්‍රමාණයක් අලෙවි කරනු ලැබේ. සිල්ලර කඩවල සහල් ස්වල්පයක් ඇති අතර ඒවායේ මිල ඉතා අධිකය. විනාශ වූ මහ කන්නය සහ ඒ නිසා හටගත් සහල් හිඟය සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල වගකීමක් තිබේ. එහෙත් ආණ්ඩුව ඒ වගකීම ජනතාවට භාරදී ඉතා සුවසේ සහ ෆන්එකේ ස්වකීය වැඩකටයුතු කරගෙන යයි.

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සහල් නිෂ්පාදනය මෙයට අවුරුදු 45කට පෙර තිබුණේ වී අලෙවි මණ්ඩලය අතේය. 77 ජේ. ආර්. ජයවර්ධන අගමැතිතුමා බලයට පත්වූ විට වී අලෙවි මණ්ඩලය විනාශ වීම පිණිස අත්හැර දමන ලදී. එමගින් සිදුවුණේ පුද්ගලික හාල් මෝල්කාරයන් තරවීමය. අද වනවිට මේ රටේ සමස්ත සහල් තොග තිබෙන්නේ ප්‍රසිද්ධ මෝල්කාරයන් තුන්හතර දෙනකුගේ ගබඩාවල බව කියනු ලැබේ. ඒ ගබඩාවලින් සහල් එළියට එනු ඇත්තේ හාල් කිලෝව රු. 500 මට්ටමට ගිය විටය. සහල් කිලෝව රු. 500 ට යනවා යැයි කීම ඇතැම් විට කෙනකුට විහිළුවක් සේ පෙනෙන්නට පුළුවනි. 1970 දී ලංකාවේ සම්බා කිලෝවක් රු. 1.25 කි. චීන සුදු හාල් කිලෝව රුපියලකි. වසර 2005 දී සම්බා කිලෝවක් රු. 60 කි. අනෙක් සහල් වර්ග කිලෝවක් රු. 50 ක් හෝ 55 කි. මීට අවුරුද්දකට පමණ පෙර රු. 100 ටත් සහල් තිබිණි. අද සහල් කිලෝව ඇතැම් තැනක රු. 260 කි. තවත් තැනක රු. 300 කි. 1977 දී රු. 1.44 ට තිබූ සීනි කිලෝව අද රු. 330 කි. එසේ නම් සහල් කිලෝව රු. 500 න් නැවතුණොත් එය අපේ පෙර පිනකි. මීට අවුරුදු දෙකකට පමණ පෙර රු. 10 ට හෝ රු. 12 ට තිබූ ෆාම් බිත්තරය අද රු. 50 කි. රු. 380 ට තිබූ කුකුළු මස් කිලෝව අද රු. 1300 කි. ලංකාවේ ආහාර මිල උද්ධමනය මේ මොහොතේදී 52% ඉක්මවමින් තිබේ. මේ නිසා අවසන් ඵලයේදී අපට සිදුවන්නේ බත් කෑමට නොව වස කෑමටය.
 

advertistmentadvertistment
advertistmentadvertistment