බද්දට එරෙහිව – දොස්තරලා සටන අරඹති – පළාත් 4ක රෝහල්වල

183

රජය විසින් හඳුන්වා දී ඇති බදු ප්‍රතිපත්තිවලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් හතරක රෝහල්වල අද (13 දා) පෙරවරු 8.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

ඒ අනුව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත් හතරේ පිහිටි රජයේ රෝහල්වල අද දිනයේ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව ඒ මහතා සඳහන් කළේය.

එහිදී මෙම පළාත්වල පිහිටි මාතෘ රෝහල්, ළමා රෝහල්, හමුදා රෝහල්, විශේෂිත සායන සහිත වකුගඩු ඒකක, මහරගම අපේක්‍ෂා රෝහල සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොකරන බව පැවසූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සෙසු රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑමට කටයුතු කරන බව ද කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙම බදු ප්‍රතිපත්ති සම්බන්ධව රජය වෙත ලබා දී ඇති යෝජනා පිළිබඳව අවධානය යොමු නොකළහොත් හෙට (14 දා සෙසු පළාත්වල රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරන බව ද ඒ මහතා පැවසීය.

ඒ අනුව උතුර, උතුරු මැද, වයඹ, ඌව, සබරගමුව යන පළාත්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර 15 වැනිදා සිට සෙසු වෘත්තීය සමිති ද එක්ව අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බව ද හෙතෙම සඳහන් කළේය.

වෘත්තිකයන්ගේ සංගම් ද එක්ව බදු ප්‍රතිපත්ති සංශෝධනයට තම සංගමය සකස් කර ඇති යෝජනා අවධානයට යොමුකර ඒවා ක්‍රියාත්මක කිරීමට කාලරාමුවක් සහිත නිශ්චිත වැඩපිළිවෙළක් හෝ ඉදිරිපත් කිරීමට රජය අද දිනයේ හෝ පියවර ගන්නේ නම් වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එසේ නොවුණහොත් 15 වැනිදායින් පසු සෙසු වෘත්තීය සමිති ද එක්ව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පැවසූ ඒ මහතා එය කොතෙක් දින ගණනක් පවතී දැයි පැවසිය නොහැකි බවත් එසේ වුවහොත් මෙතෙක් ඉතිහාසයේ පැවති විශාලතම වැඩ වර්ජන බවට පත්විය හැකි බවත් කියා සිටියේය.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment