බද්දෙන් ගොඩ යන්න හැදූ බජට් එකක්

92

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය කතාවේ තේමාව ලෙස සඳහන් කර ඇත්තේ ‘ශ්‍රී ලංකාව – නව ආරම්භයක් කරා යන්නයි’ ආර්ථිකය බිංදුවටම වැටී ඇති මොහොතක මේ අයවැය ඉදිරිපත් කිරීමට සිදුව තිබේ. මේ නිසා සාම්ප්‍රදායික අයවැයක් මේ ගැඹුරු අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සමත් නොවේ. ඒ සඳහා ප්‍රමාණවත් වෙනස්කම් ආර්ථික ව්‍යුහයේ ඇති කළ යුතුව තිබේ. පසුගිය කාලයේ තෙල් නැතිව, ගෑස් නැතිව, පොදු ප්‍රවාහන පහසුකම් නැතුව සහ තවත් දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ ජනයා හොඳටම පීඩා වින්දේය. ඒ නිසා කාලයක් තිස්සේ ආර්ථිකයේ වර්ධනය වූ ප්‍රශ්න විසඳිය යුතු බව ජනයාට ද තේරුම් ගැනීමට අපහසු නැත. එසේ නම් බංකොළොත් කළ රට ගොඩනැඟීමට හොඳ ආරම්භයක් අවශ්‍ය කර තිබේ. ලබන වසර (2023) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ ‘ශ්‍රී ලංකාව – නව ආරම්භයක් කරා ගෙන යෑමටය’ එය වචනයෙන් පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ. සත්‍ය වශයෙන්ම එම හැකියාව සහිත අයවැයක් බවට මේ අයවැය පත්කරගත යුතුව තිබේ.

මේ අයවැය ඉදිරිපත් වූයේ රට බංකොළොත් වී ඉතිහාසයේ අමාරුම අඩියට රට වැටී සිටියදීය. ඒ බව අප පිළිගත යුතුය. මේ නිසාම මෙවර ඉදිරිපත් වන්නේ ඉතිහාසයේ අභියෝගාත්මකම අයවැය ලේඛනය විය හැකිය. අනාගතය ගැන අපට පුරෝකථන කළ නොහැකිය. මේ නිසා රට වැටී තිබෙන තැනින් ගොඩට ගෙන ඉන්පසු ක්‍රමානුකූලව ආර්ථික වර්ධනයකට ගමන් කිරීමට ඉඩහසර සලසන අයවැය ලේඛනයක් මේ මොහොතේ අවශ්‍ය වේ. රට මුහුණ දී සිටින උග්‍ර විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතා ඇති නිසා එම අරමුදල සමග දැනටමත් එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ අයවැය ලේඛනයෙන් සිදු කිරීමට ද රජයට සිදු වේ. ඒ නිසා මෙය රජයට අවශ්‍ය පරිදිම නොව එම අරමුදල සමග එකඟ වූ ප්‍රතිසංස්කරණ ද සමග සකස් කළ අයවැයක් විය හැකිය. මේ නිසා ආර්ථිකයේ බොහෝ අමාරු වෙනස්කම මේ මොහොතේ සිදුකරගත යුතුව තිබේ. වැරදි නිවැරදි කරගත යුතුව තිබේ. ඒ සඳහා ජනයා දැනුවත් කර ඔවුන් ද සූදානම් කළ යුතුව තිබේ. ඒ සියල්ලටම පෙර රජය නිසි මූල්‍ය විනයකින් ආදර්ශමත්ව කටයුතු කළ යුතු වේ.

2023 අයවැය තත්ත්වය

අයවැය යෝජනා රැසක් මෙවර අයවැයේ ඇත. මුලින්ම 2023 සමස්ත අයවැය තත්ත්වය සලකා අපගේ අවධානය යොමු කරමු. අයවැය ලේඛනයේ අග පළමු ඇමුණුම වශයෙන් 2023 අයවැය ඇස්තමේන්තු සාරාංශය දක්වා තිබේ. එහි සඳහන් පරිදි 2023 වසර සඳහා ඇස්තමේන්තුගත මුළු ආදායම හා ප්‍රදාන රු. බිලියන 3415 ක් වේ. 2023 සඳහා මුළු වියදම් ඇස්තමේන්තුව රු. බිලියන 5819 ක් වේ. මේ අනුව ඇති වන 2023 වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 2404 ක් ද වේ.

එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7.9 ක් වේ. මේ වසර (2022) සඳහා ඇස්තමේන්තුගත සංශෝධිත අයවැය හිඟය රු. බිලියන 2333 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9.8ක් වේ. මේ අනුව මුදල්මය වශයෙන් රුපියල් බිලියන 71 කින් එනම් රු. කෝටි 7100 කින් අයවැය හිඟය ලබන වසරේ වැඩිවේ. එහෙත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අයවැය හිඟය අඩු කර ගැනීමට රජය සැලසුම් කර ඇත. එහෙත් මේ සියල්ල ඇස්තමේන්තුය. අයවැයක තිබෙන දේ එලෙසින්ම ඉටු වීමට මෙන්ම නොවීමට ද ඉඩ තිබේ. විශේෂයෙන්ම දැන් තිබෙන්නේ සංකෝචනය වන ආර්ථිකයකි. සියයට 8 කට වැඩි අගයකින් මේ වසරේ (2022) ආර්ථිකය පසුබෑමට ලක්වනු ඇතැයි අපේක්ෂිතය. එසේම ලබන වසරේ දී ද ආර්ථික වර්ධනය ඍණ අගයක් ගනු ඇත. එහෙත් රජය 2023 දී විශාල බදු ආදායමේ වර්ධනයක් ඉලක්ක කර ඇත. ආර්ථිකය සංකෝචනය වෙද්දී මේ අයවැයේ සඳහන් අපේක්ෂිත බදු ආදායම් වර්ධනය එලෙසම උපයාගත හැකිවනු ඇති ද ආර්ථික හා ව්‍යාපාර අංශ ප්‍රශ්න කර ඇත.

බදු ආදායම වැඩි කර ගැනීම

2019 වසර අග බදු කප්පාදුවෙන් පසු අපගේ බදු ආදායමට විශාල හානියක් සිදුව ඇත. කොරෝනා වසංගතය ද ඊට බලපා තිබේ.

බිඳ වැටී ඇති රාජ්‍ය බදු ආදායම වර්ධනය කර ගැනීම සඳහා රජය විසින් දැනටමත් බදු ප්‍රතිසංස්කරණ රැසක් සිදු කර ඇත. එනම් දැනටමත් සෑම අංශයකම පාහේ විශාල වශයෙන් බදු වැඩි කර ඇත. එසේ වැඩි කළ බදු ප්‍රතිශත සහ අලුත් බදු පැනවීම් අනුව 2023 වසරේ දී සැලකිය යුතු වැඩි බදු ආදායමක් උපයා ගැනීම රජයේ අපේක්ෂාවයි. මේ අනුව 2023 වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ බදු ආදායම රු. බිලියන 3130 කි. මේ වසර (2022) සඳහා ඇස්තමේන්තු කර ඇති සංශෝධිත රාජ්‍ය බදු ආදායම රු. බිලියන 1852කි. මේ අනුව මේ වසරට වඩා ලබන වසරේ (2023) දී රු. බිලියන 1278 කින් රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමට සැලසුම් කර ඇත. මෙය රාජ්‍ය බදු ආදායමේ සියයට 69 ක පමණ විශාල වර්ධනයකි. ආර්ථිකය සංකෝචනය වන විට බදු ආදායමේ මෙතරම් විශාල වර්ධනයක් ලබා ගැනීම ඉතා අසීරු ඉලක්කයක් වන අතරම බොහෝ දෙනකුට පීඩාකාරී තත්ත්වයක් ද උදා කරනු ඇත. මේ අනුව ආදායම් බදු ආදායම 2022 දී පවතින රු. බිලියන 558 සිට ලබන වසරේ (2023) දී රු. බිලියන 912 දක්වා ද භාණ්ඩ හා සේවා මත බදු ආදායම 2022 දී පවතින රු. බිලියන 972 සිට ලබන වසරේ (2023) දී රු. බිලියන 1763 දක්වා සහ විදේශ වෙළෙඳාම මත බදු මේ වසරේ (2022) පවතින රු. බිලියන 322 සිට ලබන වසරේ (2023) දී රු. බිලියන 455 දක්වා ද වැඩිකර ගැනීමට රජය නව අයවැයෙන් සැලසුම් කර ඇත. ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් සඳහා ද අධිභාර බද්දක් පැනවෙන අතර එය ආනයන අවස්ථාවේදීම අයකර ගැනෙනු ඇත. එසේම 2020 සිට 2022 දක්වා වසර තුන තුළ සංශෝධනය නොකළ ගාස්තු සහ අයකිරීම් සියයට 20 කින් ඉහළ නැංවීමට නියමිතය. අයවැයේ සඳහන් බදු සංශෝධන බොහොමයක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ 2023 අප්‍රේල් 01 දින සිටය. කෙසේ හෝ බදු ප්‍රතිසංස්කරණ කෙතරම් සිදු කළත් එම බදු අයකර ගැනීම සඳහා වන හැකියාව සහ පහසුකම් ද පුළුල් කළ යුතුව තිබේ. මේ අනුව බදු පරිපාලනය ශක්තිමත් කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇති අතර රාජ්‍ය අයවැය ලේඛනයේ 04 වැනි ඇමුණුමේ ඒවා දැක්වේ. දැනට බදු ගෙවිය යුතු විශාල පිරිසක් බදු නොගෙවන බව රහසක් නොවේ. මේ නිසා වැඩියෙන් වක්‍ර බදු පනවා සාමාන්‍ය ජනයා මත වැඩි බරක් පටවනවා වෙනුවට කළ යුතු වන්නේ බදු පදනම පුළුල් කර ගනිමින් මේ බදු නොගෙවන පිරිස බදු දැලට හසුකරගෙන ඔවුන්ගෙන් නිසි බද්ද අයකර ගැනීමයි. මේ සම්බන්ධයෙන් මෙවර අයවැය බදුකරණය සම්බන්ධයෙන් වන හත්වැනි ඇමුණුමේ මෙසේ සඳහන්ය.

‘බදු ගෙවිය යුතු සියලුම තැනැත්තන් බදු ක්‍රමය තුළ ලියාපදිංචි වී ඇති බව සහ නියමිත බද්ද ගෙවන බව සහතික කිරීම සඳහා ස්වයං අනුකූලතාවය දිරිගන්වන අතරම, දියුණු විගණන හා සත්‍යාපන වැඩසටහනක් ද ඇතුළුව බදු බලාත්මක කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙනු ඇත..

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහකරණය ඇතුළු තීරණාත්මක අයවැය යෝජනා බොහොමයක් මෙවර අයවැයේ තිබේ. ඒවා ඉදිරියේ දී විමසීමට ලක් කළ යුතුව ඇත. ඒ අතරම මෙවර අයවැයේ එක් අපූරු යෝජනාවක් තිබේ. ඒ ගැන ද සඳහන් කිරීම වටී. එනම් ත්‍රෛයිලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා නිෂ්පාදනය කිරීමට කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බවයි. එම අයවැය යෝජනාව මෙසේය.

‘ත්‍රෛයිලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතු යැයි මා යෝජනා කරනවා. මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා..

මේ ගැන දැනටමත් සමාජය තුළ කිසියම් කතාබහක් ඇතිව තිබේ. මේ ගංජා එසේත් නැත්නම් කංසා වගාව ගැන පසුගිය දිනවල ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිතුමිය ද අදහස් ප්‍රකාශ කර තිබිණි. මේ සම්බන්ධයෙන් අප දන්නා වෛද්‍ය අංශවලින් විමසීමේ දී නම් අපට දැනගන්නට ඇත්තේ මෙම නිෂ්පාදනවල සැපයුම වැඩි වීමන් පසුගිය කාලයේ මෙවැනි සමාගම්වල මූල්‍යමය කඩා වැටීමක් සිදුව ඇති බවයි. මෙම කංසා අපනයනය සඳහා ආයෝජනයක් සිදුකර දැනටමත් කටයුතු කරන රටවල් තිබෙන අතර ඒවා සමග අපට තරග කිරීමට ද සිදුවනු ඇත. එසේම අපනයන ඉල්ලුමක් තිබෙන්නේ අපේ රටේ වැවෙන ඔය තණමල්විල තිබෙන කංසා ශාඛයට නොව වැඩිදියුණු කළ කංසා ශාඛයකට බව ද පැවසේ. එසේ නම් ඒවා මෙරට වගා කිරීමට පිටරටින් ගෙන්වීමට ද සිදුවනු ඇත. මේ නිසා අයවැයේ සඳහන් ත්‍රෛයිලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීම කෙතරම් ප්‍රායෝගික වනු ඇති ද යන්න ප්‍රශ්නයකි. කෙසේ හෝ මේ සම්බන්ධයෙන් පත් කරන අයවැයේ සඳහන් විශේෂඥ කමිටුව විසින් ඒ සඳහා ඇති හැකියාව සොයා බලනු ඇත. අපට වඩාත් අවශ්‍ය කරන්නේ අපට ඩොලර් ආදායම් ඉපයිය හැකි ප්‍රායෝගික නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි.

මෙවර අයවැය තුළින් සිගරට් බදු අවම වශයෙන් රු. 20කින් වැඩිකර රටේ ආදායම වැඩිකරන විද්‍යානුකූල බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන ලෙස මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික් ආයතනය) අයවැයට පෙර ඉල්ලා තිබිණි. එහෙත් රජය ඒ ගැන මෙවර සැලකීමක් නොකර බීඩි මත බදු පනවා තිබේ. එම අයවැය යෝජනාව ගැන ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී මෙසේ සඳහන් කරයි.

‘බීඩි කර්මාන්තය විධිමත් කිරීම හා බීඩි භාවිතයෙන් වැළැකීමට ජනතාව පෙළඹවීම සඳහා, බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීමට මම යෝජනා කරනවා. ඊට අමතරව, සහතික හා බලපත්‍ර ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු ද වැඩි කරනු ලබනවා..

මේ බදු පැනවීම සිගරට් බදු පැනවීමක් සමගම කළා නම් වඩාත් ප්‍රතිඵලදායී වනු ඇති බව අපගේ අදහස.

පසුගිය වසර කිහිපයේදීම නිසි ආකාරයෙන් සිගරට් බදු ඉහළ නොදැමීම නිසා රජයට පාඩු සිදු වී ඇති බව සිගරට් විරෝධී පාර්ශ්ව පෙන්වා දෙන කරුණකි. මේ ගැන ඇඩික් ආයතනය පෙන්වා දෙන්නේ ලංකාවේ දුම්කොළ සමාගම නමින් පෙනී සිටින එහි කොටස් අයිතියෙන් 84 ක් හිමි බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගමට අයත්, බහුජාතික සමාගම සිගරට් මිල ඉහළ දැමීම මගින් රටට හිමිවිය යුතුව තිබූ බිලියන 100 ණනක බදු මුදල් රටට අහිමි වෙමින් පවතින බවයි. එම මුදල් බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගමේ ලාභ බවට පත්වූ බවත් විදේශීය සමාගම් ලාභ ලැබීමෙන් සිදුවන්නේ රටේ ධනය පිටතට ඇදීයෑම බවත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා පෙන්වා දෙයි. ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව තීරණාත්මක ආර්ථික සන්ධිස්ථානයක සිටින අතර, රටේ මූල්‍ය අංශයේ දිගුකාලීන ගැටලු විසඳීම සඳහා රජය විසින් දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය විසඳුම් කඩිනමින් සිදු කරමින් තිබියදීත්, දුම්කොළ බදු නිසි ආකාරයකින් වැඩි නොකිරීම පුදුමසහගත බවයි. විශේෂයෙන් රාජ්‍ය ආදායම වැඩි කර ගතහැකි, පහසු සහ පොදු ජනතාවට පීඩනයක් නොවන, මෙම අංශ කෙරෙහි අවධානය යොමු කිරීම රජයක පුමුඛ කාරණය විය යුතු බවයි.

අපත් සිතන්නේ දුම්වැටි සඳහා අයකරන බදු වැඩි කිරීම තුළින් රාජ්‍ය ආදායම ඉහළ නංවාලීම පහසුවෙන් සිදු කළ හැකි බවයි. එසේම එම බදුකරණය තුළින් දුම්වැටි භාවිතය ද අධෛර්යමත් කරගත හැකිය. රජයේ බදු ආදායමත් වැඩිකරගෙන එමගින් විශාල බදු මුදල් ප්‍රමාණයක් එකවර ලබා ගැනීමේ හැකියාව තිබියදීත් රජය තවදුරටත් බීඩි බද්ද පමණක් වැඩිකර සිගරට් බදු වැඩි නොකිරීම නම් සැක සහිත කරුණකි. දුම්වැටි බදු වැඩිකිරීමට මහජනතාව අතර පුළුල් සහයෝගයක් ඇති බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් වර්ෂ 2021 සැප්තැම්බර් මාසයේදී සිදු කරනු ලැබූ මහජන මත විමසුමකදී සනාථ වී ඇත. එහිදී දුම් බොන්නන්ද ඇතුළුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 89.3 ක් කියා ඇත්තේ රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා දුම්කොළ බදු වැඩි කිරීමට මහජන ප්‍රසාදයක් ඇති බවයි. අසීමිත ලෙස බඩු මිල සහ බදු බර වැඩි වීමෙන් ජනයා පීඩාවට පත්ව සිටින මොහොතේ රාජ්‍ය බදු ආදායම පහසුවෙන් වැඩි කරගත හැකි මේ විකල්පය රජය මඟහරින්නේ ඇයි? මේ ගැන අපි විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කර සිටිමු. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය දුම්කොළ හා මද්‍යසාර ජාතික අධිකාරිය සහ විද්වතුන් පෙන්වාදෙන ආකාරයට දැනටමත් යෝජනා කර ඇති දුම්කොළ බදු ක්‍රමවේදය අනුගමනය කර, සියලුම වර්ගවල සිගරට් සඳහා තනි බදු ක්‍රමයක් හඳුන්වා දුන්නේ නම් රජයට රුපියල් බිලියන 40 ක පමණ අතිරේක බදු ආදායමක් උපයාගත හැකිවනු ඇත. රජය මේ මෙහොතේ බලවත් මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී. ඒ නිසා බීඩි බද්ද වැඩිකරන අතරම 2023 අයවැය මගින් සෑම සිගරට් වර්ගයකම බදු අවම වශයෙන් රුපියල් 20කින් ඉහළ දැමීමට ක්‍රියා කළ හැකිව තිබිණි. එය අයවැය මගින් පමණක් නොව ඊට පසුව ද රජයට කළ හැකිව තිබේ. සිගරට් සඳහා 2021 අයවැය කතාවේදී බදු ප්‍රතිපත්තිය ශීර්ෂය යටතේ සඳහන් කළ පරිදි පාර්ලිමේන්තුව විසින් අනුමත කරන විද්‍යානුකූල, සරල, තාර්කික බදු අයකිරීමේ ක්‍රමවේදයක් ඉතාම ඉක්මණින් ස්ථාපිත කිරීම ද අවශ්‍යතාවකි. මේ සම්බන්ධයෙන් අපි පොදුවේ රජයේත් විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේත් අවධානය යොමු කර සිටිමු. මේ හරහා සිගරට් අලෙවියෙන් රටෙන් පිටතට රැගෙන යන ශ්‍රී ලාංකිකන්ගේ මුදල් රට තුළ රඳවා ගැනීමට හැකියාවක් ලැබේ.

පළමු වතාවට රජයට අයත් සියලු ආයතනවල ලේඛනයක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඉකුත් 17 වැනිදා පාර්ලිමේන්තුවේ දී සභාගත කළේ ය. පසුගිය අයවැය කතාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දුන් පොරොන්දුවකට අනුව මෙය සිදු කෙරිණි. ඒ අනුව රජයට අයත් ආයතන සංඛ්‍යාව 1283කි. වැය ශීර්ෂ 19 යටතේ මුදල් වෙන් කෙරෙන මෙම ආයතන අතරට අමාත්‍යාංශ 29ක්, දෙපාර්තමේන්තු 99ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක්, පළාත් සභා 9ක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක් සහ පළාත් පාලන ආයතන 341ක් ඇතුළත් වෙයි. එසේම එම ලේඛනයට අනුව රාජ්‍ය ව්‍යාපාර ඇතුළුව රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයතන සංඛ්‍යාව 420 ක් තිබේ.

අයවැයක කවර හොඳ දේ සඳහන් වුවත් වඩාත් වැදගත් වන්නේ ඒ සඳහන් දේ ක්‍රියාත්මක වීමයි. එහෙත් අයවැය ලේඛන තුළ සඳහන් වූ බොහෝ යෝජනා විවිධ හේතු නිසා ක්‍රියාත්මක වී නැත. මේ නිසා අයවැය යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසීම ඒ ගැන නිරන්තර පසුවිපරම ඉතාම වැදගත් දෙයකි. මේ ගැන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා තිබුණේ 2023 අයවැය ප්‍රගති සමාලෝචනය ජනවාරි පළමු සතියේ සිට ආරම්භ කරන බවත් ඒ සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ වෙනම කාර්යාලයක් ස්ථාපනය කරන බවත්ය. අයවැයේ යම් යෝජනා ක්‍රියාත්මක නොවන්නේ නම් එසේ වීමට යම් හේතුවක් ඇත්නම් ඒ පිළිබඳ මැදිහත්වීම සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. මීට පෙර අයවැය ලේඛන 76ක් විවිධ රජයන් මගින් ඉදිරිපත් කර ඇතත් ඉන් ඇතැම් යෝජනා ක්‍රියාත්මක වීම වැළැකුණේ නීතිමය ගැටලු, මුදල් ගැටලු සහ ජනතා විරෝධය හේතුවෙන් බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. කෙසේ ද මේ සම්බන්ධයෙන් අපට කිව හැක්කේ අයවැය යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය ගැන පසුවිපරම් කරන අතරම යම් අහිතකර යෝජනා ඇත්නම් ඒවා ගැන වැඩිදුර සොයාබලා ඒවා ක්‍රියාත්මක වීම වැළැක්වීමට ද ක්‍රියා කළ යුතු බවයි. අයවැයක් යනු පරම සත්‍යය හෝ වෙනස් කළ නොහැකි ලියැවිල්ලක් නොවේ. මේ නිසාම අයවැයේ සඳහන් වුවත් එම යෝජනා ක්‍රියාත්මක වීමෙන් රටට සහ ජනයාට වඩා අහිතකර තත්ත්වයක් උදාවන්නේ නම් ඒවා ක්‍රියාත්මක නොකර සිටිය හැකි අතර අනෙකුත් අයවැය යෝජනා ක්‍රියාත්මක වීම කඩිනම් කරගත යුතු ද වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment