බද්ද විද්ද තැන… ආර්ථික අර්බුදයට මුහුණදීමේ මෙහෙයුම…

479
  • විනිමය අර්බුදයේ සුලමුල

මේ වන විට අප මුහුණ දෙන විදේශ විනිමය අර්බුදයට ආසන්න හේතු මෙන්ම දිගුකාලීන හේතු ද තිබේ. බොහෝ දෙනෙක් සරල මතු පිටින් දකින්නේ අප අද මුහුණ දෙන උග්‍ර විදේශ විනිමය අර්බුදයේ ආසන්න හේතු පමණි. එහෙත් මෙයට දිගුකාලීන හේතු තිබේ. මූලිකම දිගුකාලීන හේතුව නම් අප උපයන විදේශ විනිමය ප්‍රමාණයට වඩා බොහෝ වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් වියදම් කිරීමට කලක් තිස්සේම අප හුරු වී සිටීමයි. මෙයට පසුගිය සියලු රජයන් වගකිව යුතු වේ. කොරෝනාවට පෙර අපගේ අපනයන ආදායම මෙන් දෙගුණයක විදේශ මුදලක් වැය කරමින් භාණ්ඩ ආනයනය කර, අපි විසින් පරිභෝජනය කරමින් සිටියෙමු.

මේ නිසා ඇති වූ විදේශ විනිමය හිඟය විදේශ සේවා නියුක්තිකයන් එවන විදේශ විනිමය ප්‍රේෂණවලින්, සංචාරක ආදායමින් මෙන්ම තවදුරටත් විදේශ ණය ගැනීමෙන් අපට කෙසේ හෝ පියවාගෙන රෝල ගසාගෙන යෑමට හැකි විය. එහෙත් කොරෝනා වසංගතයෙන් පසු අපගේ විදේශ විනිමය ප්‍රේෂණ මෙන්ම සංචාරක ආදායම ද විශාල ලෙස කඩා වැටුණි. ඒ සමගම අපට විශාල විදේශ ණය වාරික ගෙවීමට ද සිදුව තිබිණි. එසේම අපගේ ආර්ථික බලධාරීන් පසුගිය කාලයේ ගත් ඇතැම් තීන්දු තීරණ ද විනිමය අර්බුදය තවත් උග්‍ර වීමට හේතු විය. ඒවා අපට ආසන්න හේතු ලෙස හඳුනාගත හැකිය. ඉන් එක් කරුණක් නම් රුපියල දිගු කලක් එකම ස්ථාවර අගයක පවත්වාගෙන යෑමයි. මෙවැනි ආසන්න හේතු ද නිසා දිගු කලක් තිස්සේ පැවති විනිමය අර්බුදය උග්‍ර වී විදේශ ණය ගෙවීමට නොහැකිව අත්‍යවශ්‍ය ආනයන කිරීමට පවා මුදල් නොමැතිව බලවත් දුෂ්කර ආර්ථික වාතාවරණයකට අප මුහුණ දී සිටිමු. මේ ආර්ථික අර්බුදය පුපුරා ගොස් මහජන විරෝධතා නිර්මාණය වී පසුගිය කාලයේ ඇති වූ දේශපාලන පෙරළි ගැන ද අපි දනිමු.

● හේතුවලට පිළියම් යෙදීම

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන පසුගිය කාලයේ අපගේ ණය ශ්‍රේණිය ද දිගින් දිගටම පහත හෙළනු ලැබීය. මේ නිසා අපට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ගොස් ණය ගැනීමේ හැකියාව ද නැතිව ගියේය. මේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අපගේ විදේශ ණය ගෙවීමේ අවදානම සලකා බලා මෙලෙස අපගේ ණය ශ්‍රේණිය කිහිප විටක්ම පහත හෙළා තිබේ. මේ නිසා අපට තවදුරටත් විදේශ ණය ගැනීම දුෂ්කර වූ නිසා අපට සිදු වූයේ දේශීය මුදල්වලින්ම එනම් මුදල් අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීමටයි. 2019 අග දී සිදු කළ විශාල බදු කප්පාදුව නිසා රජයේ ආදායම විශාල ලෙස අඩු වීමෙන් අයවැය හිඟය ඉහළ ගියේය. මේ නිසා වැඩි වශයෙන් මුදල් අච්චු ගැසීමට සිදු විය. ආදායම් හිඟය හමුවේ ඉදිරියට ද තවදුරටත් මුදල් අච්චු ගසා රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු රජයේ වියදම් පියවා ගැනීමට ද සිදුව තිබේ. දැන් මේ තත්ත්වයන් ක්‍රමයෙන් නිවැරදි කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට රජයට සිදු වේ. මේ සඳහා වත්මන් අන්තර්කාලීන රජය විසින් විශාල බදු ප්‍රතිසංස්කරණයක් සිදු කර ඇත. මුදල් ඇමැතිවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම නව බදු යෝජනා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඒවාට අනුමැතිය හිමිව තිබේ. වැට් බද්ද වැඩි කිරීම ඇතුළු එම බදු යෝජනා දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ ආර්ථික අර්බුදය හා බදු මිල විශාල වශයෙන් ඉහළ යෑම හමුවේ සමාජයේ අතිමහත් බහුතරය මේවන වට විශාල පීඩාවකට පත්ව සිටීමය. මේ නිසා ඔවුන්ට තවත් අලුතින් බදු බරක් ඉසිලිය හැකි ද? විශේෂයෙන් වැට් බද්ද වැඩි කළ විට තවත් බඩු මිල වැඩි වීමක් සිදු වේ. දැනටමත් උද්ධමනය සියයට 40 කට අසන්න අගයක් දක්වා වැඩි වී තිබේ. මේ නිසා ප්‍රශ්නය තිබෙන්නේ රාජ්‍ය ආදායම වැඩි කරගත යුතු නමුත් හොඳටම පීඩාවට පත්ව සිටින මහජනයා වක්‍ර බදු වැඩි කිරීමෙන් තවත් පීඩාවට පත් විය හැකි වීමයි. මේ නිසා ආදායම් මට්ටම් වැඩි වීම අනුව පුද්ගල ආදායම් බදු අනුපාත සියයට 40 ක් පමණ දක්වා තවත් වැඩි කර සහ වෙනත් මාර්ගවලින් යම් ආදායමක් උපයා ගැනීමට රජය කටයුතු කළා නම් මේ වැට් බදු වැඩි කිරීම මේ ජනයාට බොහෝ අමාරු වෙලාවේ නොකර සිටීමට ඉඩ තිබුණි. කෙසේ හෝ දැන් එය සිදු කර අවසන්ය. ඒ අනුව වැට් බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා වැඩි කර ඇත. මෙමගින් මේ වසර (2022) සඳහා අපේක්ෂිත අතිරේක බදු ආදායම රු. කෝටි 9100 කි. එසේම වසරක් සඳහා මෙමගින් අපේක්ෂිත අමතර බදු ආදායම රු. කෝටි 15ල600 කි. මේ බදු වැඩි කිරීමට අනුරූපව වැට් බද්ද යටත්වන සියලු භාණ්ඩවල මිල ගණන් වැඩිවනු ඇත. මේ නිසා තවදුරටත් බඩු මිල ඉහළ ගොස් උද්ධමනය වර්ධනය වනු ඇත.

● බදු ආදායම ඉහළ නැංවීමේ යෝජනා

දේශීය ආදායම් සේවා සංගමය විසින් රාජ්‍ය බදු ආදායම ඉහළ නැංවීම සඳහා යෝජනා මාලාවක් පසුගිය මැයි 28 දින අගමැතිවරයාට ඉදිරපත් කර තිබුණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, නියෝජ්‍ය කොමසාරිස්, කොමසාරිස් සහ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් යන ශ්‍රේණිවල විධායක නිලධාරීන් නියෝජනය කරනු ලබන ශක්තිමත්ම හා ප්‍රබලම වෘත්තිය සමිතියක් වන එම සංගමය වටිනා යෝජනා මාලාවක් අගමැතිවරයාට ඉදිරිපත් කර තිබූ අතර ඒවායින් බොහෝ යෝජනා රජයේ නව බදු වෙනස්කම් සඳහා සලකා බලා ඇතැයි එම සංගමයේ සමලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා මේ ලියුම්කරුට කීවේය. ආදාළ යෝජනා මාලාව දේශීය ආදායම් සේවා සංගමයේ සමලේකම්වරුන් වන එච්.ඒ.එල්. උදයසිරි සහ අයි.පී. සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සනින් අගමැතිවරයාට යොමු කර තිබිණි. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ පරිපාලනය යටතේ පවතින විවිධ වූ බදු වර්ග පරිපාලනය කිරීම හා සම්බන්ධයෙන් දීර්ඝකාලීන අත්දැකීම් හා පළපුරුද්දක් සහිත වෘත්තීය මට්ටමින් සේවය කරනු ලබන අප සමාජිකත්වය රටට අවශ්‍ය යහපත් බදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් හා බදු එකතු කිරීමේ ක්‍රියාවලිය තුළ පවතින අඩුපාඩු හා දුර්වලතා මගහරවා ගනිමින් රාජ්‍ය ආදායම එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පුළුල් සංවාදයක් තුළින් ඵලදායී සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී එම සංගමය පෙන්වා දී තිබිණි. මේ තුළින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 1200 කට අධික අතිරේක බදු ආදායමක් රැස් කිරීමට හැකියාව පවතින බවත් පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම බදු යෝජනා 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති නව අයවැය මඟින් ක්‍රියාත්මක තත්ත්වයට ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම සංගමය කියයි. මේ අනුව දැනටත් සිදුකර ඇති බදු වෙනස්කම්වලට අමතරව ඉදිරි අන්තර්කාලීන අයවැයෙන් ද තවත් ආර්ථික හා බදු ප්‍රතිසංස්කරණ කිරීමේ හැකියාව පවතී. පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආදායම එකතු කිරීමේ කාර්යය සඳහා උපරිම අන්දමින් දායකත්වය ලබාදීමට දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය කැපවී සිටින බව ද දේශීය ආදායම් සේවා සංගමය කියයි.

● බදු ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක කිරීම

මේ ආදායම් බදු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් කරමින් දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර එය නීතිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට හා එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය. එකතු කළ අගය මත බදු සංශෝධන සම්බන්ධයෙන් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත නීතිපතිතුමා වෙත ඉදිරිපත් කර එය රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය. විදුලිසංදේශ බද්ද හා සම්බන්ධයෙන් වන යෝජනාව වහාම ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව භාර රේඛීය අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කිරීමට නියමිතය.

● විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු වැඩි කිරීම

ආනයනික භාණ්ඩ වර්ග ගණනාවක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු රජය විසින් ගිය සතියේ විශාල ලෙස ඉහළ දමා ඇත. 2022 ජුනි 01 දින සිට ඉදිරි මාස හයක කාලය සඳහා මේ නව වැඩි කළ බදු අගයන් පැනවීමට රජය පියවර ගෙන ඇත. මේ අනුව මෙතෙක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ආනයනික යෝගට් කිලෝග්‍රෑමයකට රු. 1ල000 සිට රු. 2ල000 ක් දක්වා ද, ආනයනික වෙඬරු කිලෝග්‍රෑමයකට රු. 1000 සිට රු.1500 ක් දක්වා ද, ආනයනික කිරිවලින් නිපදවූ තැවරුම් කිලෝග්‍රෑමයකට රු. 1000 සිට රු. 2ල000 ක් දක්වා ද, ආනයනික චීස් කිලෝග්‍රෑමයකට රු. 400 සිට රු. 600 ක් දක්වා ද, ආනයනික අලුත් සහ වියළි රට ඉඳි කිලෝග්‍රෑමයකට රු.200 ක් ලෙස ද (බද්ද වෙනස් වී නැත), ආනයනික දොඩම් කිලෝග්‍රෑමයකට රු.200 සිට රු.600 ක් දක්වාද, ආනයනික අලුත් සහ වියළි මිදි කිලෝග්‍රෑමයකට රු.300 සිට රු.600 ක් දක්වා ද, ආනයනික ඇපල් කිලෝග්‍රෑමයකට රු.300 සිට රු. 600 ක් දක්වා සහ අනෙකුත් ආනයනික පලතුරු කිලෝග්‍රෑමයකට රු.300 සිට රු.600 ක් දක්වා ද ඉහළ දමා ඇත. මේ අනුව රටඉඳිවල හැර මෙම අනෙකුත් ආනයනික භාණ්ඩවල විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අගයන් සියයට 50 සිට සියයට 200 දක්වා ප්‍රතිශතයන්ගෙන් වැඩි කර තිබේ. 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මෙසේ අදාළ භාණ්ඩ සඳහා එම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අගයන් පනවා ඇත. එසේම තවත් භාණ්ඩ රැසකට බදු අධිභාරයන් ද පනවනු ලබා තිබේ. මේ බදු වෙනස්කම් මීට බොහෝ පෙර සිටම කළා නම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සඳහා අපගේ සීමිත විදේශ විනිමය සම්පත් වැයවීම සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට ඉඩ තිබිණි. අයිඑම්එෆ් යෑමේ තීරණය මෙන්ම මෙවැනි ගතයුතු බොහෝ තීරණ ගැනීමට ආර්ථික බලධාරීන් බොහෝ ප්‍රමාද වූ බව ද කිව යුතුය.

● ආර්ථික පරිහානි කාලය

යහපාලන රජය සමයේ ද ආර්ථිකය බොහෝ පසුබෑමට ලක්විය. ඒ රජයේ අගමැතිවරයා වූයේ ද රනිල් වික්‍රමසිංහ මහතාය. මේ රටේ ලක්ෂ 69 ක් ජනයා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපාලන රජය ගෙදර යැවීමටය. මහ බැංකු හොරුන්ට දඬුවම් දීමටය. එසේම මන්දගාමී වී තිබූ ආර්ථිකය හොඳ තත්ත්වයට ගැනීමටය. 69 ලක්ෂයක් ජනයා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දී රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් කළත් ඒ ජනවරමට පටහැනිව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යහපාලන රජයේ සිටි අගමැතිවරයාම නැවත අගමැතිකමට පත්කර ඇත. එයට හේතු වූ මෑතකාලීන පසුබිමක් තිබෙන බව ඇත්තය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පසුගිය කාලයේ හරියට රට පාලනය කළා නම් සහ මුල සිටම දුර දැක්මක් ඇතිව නිවැරදිව ආර්ථිකය කළමනාකරණය කළා නම් මෙවැනි තත්ත්වයකට රට පත් නොවන්නට ඉඩ තිබුණු අතරම ‘ගෝඨා ගෝ හෝම්’ කියමින් විශාල මහජන විරෝධතා මතු වන්නේ ද නැත. කෙසේ හෝ රටේ අවාසනාවට මහජන අපේක්ෂා කිසිවක් ඉටු වූයේ නැත. අනපේක්ෂිත ලෙස ලෝකයම වෙළාගත් කොරෝනා වසංගතයට අපට මුහුණ දීමට සිදු වූ බව ඇත්තය. එහෙත් එයට මුහුණ දුන්නේ අප පමණක් නොවේ. ලෝකයේ වෙනත් රටවල් ද මුහුණ දුන්නේය. එසේ නම් අපට මෙවැනි තත්ත්වයක් උදා වීමට හේතු වූ සුවිශේෂ කරුණු තිබෙන අතර ඒවා දැනටමත් හෙළි වී තිබේ. මෙසේ ජනතා අපේක්ෂා පළුදු වී අවසානයේ වූයේ සිදු වූයේ කලක් තිස්සේ පැවති විදේශ විනිමය අර්බුදය උග්‍ර වී විදේශ ණය ගෙවාගත නොහැකිව රට බංකොළොත් වීමයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය හොඳටම කිරීමේ ප්‍රතිඵලය මෙයයි.

මේ වන විට කොරෝනා වසංගතය සමනය වී ලෝකය ඉදිරියට යමින් සිටියත් අපට සිදුව ඇත්තේ තවදුරටත් විශාල ආර්ථික පරිහානි කාලයකට මුහුණ දීමටය. එනම් දැන් මේ අප ගතකරමින් සිටින්නේ විශාල ආර්ථික පරිහානි කාලයකය. එනම් කොරෝනා වසංගතය නිසා 2020 වසරේ අපගේ ආර්ථික වර්ධනය 2019 වසරේ පැවති සියයට 2.3 සිට සියයට 3.6 දක්වා ඉතිහාසයේ විශාලම ආර්ථික පසුබෑම වාර්තා කළෙමු. ඉන් පසු 2021 වසරේ දී අපගේ ආර්ථිකය සියයට 3.7 ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තේය. එම පසුබෑමෙන් පසු 2020 මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් පුරෝකථනය කර තිබුණේ, මේ වසරේ (2022) දී සියයට 5.2 ක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බවයි. එහෙත් එසේ කී මහ බැංකුව මේ උදා වී ඇති අලුත් තත්ත්වයන් හමුවේ පසුගිය අප්‍රේල් මස අගදී නිකුත් කළ 2021 වසරේ නවතම මහ බැංකු වාර්තාවෙන් කියන්නේ කුමක් ද? එහි සඳහන් වන්නේ මේ වසරේ (2022) ආර්ථික වර්ධනය ඔවුන් මුලින් කී සියයට 5.2 සිට සියයට එකක් දක්වා අඩුවනු ඇති බවයි. එහෙත් ඊට මසකට පසුව දැන් මහ බැංකුව කියන්නේ මේ වසරේ ආර්ථික වර්ධනයේ පසුබෑමක් වාර්තා කරනු ඇති බවයි. එහෙත් එම පසුබෑම කවර අගයකින් ද යන්න තවමත් පුරෝකථනය කර නැත. මේ වර්ෂයේ (2022 ) පළමු කාර්තුවේ ආර්ථික වර්ධන අගයන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දිනවල නිකුත් කළ පසු මහ බැංකුව විසින් මේ වසර සඳහා වන නවතම ආර්ථික වර්ධන පුරෝකථනය ඉදිරිපත් කරනු ඇතැයි සිතිය හැකිය. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා පසුගියදා මාධ්‍යට කියා තිබුණේ මේ වසරේ ආර්ථිකය සියයට 10 කින් පමණ සංකෝචනය වනු ඇති බවයි. මෙතරම් ඉහළ ඍණ ආර්ථික වර්ධනයක් ඇති වුවහොත් මේ වසරේ කෘෂිකර්ම නිෂ්පාදනය ද හොඳටම අඩු වී බොහෝ දෙනා කියන පරිදි අපට ඉදිරියේ දී ආහාර අර්බුදයකට මුහුණදීමට ද සිදුවනු ඇත. එසේ නම් මේ ආර්ථික පරිහානියට සහ ආහාර හිඟයට මුහුණ දීමට රටම සූදානම් විය යුතුව තිබේ. ඉදිරියේ දී මේ අනුව ආහාර මිල ගණන් තවදුරටත් ඉහළ යෑමට සහ ආහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණ දීමට ඉඩ තිබේ. එහෙත් මේ තත්ත්වයට රට සහ ජනයා පෙර සූදානම් කිරීම මගින් මේ අවදානම් තත්ත්වය අපට අවම කරගත හැකිය. ජනතාව ඒ සඳහා සූදානම් වන අතරේ රජයේ වගකීම වන්නේ මේ ගැන ජනයා දැනුවත් කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කර ගැනීම සඳහා සුදුසු ප්‍රතිපත්තිමය තීරණ සහ ක්‍රියාමාර්ග ගැනීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment