බදුබරින් බැටකන රටක.. පොලිස්පති තහනම් කිව්වට සීසර්ලා වාහන උස්සයි

98

වාහන හිමියන්ට විශේෂයි…

සීසර්වරුන්ට මඟතොටේදී වාහන ඉස්සීම නීතියෙන් තහනම්

අනවසරයෙන් පරිශ්‍රවලට ඇතුළුවීමත් තහනම්

වාහන අත්පත්කරගැනීමට පෙර අදාළ පොලිස් ස්ථානයට දැන්විය යුතුමයි

අගතියට පත්වූ අයට වන්දි ඉල්ලා නඩුමගට යා හැකියි

ජීවිතයේ සිහින අතර වාහන සිහිනය සැබෑකරගැනීම යනු මෙරට වෙසෙන බොහෝ දෙනකුට තවමත් සැබෑ කරගත නොහැකි සිහින අතරට එක්වූවකි. මේ අතරින් වාහන සිහිනය සැබෑකරගත් සැබෑ වාහන උරුමකරුවන්ද නැතුවා නොවේ. වාහනයක් ගැනීමට තරම් වත්කම් සපුරා ඇති මිනිසුන් කිසිදු කරදර බාධාවකින් තොරව තම වාහන සිහිනය සැබෑ කරගන්නා අතර ඉතාමත් අඩු ආදායම් ලබන අයවලුන්ද වාහන සිහිනය කෙසේ හෝ සැබෑ කරගන්නේ රජයේ හෝ පෞද්ගලික බැංකු හෝ පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයක් හරහා ලබාගන්නා ෆිනෑන්ස් පහසුකම් යටතේය. ඉතා ඉහළ වැටුපක් ලබන හෝ ඉහළ ආදායමක් මාසිකව ලබන තැනැත්තෙකුට මෙම ෆිනෑන්ස් ක්‍රමයට රථ වාහනයක් මිලදී ගැනීම කජු කනවාසේ කර්තව්‍යයක් වුවද අඩුආදායම් ලබන හෝ අඩු වේතනයක් ලබන්නකුටනම් මේ වන විට වාහනයක් තබා වාහනයක රෝදයක්වත් මිලදී ගත නොහැක. එහෙත් මේ කියන්නට යන කාරණය වන්නේ වාහන ගැන නොව මෙතෙක් ලීසිං පහසුකම් යටතේ පසුගිය වකවානුව තුළ ගත් රථ වාහන හිමියන් මේ වන විට පත්වී ඇති ඉරණම ගැනය. එනම් ලීසිං සමාගම් වලින් කල්බදු වාරික නොගෙවූ වාහන හිමියන්ගේ වාහන අත්පත් කරගන්නා අයගෙන් වාහන හිමිකරුවන්ට අත්ව ඇති බලපෑමයි. තවත් විදියකින් කිවහොත් මේ වනවිට ණය වාරික ගෙවා ගැනීමට අපොහොසත් වූ පාරිභෝගිකයාගේ වාහනය මහමඟ උදුරාගන්නා සීසර්ලා හෙවත් ‘වාහන උස්සන චණ්ඩීන්’ ගෙන් එල්ල වී ඇති තර්ජන පිළිබඳ ඇසිය යුතු කතාවකි.

මේ පිළිබඳ පසුගිය කාලය තුළ පොලිස්පතිවරයා විසින් ලීසිං සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කරගැනීමේ ක්‍රියාවලියේදී පොලිස් නිලධාරීන්ගේ කාර්යභාරය වගකීම්සහගත තත්ත්වයකට ඔසවා තැබනු ලැබීය. මෙහිදී පොලිස්පතිවරයා විසින් සම්පාදිත ලිපියක් මගින් නව කාර්යභාරය පිළිබඳ උසස් පොලිස් නිලධාරීන්ද මේ වනවිටත් දැනුවත් කර ඇත. ඔහුගේ ලිපියට අනුව කල්බදු මූල්‍යකරණ පනත යටතේ උපකරණ නැවත ලබාගැනීමේදී බදු දීමනාකරු විසින් අදාළ පොලිස් ස්ථානය භාර නිලධාරියා වෙත දැනුම්දීමක් සිදුකළ යුතුමය. එසේ තිබියදී තවමත් රට තුළ වාහන පැහැර ගැනීම් සිදුකරන පුවත් දිනපතාම වාර්තා වන්නේ සුලභවය.

මේ වන විට රටක් වශයෙන් පත්වී ඇති ආර්ථික අර්බුදය නිසා මෙරට වෙසෙන සෑම මනුෂ්‍යයකුටම තම වැටුපෙන් හා ලබන ආදායමෙන් ජීවත්වීමට අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් ඕනෑකම් සපුරාලීමෙන් අනතුරුව ලීසිං වාරිකය ගෙවීමට අතේ මුදලක් ඉතිරිවන්නේ නැත. කොටින්ම කිවහොත් වාහනයට තෙල් ගැසීමටද ඔවුන් අත මුදල් නැත. නිසි කලට සිදුකිරීමට අවශ්‍ය (සර්විස්) ඔවුන් අතහැර දමා ඇත්තේ මේ මුදල් නොමැති නිසාවෙනි. තවද රජය මගින් පනවන ලබන බදු බර හේතුවෙන් දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල හා අමතර කොටස් ආදිය හේතුවෙන් වාහන ගමන් කෙරුවාව පැත්තකට දමා ඔවුන්ට බසයෙන් හෝ දුම්රියෙන් තම ගමන් අවශ්‍යතාව

සිදුකරගන්නා පිරිස් අනන්තවත් සිටිති. ඇතැම් කාර්යාල සේවකයන් තමන් ගමන් ගන්නා මාර්ගවල නිසිවේලාවට බස් ධාවනය නොමැතිකම හේතුවෙන් ඔවුන් ගමන් ගන්නේ තමන් සතු වාහනයකිනි. මේ වාහනය කාර් රථයක් හෝ මෝටර් බයිසිකල්, වෑන් යන කුමන මාදිලියේ හෝ වාහනයකින් ඔවුන් තමන්ගේ රාජකාරි හෝ තම අවශ්‍යතාවන් සඳහා පරිහරණය කරති. ඔවුන්ට මේ වන විට ලීසිං ගෙවා ගැනීමට නොහැකිව තම වාහනයද සීසර්වරු රැගෙන ගොස් ඉතිරි මුදල් පියවා ගැනීමට එම මූල්‍ය ආයතන මගින් නීති මාර්ගයෙන්ද පියවර ගෙන ඇත. තවද මෙරට ත්‍රිරෝද රථ කුලීකරුවන්, බස්, ලොරි රථ, වෑන්, ට්‍රැක්ටර්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ආදී හිමිකරුවන් මේ වනවිට සිය ලීසිං ණය වාරික ගෙවාගැනීමට අපොහොසත්ව සිටිති. ඔවුන් තම එදාවේල සරිකර ගන්නේ තම වාහනය මගින් කෙරෙන රැකියා වලිනි. ඔවුන් පාරේ ගමන් ගන්නා කුමන අවස්ථාවකදී හෝ මේ සීසර්ලා හෙවත් ‘මහමඟ මැරයින්’ට ගොදුරු වන අවස්ථාද බහුලය. පවතින ආර්ථික අර්බුදය හමුවේ හිතේ දහසකුත් ප්‍රශ්න දරාසිටින වාහන හිමිකරුවන්ට මෙම සීසර්ලා හෙවත් මහමග චන්ඩීන්ගෙන් සිදුවන අකටයුතුකම් හේතුවෙන් තම දිවියෙන් පවා සමුගන්නට සිදුවූ අවස්ථා පසුගියදා මෙරටින් වාර්තා වූ බවද කිවයුතුය. තවද දිවයින පුරා පොලිස් ස්ථානවල පොලිස් පොත් වල පිටු ගණන් මෙවැනි සිද්ධීන් වලින් පිරී ගොස් ඇත. ආණ්ඩුව විසින් බදු ගැසීමෙන් පමණක් ආර්ථික අර්බුදයට පිළිතුරු සොයන නිසා අපේ රටේ මිනිස්සුන්ට ජීවත්වීමට දැඩි උත්සාහයක නිරත වීමට සිදුව ඇත. එම නිසා තමන් ලීසිං ක්‍රමයට ගත් වාහනයේ වාරිකයක් හෝ දෙකක් ගෙවීම අතපසුවන්නේ මිනිසුන්ට තවත් කරන්නට දෙයක් නොමැතිකම හේතුවෙනි. එහෙත් මේ බව මෙරට බැංකු හා මූල්‍ය සමාගම් ඒ බව නොදැන සිටිනවාද නොවේ. එහෙත් ලීසිං වාරික පැහැර හැර ඇති වාහන අත්පත් කරගැනීමේදී එම ආයතන මගින් සිදුකරනු ලබන ‘වාහන ඉස්සීම’ හෙවත් සීස් කිරීම (සීසර්ලා මගින්) මෙරට වාහන හිමියන් කබළෙන් ළිපටම හෙළීමකි.

වාහන උස්සන සීසර්ලා

සීසර්ලා මෙම වාහන අත්පත්කරගැනීම සිදුවන්නේ බොහෝ විට මගතොටේදීය. බොහෝ විට දහවල් කාලයේ පැමිණෙන මෙම සීසර්ලා ඇතැම්විට මැදියම් රෑ දොළහට, අලුයම එකට, දෙකට, තුනට කඩාවදින අවස්ථාද ඇත. බොහෝමයක් මෙම සීසර්ලා ගමේ නගරයේ නම ගිය චණ්ඩීන්ය. ඇතැම් විට ඔවුන් අවුරුදු කිහිපයක්ම මහඋළුගෙයි තැප නිදහස් වී නැවත පැමිණි අයය. දාමරිකකම තම රස්සාවට කදිම සුදුසුකමක් වී බවත් ගමේ රටේ සෑම තැනකම රිංගා හැම පාරක් තොටක් හන්දියක් ගානේම ඇවිද ඇති මොවුන් මෙම සීසර්කමට අමතරවද වෙනත් චණ්ඩිකම්ද සිදුකරනු ඇත. අප දැක ඇති ඇතැම් සීසර්ලා අතර විශේෂ සුදුසුකම් වලින් හෙබිඅයද සිටිති. වාහන පැදවීම, වාහන අලුත්වැඩියාව, විදුලිකාර්මික දෝෂ යනාදී සියල්ලම කළ හැකි ‘සීසර් අයියලා’ද මේ වාහන උස්සන සීසර්ලා අතර වෙති. ඔවුන්ට ඇතැම් විට ඔවුන්ගේ කණ්ඩායම තුළ ‘සියල්ල’, ‘බොසා’, ‘ලොක්කා’ වැනි අන්වර්ථ නාම වලින් පවා හඳුන්වන අවස්ථාද අප දැක තිබේ. එහිදී ‘සියල්ල’ යනු නාමයෙන් ඔවුන්ව හඳුන්වන්නේ මැරකමට අමතරව වාහන ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම් වලට මේ සීසර්ලා දක්‍ෂ නිසාවෙනි. ලීසිං වාරික ගෙවීමට අපොහොසත් වූ ඇතැම් වාහන හිමිකරුවෝ තම වාහනය මෙම සීසර්ලාගෙන් බේරාගැනීමට ගෙදර හෝ කාර්යාලයක සඟවා තබති. ඇතැමුන් එම වාහන තුළ ඇති සුක්කානම්, ටයර්, බැටරි පවා ගලවා තබා ඒවා වෙන් වෙන්ව සඟවා තබති. එහෙත් මේ හැමදෙයටම ඔට්ටු වූ සීසර්ලා කෙසේ හෝ මෙම වාහනය අටවාගෙන හිමිකරුවාගෙන් වාහනය රැගෙන යන්නේ පැදගෙන යෑමට නොහැකිනම් ඇදගෙන හෝ බූම් රථයක හෝ පටවාගෙනය. ඇතැම් අවස්ථාවල මඟතොටේදී මේ අය හිමිකරුගෙන් වාහන පැහැර ගන්නේ ගෙලට පිහිය තබා තර්ජනය කිරීමෙනි. තවද ඇතැම් සීසර්වරුන් වාහන හිමිකරුවන්ගේ නිවෙස් වලට පැමිණෙන්නේ වාහන ගැනුම්කරුවන්ගේ වේශයෙනි. ඔවුන් එසේ පැමිණ වාහන විකුණන්නට තිබෙන බව ඔවුනට ආරංචි වූ බවත් එහි මිල ගණන්ද ඔහු කතා කරගෙන යන්නේ තම අනෙක් සගයන් හා පැමිණ කොයිමොහොතක හෝ එම වාහනය උස්සගෙන යෑමට අවස්ථාව හා ස්ථානය දැකබලාගෙන යෑමටය. බොහෝ විට මෙම සීසර්ලා සමඟ දැඩි මිත්‍රකමක් හා සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන්ද මෙරට නැතුවාම නොවේ. එහෙයින් ඇතැම් අගතියට පත් පාර්ශ්ව පොලිසිය වෙත කෙරෙන පැමිණිලිද කිසිදු වගවිභාගයක් සිදුනොවන අවස්ථා ගැනද අප අසා ඇති අවස්ථාද එමටය.

කොවිඩ් නිසා ගනුදෙනුකරුවන්ට ලැබුණු සහනය

පසුගිය අවුරුදු කිහිපය තුළම ලෝකය වෙළාගත් කොවිඩ් වසංගතය නිසා මෙරටද ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්විය. මේ නිසා සියලුම ක්‍ෂේත්‍රයන්හි රැකියාවන්හි නිරතවන්නන්ට මේ මගින් ඇතිවූ බලපෑම නිසා දෛනික ජීවිතයේ ගැටලු රාශිකට මුහුණු දීමට සිදුවිය. බොහෝවිට තමන් සේවය කරන ආයතනය නිසිකලට වැටුප් ගෙවීම් සිදුනොවන නිසාත් විශේෂයෙන්ම ස්වයං රැකියාවල නිරත අයගේද ආදායම මුළුමනින්ම නතරවිය. මේ හේතුවෙන් මෙරට ජනතාවට තමන් විසින් නිසිකලට ගෙවීමට නියමිත ලීසිං වාරික පවා ගෙවා දැමීමට නොහැකිවිය. ඇතැම් විට වාරි කිහිපයක්ම ඔවුන්ට ගෙවීමට නොහැකිවීමෙන් මෙරට කල්බදු සමාගම් හා බැංකු මගින් ඔවුන් විසින් පැහැරහැර ඇති ණය මුදලට අමතර පොලී මුදල් අයකරගැනීමට සිදුවිය. මේ හේතුවෙන් පසුගිය කොවිඩ් වසංගත සමයේ රජය විසින් ඔවුන් සඳහා යම් යම් සහන ලබාදෙනු ලැබිණි. ඒ අනුව ත්‍රිරෝද රථ ලීසිං සම්බන්ධයෙන් 2020.03.23 දින ජනාධිපති ලේකම් විසින් යොමුකරන ලද අංක පී එස් එස් පී චක්‍රලේඛ 2020.03.23 දරණ චක්‍රලේඛයේ සඳහන් පරිදි වාහන වල ලීසිං ණය වාරික ගෙවීම සඳහා මාස 06 ක ණය සහන කාලසීමාවක් ලබාදෙනු ලැබීය. එහෙත් මෙහිදී ජනතාව ප්‍රකාශ කර සිටියේ මෙම ණය සහන කාලසීමාව මූල්‍ය සමාගම්වලට බලනොපැවැත්වෙන යන්නය.

මෙම ලීසිං කතන්දරය ගැන අප වැඩිපුර කතාකළ යුත්තේ පවතින ආර්ථික අර්බුදය නිසා ලීසිං ගෙවාගැනීමට නොහැකි අන්ත අසරණව සිටින සුවහසක් ජනතාවටද මේ පිළිබඳව නිවැරදි අවබෝධයක්ද ලබාදීම සඳහාය.

ලීසිං නොගෙවූ වාහන සමාගම් විසින් සන්තක කරගැනීම

කල්බදු පනත අනුව අදාළ වාහනයේ සන්තකය ආපසු ලබාගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි ආකාර දෙකක් පෙන්වා දෙයි. එනම් පනතේ 28 වන වගන්තිය ප්‍රකාරව අධිකරණය මගින් සන්තකය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක විය හැකිය. තවද වාහන ලබාගැනීම සම්බන්ධව ප්‍රතිවිරෝධතාවක් නොමැති විටෙකදී පන්ති 27 වන වගන්තිය ප්‍රකාරව ක්‍රියාත්මක විය යුතුය. එනම් 27 වන වගන්තියේ පෙන්වා දෙන්නේ අදාළ වාහනය පවතින ප්‍රදේශය තුළ පොලිස් ස්ථානභාර නිලධාරියා වෙත සිය හිමිකම් සම්බන්ධයෙන් දැනුම් දිය යුතු බවය. මෙහිදී සාමය කඩවීමක් සිදුවීම් වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහාය ගැනීම සිදුකළ යුතුය. මෙහිදී ප්‍රතිවිරෝධතාවක් නැති අවස්ථාවල වාහනයේ සන්තකය ලබාගැනීම සඳහා අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව සිදුකළ හැක. මෙහිදී වාහනය ලබාගැනීම යන අවස්ථාවේදී ප්‍රතිවිරෝධතාවයක් එල්ල වන්නේ නම් පොලිස් නිලධාරියාට වුවද වාහනය
ලබාගැනීම සඳහා හැකියාවක් නොමැත. මෙහිදී පොලිස් නිලධාරියාගේ සහය ලබාගන්නේ මෙම සිදුවීමේදී සාමය කඩවීම් සිදුවීම වැළැක්වීමටය. එහෙත් මෙරට බොහෝමයක් කල්බදු සමාගම් වැරදි අවබෝධයකින් පසුවෙන බව පෙනේ. එනම් ඔවුන් සිතන්නේ වාහනයක සන්තකය ලබාගැනීම සඳහා ඔවුනට අසීමිත බලයක් පවතින බවයි. මේ හේතුවෙන් බොහෝ වාහන අත්පත් කරගැනීමේදී (සීස් කිරීම) බොහෝ අපරාධමය වැරදි පවා සිදුකරනු ලබයි. බොහෝවිට මෙය සිදුවන්නේ සීසර්වරුන් හා වාහන හිමිකරුවන් අතර කෝළාහල තත්ත්වයකට මෙම ප්‍රශ්නය දුරදිග යෑමෙන්ය. මෙම පනතේ 30 වන වගන්තිය ප්‍රකාරව බදු ගැනුම්කරුගේ ප්‍රතිරෝධතාව පවතින අවස්ථාවකදී එම වාහනයේ සන්තකය බලහත්කාරයෙන් ලබාගැනීමට සමාගමට කිසිදු හැකියාවක් නොමැති බව පෙන්වා දේ. ඇතැම් සීසර්වරුන් වාහන හිමියන් බලෙන්ම එලියට ඇදදමා වාහන රැගෙන යන්නේ ඉහත 30 වන වගන්තියේ සඳහන් බදුගැනුම්කරුගේ ප්‍රතිවිරෝධය පවතින අවස්ථාවකය. තවද අවසරයකින් තොරව පුද්ගලික පරිශ්‍රයන් වෙත ඇතුළු වී වාහනවල සන්තකය ලබාගැනීමට ඔවුන්ට නීතිමය හැකියාවක් නැත. එමෙන්ම මෙම වාහනය හිමිකරුවන් වෙත නිසිදැනුම් දීමකින් තොරව යම් ස්ථානයක අදාළ වාහනය නවතා තිබියදී හොර රහසේම එම වාහනය රැගෙන යෑම සඳහාද නීතියෙන් අවසර නැත. ඒ හැම ක්‍රියාවක්ම සිදුකිරීම අපරාධමය ස්වභාවයක් ගනියි. තවද පුද්ගල නිවාස තුළට හා පරිශ්‍ර තුළට ඇතුළුවීම, අයුතු අවහිරය, තුවාල සිදුකිරීම, බලෙන් ලබාගැනීම, සොරකම්, කොල්ලකෑම වැනි ක්‍රියා බරපතළ අපරාධමය වැරදි බව පෙන්වා දේ. ඇතැම් විට සීසර්වරුන් මගින් සිදුකරන වාහන කොල්ලකෑමේදී මිනීමැරුම් පවා ඇතිවීමෙන් එවැනි අපරාධ ක්‍රියාකාරකම් සිදුකිරීම හේතුවෙන් හෝ ඊට අනුබලදීම නිසාවෙන් මූල්‍ය සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාකරවීමට සිදුවන බවද අපරාධ නීතිය පෙන්වා දෙයි. තවද නීතිය මගින් පෙන්වා දී ඇති අන්දමට එනම් කල්බදු මූල්‍යකරණ පනතේ දක්වා ඇති ප්‍රතිපාදනවලට පරිබාහිරව යමින් යම් වාහනයක සන්තකය නීත්‍යනුකූල නොවන ආකාරයෙන් අත්පත්කරගෙන තිබේ නම් ඊට අදාළව සිදුවන හානිය සම්බන්ධව සෘජු වගකීම යටතේ නඩු පවරා වන්දි ලබාගත හැක.

ඇතැම් වාහන හිමිකරුවන්ට තම ලීසිං වාරිකය ගෙවාගැනීමට නොහැකිවීමෙන් මඟතොට්දී වාහන උස්සාගෙන යෑම නිසා ඇතිවෙන කෝලාහල නිසා සීසර්ලා සහ වාහන හිමිකරුවන් අතර ආරවුල් පිළිබඳ නොයෙකුත් පුවත් මෙරට තුළින් අසන්න ඇත. ඒ අතර පසුගිය කාලයේ ලීසිං ආරවුලක් දුරදිගයෑමෙන් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වූ සුනිල් ජයවර්ධන ඝාතනය විය. මේ සිදුවීමත් සමඟ මෙරට බොහෝදෙනා ලීසිං සහ සීර්සර්ලා වැඩිපුරම කතාකරන්නට විය. ඉන්පසු සිදුවූයේ පොලිස්පතිවරයා ලීසිං සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කරගැනීමේ ක්‍රියාවලියේදී පොලිස් නිලධාරීන්ගේ කාර්යභාරය ඒ සඳහා අනිවාර්ය කිරීමයි. ඒ අනුව කල්බදු මූල්‍යකරණ පනත යටතේ උපකරණ නැවත ලබාගැනීමේදී බදු දීමනාකරු විසින් අදාළ පොලිස් ස්ථානය භාර නිලධාරියා වෙත පෙර දැනුම් සිදුකළ යුතුය. ඒ අනුව ලීසිං වාරික නොගවා ඇති පුද්ගලයන්ගේ රථවාහන පොලිසියට නොදන්වා අත්පත් කර ගැනීම තවදුරටත් සිදුකළ නොහැක. එමෙන්ම බදු දීමනාකරු හෝ බලය පැවරුණු නියෝජිතයා විසින් පොලිස් ස්ථානය වෙත දැනුම්දීමක් සිදුකිරීමේදී තොරතුරු සටහන් පොතෙහි එම ප්‍රකාශය සටන් කිරීම හා ලිඛිත ප්‍රකාශයක් තොරතුරු පොතේ ඇලවීමටද පියවර ගත යුතුය.

ලිපි ලේඛන ගැටලු

මෙරට තුළ ෆිනෑන්ස් හෝ ලීසිං සමාගම් සිය පාරිභෝගිකයන්ට ලබාදෙන සියලු ලිපි ලේඛන ඇත්තේ ඉංග්‍රීසි බසින් වීම මෙරට තුළ සිංහල හා දෙමළ භාෂාව පමණක් කියවා තේරුම් ගත හැකි පිරිසට ප්‍රශ්නයකි. මෙම සමාගම්වල නියමයන් හෝ කොන්දේසි යනාදිය නොදැන ඔවුන් එම ලියවිලිවලට අත්සන් කරයි. ඇතැම් ආයතනවලද ගිවිසුම් ලේඛන වලට අත්සන් තබන ස්ථානය පෙන්වා දෙන අතර එහි සඳහන් කරුණු කියවා බැලීමට ගනුදෙනු පාර්ශ්වයට අවස්ථාව නොලැබෙන අතර එහිදී ඉංග්‍රීසි බසින් සඳහන් නියමයන් හා කොන්දේසි කියවා බලන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම ඇති අය පමණකි. එහිදී සිංහල හා දමිල භාෂා පමණක් දැනසිටින පිරිස් වෙත සිදුවන්නේද අසාධාරණයකි. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ තම වාහනය හැකි ඉක්මනින් ගැනීම මිස පිටුගණන් පළකර ඇති කොන්දේසි කියවීම නොවන නිසා ඔවුන් බොහෝවිටද අමාරුවේ වැටෙන්නේද එනිසාය. එහි සඳහා පොලී අනුපාත, නීති රීති කිසිවක් කියවා බැලීමට නොහැකිවන වැඩිමනක් වාහන හිමිකරුවන් එම සමාගම් වලින් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් තමන්ගේ අවශ්‍යතාව ඉටුකරදෙන ලෙසයි. තවද මේ සඳහා ඇපකරුවන් ලෙස අත්සන් තබන බොහොදෙනාට සිදුවන්නේ ගැණුම්කරු ලීසිං වාරික ගෙවීමට අපොහොසත් වීම නිසා ‘ක්‍රිබ්’ එකට වැටීමටය. මේ හේතුවෙන් ඇපකරුවන්ට සිදුවන්නේද කිසිදු මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබාගැනීමට නොහැකිවීමයි. මෙම සිදුවීම් සියල්ලේම අවසානය වන්නේ වාහන හිමිකරුට කොයි මොහොතක හෝ සීසර්ලා හෙවත් වාහන අත්පත්කරගන්නා නිලධාරීන්ට හසුවී තම වාහනය සීසර්ලා විසින් ඩැහැ ගැනීමයි. මෙහිදී මෙම කල්බදු සමාගම විසින්ද සිදුකළ යුත්තේ මෙම වාහන අත්පත්කරගැනීමේ නිලධාරි තනතුරට චන්ඩින් හා මැරයන් යොදා නොගෙන ඒ සඳහා ක්‍රියාන්විත රාජකාරිවල යෙදී විශ්‍රාමගත් (මනා ශරීර සෞඛ්‍යයෙන් හෙබි) අයවළුන් යොදවා මෙරට නීතියට ගරු කරමින් වාහන අත්පත්කරගැනීමේ කටයුතු සිදුකිරීමයි. අප එසේ කියන්නට හේතුව මේ සඳහා මැරවරයින් හා ආවේගකාරී පිරිස් යොදාගෙන මේ කාර්යය සිදුකිරීමේදී මෙරට වාහන හිමිකරුවන්ට ඔවුන් සමඟ කලකෝළාහල වලට මැදිහත්වීමට සිදුවීමෙන් වටිනා ජීවිත පවා මෙරටට අහිමිවන අවස්ථා වැඩි බවය. තවද මෙසේ වාහන සීස් කරන සීසර්වරුන්ද මනුෂ්‍යයෝ වන අතර ඔවුනටද පවතින ආර්ථික අර්බුදය දැනෙනු ඇතැයි අප විශ්වාස කරමු.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment