බදුල්ල දිස්ත්‍රික්කයේ ජල මූලාශ්‍රවලට අසූචි මිශ්‍රවෙයි

198

බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින ජල මූලාශ්‍ර සියයට සියයකම අසූචි මිශ්‍රව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවැසීය.

හෙතෙම එලෙස පවසා සිටියේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත් 29 දා පවත්වන ලද වැඩමුළුවකදීය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම වැඩමුළුව පවත්වන ලදී. තවදුරටත් අදහස් දැක් වූ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා මෙසේද කීය. බදුලු ඔයේ එක කිලෝ මීටරයක දුරක් ගිහින් බලන්න. රජයේ ආයතනවල සහ පුද්ගලික වැසිකිළි සියල්ලම බදුලු ඔයට මුදාහැර ඇති අන්දම බලා ගන්න පුළුවන්. වැසිකිළි මුදා හැරීමේ සීමාවක් තියෙනවා. එම සීමාව ඉක්මවා ගිහින් තියෙන්නේ. දුන්හිඳ දිය ඇල්ලට පහළ පිහිටි තල්දෙන ප්‍රදේශයේ ජනයා බදුලු ඔයේ ජලය උණු නොකර පානය කරන බව දැන ගන්න ලැබුණා. පුදුමයි ඒ මිනිස්සු නොමැරී ජීවත් වෙනවා. බදුලු ඔය අනාරක්ෂිතයි. හොඳින් නිරීක්ෂණය කළොත් එය දෙපස පස් ගොඩවල් දකින්න පුළුවන්. ඒ පස් ගොඩවල්වලට මොකක්ද වෙන්නේ. ඒවා වැස්ස සමග ඔය දිගේ ගසා ගෙන යනවා. අවසානයේ ජලාශ පතුලේ තැන්පත් වෙනවා. එය දිගුකාලයක සිටම සිදුවෙනවා. එමගින් ජලාශයේ ජල ධාරිතාව අඩු වෙනවා. එවැනි කටයුතු පුද්ගලික වාහනවලින් වාගේම රජයේ වාහනවලින් ද සිදු කරනවා. මේවා නීති විරෝධී වැඩ.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment