බදුල්ල රෝහලේදී විස්මිත සැත්කමක්

569

මොළයේ හටගත් ගෙඩියක් හේතුවෙන් ස්නායු ආබාධයකින් පෙළුණු 44 හැවිරිදි කාන්තාවකගේ එම ගෙඩිය බදුල්ල මහ රෝහලේදී පෙරේදා (08දා) සිදු කළ විස්මිත සැත්කමක් මගින් ඉවත්කිරීමට හැකිවූ බව වෛද්‍යවරු පවසති.

බදුල්ල රෝහලේදී විස්මිත සැත්කමක්
නිර්වින්දන වෛද්‍ය විශේෂඥ හර්ෂිකා හැන්නැදිගේ

රෝගී කාක්තාව පූර්ණ වශයෙන් නිර්වින්දනය නොකර එම කත සමඟ කතාබහ කරමින් එම සැත්කම සිදුකිරීම එහි විශේෂත්වය වන බව වෛද්‍යවරු පැවැසූහ.

බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලක්මාල් හේවගේ මහතා ප‍්‍රමුඛ වෛද්‍ය, හෙද හෙදි කාර්ය මණ්ඩලයක් විසින් එය සිදුකර ඇත.

මෙවැනි සැත්කමක් ශ‍්‍රී ලංකාවේදී සිදුකළ දෙවන අවස්ථාව මෙය බවත් මීට පෙර අනුරාධපුර රෝහලේදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමකින් තොරව මෙවැනි සැත්කමක් සිදුකර තිබෙන බව බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලක්මාල් හේවගේ මහතා ප‍්‍රකාශ කළේය.

නුවරඑළිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම රෝගී කත දැනට සති දෙකකට පමණ පෙර බදුල්ල මහ රෝහලට ප‍්‍රතිකාර සඳහා පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ සිදුකළ පරීක්‍ෂාවන්වලදී ඇයගේ මොලයේ සෙන්ටි මීටර් 3-4 පමණ විශාල ගෙඩියක් තිබෙන බව හඳුනාගෙන තිබේ.

බදුල්ල රෝහලේදී විස්මිත සැත්කමක්
ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලක්මාල් හේවගේ

එම ගෙඩිය තවදුරටත් එසේ පැවතුණහොත් ඇතිවිය හැකි අංශභාග රෝගී තත්වයෙන් වළක්වා ගැනීම සඳහා ඉක්මනින්ම එය ඉවත්කිරීමට තීරණය කළ බවත් ඒ අනුව එම සැත්කම ඉතාමත් සාර්ථකව සිදුකිරීමට හැකිවූ බවත් ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ හේවගේ මහතා කීය.

සැත්කම සිදුකිරීමට පැය 04ක පමණ කාලයක් ගත වූ බවත් සැත්කමෙන් පසුව මේ වනවිට එම රෝගී කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ඒ මහතා පැවැසීය.

මෙම සැත්කම සිදුකිරීම සඳහා බදුල්ල මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතාගේ මඟ පෙන්වීම සහ නිර්වින්දන වෛද්‍ය විශේෂඥ හර්ෂිකා හැන්නැදිගේ මහත්මිය සහ වෛද්‍ය නිශාන්ත ලියදිපිට මහතා ඇතුළු වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ කැපවීම මහත්සේ අගය කරන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

කරුණාරත්න ගමගේ




 

advertistmentadvertistment
advertistmentadvertistment