බදු ගෙවන්නන් ගණන ලක්‍ෂ 5 දක්වා පහළට

173

මේ වනවිට හොඳටම අඩුවී ඇති රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15ක් දක්වාවත් ඉහළ නංවාගත යුතු යැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (22දා) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අමතමින් පැවසීය.

මෙසේ රාජ්‍ය ආදායම වැඩිකර ගනිමින් පැරණි මූල්‍ය ගෞරවය නැවත ඇතිකර ගත යුතු බවත් එය ඉතා අසීරු ඉලක්කයක් බවත් ඇමැතිවරයා කීවේය.

රාජ්‍ය ආදායම අඩුවීමට අදාළ ප්‍රතිපත්තිමය කරුණු නිවැරැදි කරගත යුතු බවද එසේම බදු ගෙවන්නන් තුළ ඇති සැකසංකා දුරුකරගත යුතු බවද ඇමැතිවරයා ඊයේ දේශීය ආදායම් මූලස්ථානයේදී සඳහන් කළේය.

වර්ෂ 2019 සහ 2021 යන කාලයේදී උපයන විට ගෙවීමේ බදු ලිපිගොනු ලක්‍ෂ 5 සිට ලක්‍ෂ 4 දක්වා සහ මුළු ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 17 සිට ලක්‍ෂ 5 දක්වාද අඩුවී ඇතැයි ද සඳහන් කළ ඇමැතිවරයා කීවේ බදු ලිපිගොනු සංඛ්‍යාව නැවත වැඩිකර ගතයුතු බවයි.

රාජ්‍ය ආදායම වැඩිකර ගනිමින් රටේ මූල්‍ය ස්ථාවරයක් ඇතිකර ගැනීමට නම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15ක් දක්වාවත් රාජ්‍ය බදු ආදායම නංවාගත යුතු බවද මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා තවදුරටත් කීවේය.

මෙහිදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස්. හපුආරච්චි මහතා ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහුද කතා කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment