බදු දැලෙන් රිංගූ කැසිනෝ  හිමියෝ දෙදෙනෙක් බදු ගෙවන්න එකඟ වෙති

1016

ශ්‍රී ලංකාවේ දැනට පවත්නා මුදල් හිඟයට විසඳුමක් වශයෙන් බදු ගෙවීම පැහැර හැර ඇති අයගෙන් එම බදු මුදල් වහා අයකර ගැනීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මේ යටතේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ කැසිනෝ හිමියන් දෙදෙනකු රජයට ගෙවීම පැහැර හැර ඇති සුවිශාල බදු මුදලක් අයකර ගැනීමට නියමිතය.

 මෙම කැසිනෝ හිමියන් දෙදෙනාගෙන් එක් අයකු රුපියල් මිලියන 575 ක බදු මුදලක් ගෙවීම මගහැර තිබේ. එයින් කොටසක් ගෙවීමට එම කැසිනෝ හිමියා දැනටමත් එකඟ වී ඇත. ඒ අතර අනෙක් කැසිනෝ හිමියා රජයට රුපියල් මිලියන 760 ක මුදලක් බදු වශයෙන් ගෙවීම මගහැර ඇත. එම මුදලින් කොටසක් ගෙවීමටත් ඉතිරිය පසුව ගෙවීමටත් එම කැසිනෝ හිමියා දැනටමත් එකඟ වී තිබේ.

 කැසිනෝ ශාලාවලින් ලැබීමට නියමිත බදු අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සූදු සහ මුදල් ඔට්ටුවලට අදාළ වන නීතිය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. මෙමගින් බදු ගෙවීම මගහැර සිටින අයට එරෙහිව දැඩි පියවරක් ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබේ.

 පසුගිය මාස හයක කාලය තුළ බදු ගෙවන්නන් විසින් ගෙවීම් මගහැරීම නිසා රජයට රුපියල් බිලියන 515.15 ක බදු මුදලක් අහිමිවී තිබේ. මේ මුදල් ගෙවීමට ඇති අය බදු නීතියේ ඇති විවිධ ලිහිල් තැන් මගහරිමින් ගෙවීම පැහැර හැර ඇති බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බහුතරය අපක්ෂපාතීව සහ කාර්යශූර ලෙස කටයුතු කරන අතර නිලධාරීන් කිහිපදෙනකු පමණක් අවිධිමත් ලෙස කටයුතු කරන බව එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment