බදු බර වැඩ බිම් නවතී

163

විසඳුම් නැත්නම් 8 දා සිට අඛණ්ඩ වර්ජනයක්
බාහිර රෝගී අංශ සම්පූර්ණයෙන්ම අක්‍රීයයි
රාජ්‍ය බැංකු වැඩත් අඩාලයි

රජයේ නව බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම ඉහළයෑම ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ඊයේ (01 දා) ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනය විරෝධතා හා උද්ඝෝෂණවලට විශාල පිරිසක් පක්‍ෂපාට භේදයකින් තොරව එක්වූහ.

බදු බර වැඩ බිම් නවතී

බැංකු ඇතුළු රෝහල්, වරාය, ඛනිජ තෙල්, විදුලිය ඇතුළු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති 40 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ වැඩ වර්ජනය සහ විරෝධතාවය නිසා ජන ජීවිතයට බාධා එල්ල වී තිබුණි. සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් මාර්තු 08 දා සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද වෘත්තීය සමිති ප්‍රකාශ කළහ.

මහජනතාව වඩාත්ම පීඩාවට පත්වන රෝහල් පද්ධතියේ බාහිර රෝගී අංශ සම්පූර්ණයෙන්ම වාගේ අක්‍රියවීමත් අනෙකුත් රෝගී ප්‍රතිකාර අංශ නිසි ලෙස ක්‍රියාත්මක නොවීමත් නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින අයුරු දක්නට ලැබුණි.

බදු බර වැඩ බිම් නවතී

රාජ්‍ය බැංකුද බැංකු ශාඛා වසා වැඩ වර්ජනයට සහාය පළ කිරීම නිසා මහජනතාවට ඒ. ටී. එම්. – සී. ඩී. එම්. යන්ත්‍ර මගින් ගනුදෙනු කරනු දක්නට ලැබිණි. සේවක පඩිපත මත පනවා ඇති ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බැවින් බැංකුවේ අගනා ගනුදෙනුවත් වන ඔබට එයින් සිදුවන අපහසුතාව පිළිබඳව බලවත් කනගාටුව ප්‍රකාශ කරමු යනුවෙන් ලංකා බැංකු සේවක සංගමය විසින් නිවේදනයක් එම බැංකු ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබුණි. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිසාපති කාර්යාල ඉදිරිපිටද විරෝධතා පැවැත්වූ බවට වාර්තා විය.

බදු බර වැඩ බිම් නවතී

මගී ප්‍රවාහන කටයුතු සහ තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බවට වාර්තා වුවත් ඇතැම් පාසල්හි ගුරුවරුන් කළු පැහැති හා තද පැහැති ඇඳුම්වලින් සැරසී පැමිණියහ. ඇතැම් ගුරුවරුන් කළුපටි පැළඳ පාසල්වලට පැමිණෙන අයුරුද දැකගත හැකි විය.

නව බදු ප්‍රතිපත්තියට අමතරව බැංකු පොලී අනුපාතය පහත දමනු, සියලුම ඉපයීම්වලින් අසාධාරණ ලෙස බදු අයකිරීම නවතනු, රුපියල් 20,000 ක ජීවන වියදම් දීමනාවක් ලබාදෙනු, ඖෂධ හිඟයට වහා විසඳුම් දෙනු, විදුලිය, ඉන්ධන, ගෑස් ඇතුළු භාණ්ඩ මිල පහත දමනු, විශ්‍රාම වැටුප් හා දීමනා ප්‍රමාද නොකර ගෙවනු, අයි. එම්. එෆ් කොන්දේසිවලට යටවී සමෘද්ධි වැඩිහිටි ඇතුළු දීමනා කප්පාදු නවතනු, රාජ්‍ය දේපළ විකිණීම තවතනු, ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු, නියමිත මැතිවරණය වහා පවත්වනු වැනි සටන් පාඨ ද විරෝධතාකරුවන් විසින් ඉදිරිපත් කරන ලදී.

රජයේ මුද්‍රණාලය, ඇතැම් රෝහල්, තැපැල් මූලස්ථානය, දුම්රිය මූලස්ථානය, වරාය, විදුලිය, කොළොන්නාව ඛනිජ තෙල් සංස්ථාව, සපුගස්කන්ද පිරිපහදුව, බියගම වෙළෙඳ කලාපය ඇතුළු ආයතන රැසක් ඉදිරිපිට ඊයේ (01 දා) විරෝධතාවන් පැවැත්වූ බවටද වාර්තා විය.

වරාය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නරතවීම නිසා එහි සේවාවන් මන්දගාමීව සිදුවන බවට වාර්තා විය. වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා කියා සිටියේ ඊයේ (01 දා) දිනයේදී වරාය තුළ නැව් 08 ක් පැමිණීමට නියමිතව තිබෙන බවත් එම නැව්වල භාණ්ඩ ගොඩ බෑම අකුරට වැඩ කිරීම නිසා මන්දගාමී විය හැකි බවද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා වරාය සේවකයන් 9000 ක පමණ පිරිසක් අතරින් වෘත්තීය සමිති 40 කම පිරිස් එක්ව සිටි බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් වරාය සභාපති කීත් බර්නාඩ් මහතා සඳහන් කළේ මෙහෙයුම් කටයුතුවලට කියන තරම් බාධාවක් එල්ල නොවූ බවය. මසකට රුපියල් කෝටි 500 ක් 600 ක් ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබමින් පවත්වාගෙන යන බවත් එසේ තිබියදී සංස්ථාවට අයත් ඉන්ධන හල් 600 ක් විකිණීම සඳහා කටයුතු කරන බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ වැඩ වර්ජන, උද්ඝෝෂණ සහ විරෝධතාවය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බවය. මහ බැංකුව ඇතුළු බැංකු ආයතන වැඩවර්ජනය කරමින් සහාය දැක්වූ බවත් දුම්රිය, ඛනිජතෙල්, වරාය ඇතුළු ආයතන කිහිපයක් ඉදිරිපිට විරෝධතාවයන් දැක්වීමට වෘත්තීය සමිති කටයුතු කර තිබූ බවද ඔහු කීය.

ජනතා අදහස්වලට ඇහුන්කන් නොදී ජනතා ද්‍රෝහී ආණ්ඩුව තවදුරටත් කටයුතු කරනවා නම් ඔවුන් පලවා හැර රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සියලු වෘත්තීය සමිති එකතු කරගෙන අරගල කරන බවද ඔහු කීය. ඇතැම් වෘත්තීය සමිති එළැඹෙන 08 වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවට ප්‍රකාශ කර තිබෙන බවත් අන්තර් සමාගම් සේවක සංගමය ලෙස සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරගෙන ඉදිරියේදී ගනු ලබන පියවර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද සමරසිංහ මහතා කීය.
චමින්ද සිල්වා – ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment