බදු ලිපිගොනු විවෘත කළත් හැමෝගෙන්ම බදු ගන්නේ නෑ -මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

113

අයකරන වක්‍රබදු භාණ්ඩාගාරයට යනවාද යන්නත් ප්‍රශ්නයක් -හරිනි අමරසූරිය (ජාජබ)

බදු මුදල් අවභාවිතා කිරීමෙන් ආදායම අඩුවුණා- නලින් බංඩාර (සජබ)

ආණ්ඩුව බොරු කියනවා: ණය ගෙවීම ඇරැඹීමත් සමග විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවේවි- වසන්ත යාපා බංඩාර (ශ්‍රීලපොපෙ)

බදු ගෙවිය හැකි විශාල පිරිසක් බදු ගෙවීම පැහැර හැර ඇති බැවින් වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයකුටම බදු ගොනුවක් විවෘත කිරීමේ වැඩ පිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කිරීමට සිදුව ඇතැයි රාජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි.

නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් අසා තිබූ ප්‍රශ්න සඳහා ඇමැතිවරු පිළිතුරු සැපයීම සහ 27 -2 යටතේ විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු ලබා දීමෙන් අනතුරුව දිනට නියමිතවූ 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග සහ (351 අධිකාරය වූ) ආගමික හා විගාමික පනත යටතේ නියෝගවලට අදාළව විවාදය ආරම්භ කෙරිණි.

(නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

විවාදය ආරම්භ කරමින්, රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා –

ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම ඇති රට ලෙස 2022 දී නම් වුණා. දළ දේශීය ආදායමෙන් සියයට 8යි ආදායම සියයට 20 වියදම.

2023 අයවැය මගින් සැමට බදු ලිපිගොනුවක් ඇති කරන බව කිව්වා. එයින් හැමෝගෙන්ම බදු ගන්නවා කියන්නේ නෑ. බොරු අර්ථකතන දෙන්න එපා.

අපේ සියයට 20 යි සෘජු බදු තියෙන්නේ. 2022 බදු ආදායම රුපියල් බිලියන 2000යි. ඉන් බිලියන 400යි සෘජු බදු. ඉතිරිය සමස්ත ජනතාවම ගෙවන වක්‍ර බදුයි. අපි මේ සංයුතිය වෙනස් කිරීමේ සටනක ඉන්නේ.

දැන් සෘජු බදු සියයට 30ක් බවට පත්වෙලා. වක්‍ර බදු සියයට 70ට අඩුවෙලා. සියයට 60ක ප්‍රමාණයට වක්‍ර බදු ප්‍රතිශතය ගෙන ඒමයි අපේ ඉලක්කය. බදු ගෙවිය හැකි අයගෙන් බදු අය කිරීම අපේ අරමුණයි. මේ වසර අවසන් වනවිට බදු ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ඇති අයගෙන් රුපියල් බිලියන 400ක් පමණ අයකර ගන්න හැකි වෙනවා.

බදු ගෙවිය හැකි විශාල පිරිසක් බදු ගෙවන්නේ නෑ. අපි බදු ලිපිගොනු විවෘත කිරීමට කාණ්ඩ 8ක් ගැසට් කළා. වෛiවරු, ගණකාධිකාරිවරු, යතුරුපැදි, ත්‍රිරෝද රථ හෝ අත්ට්‍රැක්ටර් නොවන වෙනත් වාහන ලියාපදිංචි කර ඇති අයත් බදු ලිපිගොනු විවෘත කළ යුතුයි. මාසිකව රුපියල් ලක්‍ෂයක ආදායමක් උපයන අයත් ඉඩමක් ලියාපදිංචි කරන අයත් ආදායම් බදු ලිපිගොනුවලට ඇතුළත් වෙනවා.

පාර්ලිමේන්තුවේ 225ටම බදු ලිපිගොනු විවෘත වෙනවා. ඉදිරියේදී මැතිවරණවලට නාම යෝජනා භාර දෙනවිටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතුයි. ඇමැති කාර්ය මණ්ඩලයට එක්වන අයටත් බදු ලිපිගොනුව විවෘත කළ යුතු බවට යෝජනා කර තිබෙනවා.

බදු අයකිරීමේ දී ඉතිහාසය ගැන කොහේවත් විස්තර නෑ. වර්තමානය පමණයි. කැමැත්තෙන් බදු ලිපිගොනු විවෘත කරන අයට ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබා දෙනවා.

අපේ හැම බදු ආදායමක්ම යන්නේ ඒකාබද්ධ අරමුදලට. එය ඉතා පරිස්සමින් වැය කරන්නේ. හැම වියදමක්ම ගැඹුරු අධීක්‍ෂණයක් සිදු කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බංඩාර (සජබ) :

බදු මුදල් දූෂිත ව්‍යාපෘතිවලට යෙදවීමත්, වෙනත් දූෂණ ක්‍රියාවලට යෙදවීමත් අවභාවිතා කිරීමත් නිසා ආදායම අඩුවුණා. මේ ආණ්ඩුව දූෂිතයන්ට දඬුවම් දේවි කියා හිතන්නේ නෑ. ආණ්ඩුව පවතින්නේ ඔවුන් නිසයි.

ආණ්ඩුව ජනමතයට බයයි. ආණ්ඩුව සංචිතය ඉහළ ගිය බව පවසනවා. ඒත් ඡන්දෙ තියන්න සල්ලි නෑ කියනවා. මැතිවරණ ඉල්ලන නඩු තාම ඇදෙනවා. ඒ නිසා මැතිවරණයට අවශ්‍ය මුදල් දැන්වත් ලබාදෙන්න.

සුරාබදු ආදායම හා රේගු ආදායම දැන් අඩුවෙලා. ඒ ගැන අවශ්‍ය තීරණ ගන්න. ආනයන අඩුවීම නිසා රේගු ආදායම අඩුවෙලා. මත්පැන් මිල ඉහළ යෑම නිසා සුරාබදු ආදායම අඩුවෙලා.

සියලු දෙනාට බදු ලිපි ගොනුවක් තියෙනවා නම් හොඳයි. ඒත් අද වෘත්තිකයෝ රට හැර යනවා. තරුණ පරපුරට රැකියා නෑ. ව්‍යවසායකත්වයට මුල් තැන දෙන ආර්ථිකයක් හැදිය යුතුයි.

පත් කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය (ජාජබ) :

අද වනවිට නිදහස් අධ්‍යාපනය කියන එකක් තියෙනවාද කියන එක ගැටලුවක්. අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් කපා හැරලා. ඒවා තවදුරටත් නිදහස් නෑ. උසස් පෙළ දරුවන් ගොඩ යන්නේ ටියුෂන් ගිහින්. පාසල්වලට අවශ්‍ය පහසුකම් ලබා නොදීම නිසා භයානක තත්ත්වයක් ඇතිවෙලා.

අද ගෙවන බදු හරියට එකතු වනවාද කියන එක ප්‍රශ්නයක්. දැන් ඇති ප්‍රමාණයෙනුත් සියයට 40 යි එකතු කරගෙන තියෙන්නේ. බදු තොරතුරු ලබාගැනීමට අදටත් හරිහමන් ඔන් ලයින් ක්‍රමයක් නෑ.

එකතු කරගත යුතු ප්‍රමාණය රුපියල් ටි්‍රලියනයක් කියලා වාර්තා කරනවා. ඒවා ගැනත් හරි තොරතුරු ඔවුන් සතුව නෑ. අයකරන වක්‍රබදු භාණ්ඩාගාරයට හරියට යනවාද යන්නත් ප්‍රශ්නයක්.

පත් කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් (ශ්‍රීලපොපෙ) :

කැසිනෝ සඳහා ඇතුළත්වීමේ ගාස්තුව ඩොලර් සියයේ සිට 50 දක්වා අඩු කරලා. ඩොලර් ඕන කරන වෙලාවේ මේවා කළේ ඇයි?

අලුත් තාක්ෂණය රාජ්‍ය සේවයට ගෙනවිත් විදේශ ගමන් බලපත්‍රය දින 3කින් ලබාදීමට ක්‍රියා කිරීම ගැන සතුටුයි. මේ අනුව රාජ්‍ය සේවයේ අනෙක් ක්‍ෂේත්‍රවලටත් මෙවැනි ප්‍රවේශයක් අවශ්‍යයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි (ශ්‍රීලපොපෙ) :

අපේ ප්‍රදේශවල විදුලි බිල ගෙවාගන්න බැරිව විදුලිය කපා හරිනවා. ජනතාව ඉතා අසරණයි. අන්තනෝමතික ලෙස විදුලි බිල වැඩි කළා. මේ බිල විශාල ලෙස අඩු කළ හැකියි. විදුලි පරිභෝජනය අඩුවෙලා. ගල් අඟුරු, තෙල් මිල අඩුවෙලා. ඒත් ඒ සහනය ජනතාවට දෙන්නේ නැතිව රජය ගන්නවා.

කරාපිටිය රෝහලේ වෛද්‍ය හා හෙද පුරප්පාඩු වැඩියි. කනිෂ්ට සේවය භාගෙට භාගයක් අඩුවෙලා. වහාම මේ ගැන සොයා බලන්න.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි (සජබ) :

ජනතාව අරගල කළේ සිස්ටම් චේන්ජ් එකකට. ඒත් මේ අමාත්‍යංශවල සිස්ටම් චේන්ජ් වෙන්නේ නෑ. මේ ආණ්ඩුව රටේ ප්‍රශ්න විශාල ලෙස ඇති කරලා. තවදුරටත් මේ කැබිනට් එක කරන වැඩ සාර්ථකත්වයක් නෑ. තාවකාලික විසඳුම් පමණයි කරන්නේ. ජනතා ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් නෑ. ඒ නිසා ජනතාව සමස්ත ජනවරමක් ඉල්ලනවා. නිවැරදි ජනවරමක් ඇති පිරිසක් ආණ්ඩුව භාරගත යුතුයි.

රත්තරන් වංචා කළ මන්ත්‍රීට අඩු දඩයක් ගැහුවා. ඔහු අක්කර සිය ගණනක් බලෙන් තියාගෙන. ඔහුගේ සහාය ආණ්ඩුවට ගන්න ඕන දෙයක් කරගන්න ඉඩදීලා. අපි මේවා ඉදිරියේදී හෙළි කරනවා.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බංඩාර (ශ්‍රීලපොපෙ) :

2015 – 2019 කාලය තුළ ආර්ථිකය හසුරවපු ආකාරයේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ. ආණ්ඩු මාරු කිරීමක් හරහා රජය ආරක්ෂා කරගන්න පුළුවන් කියනවා නම් එය විහිළුවක්.

ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතු නම් රාජ්‍ය ආදායම වැඩිකරගත යුතුයි. රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතු අංශ දෙකම දුර්වලයි. ආණ්ඩුවල වියදම ඉතා වැඩියි. ඒත් ආදායම අල්පයි. විදේශ ඉපැයීම් වැඩිකර ගත යුතුයි. වසරකට ඩොලර් බිලියන 6ක් අපි වැඩිපුර වැය කරනවා. රට බංකොලොත් වූ පසුව ආනයන සීමාවලට යන්න වෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන :

පරිසර සංරක්ෂණය 2019 ආණ්ඩුව ඇවිත් පළමු සතියෙම වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත් කළා. ඒ නිසා වැලි, පස් ගංගාවලින් කඳුවලින් කපලා ප්‍රවාහනය කළා. පොලිසිය කිසිවක් කළේ නෑ. බලපත්‍ර නැති නිසා.

සිංහරාජ වනාන්තරයට අලුතින් අක්කර 30,000ක් මම ජනාධිපති ලෙස එක් කළා. පස්සේ කාගෙද ගෙදරකට යන්න පාරක් සිංහරාජය මැද්දෙන් කැපුවා. මහා විනාශයක් කළා. 2015-2019 කාලයේ දී සියයට 28 සිට 30 දක්වා වනාන්තර ග්‍රහනය ඉහළ නංවන්න හැකිවුණා. 2019 ඔක්තෝබර් මාසයේ දී හබරණ වනයේ පැළ සිටුවා කූඩාරමක් යට ගැසට් නිවේදන 65ක් අත්සන් කළා. පස්සේ ආණ්ඩු පෙරළියෙන් පස්සේ ගැසට් කිහිපයයි එළියට ආවේ. අනික්වා නෑ. රජයේ මුද්‍රණාලයට ලබාදී ඒවා මුද්‍රණය කර එළියට දාන්න.

2019 දී ආපු ආණ්ඩුව අවශේෂ කැලෑ කියලා හෙක්ටයාර් 7000ක් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දීලා දේශපාලකයන්ට ඕන දෙයක් කරගන්න ඉඩහැරියා.

අද පරිසර සංරක්ෂණය ගැන කවුද නායකත්වය අරගෙන ඉන්නේ. කවුරුවත් නෑ. අද රත්නපුරේ මැණික් ගඟේ හිතුමතේ මැණික් ගරනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බංඩාර (ශ්‍රීලපොපෙ) :

මේ රටේ ජීවන වියදම සියයට 92කින් ඉහළ ගිහින්. ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටිලා. රැකියා සියල්ල නැවතිලා. උද්ධමනය අඩුවෙනවා කියලා ආණ්ඩුව බොරු කියනවා. රුපියල වැඩිවෙනවා කියලා රවට්ටනවා. ඩොලරයට ඉල්ලුම මරලා දාලා ඉවරයි. ගෑස්, තෙල්, කිරිපිටි, ඖෂධවලට පමණයි එල්සී විවෘත කරන්නේ. ණය ගෙවන්නේ නැති නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නවා. ඇත්ත යථාර්ථයට මුහුණදිය යුතුයි. ණය ගෙවන්න පටන් ගත්විට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඵලදායිතාව වැඩිකරන්න ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ.

පාර්ලිමේන්තුව අද (09දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment