බන්ධනාගාර ස්ථාන මාරුවලින් අධිකාරිවරු අමාරුවේ

137

බන්ධනාගාරවල පරිපාලනය ගෙන යන අධිකාරීවරුන්ට ලබා දෙන ස්ථාන මාරු හේතුවෙන් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරු කිහිප දෙනෙක්ම දැඩි කණස්සල්ලට පත්ව සිටිති.

ලැබුණු ස්ථාන මාරුවකට අනුව ඇතැම් බන්ධනාගාර අධිකාරීවරුන් තම දුවා දරුවන්ගේ පාසල් පවා මාරු කරමින් සේවයට පැමිණ සිටියදී මාස හයක් වැනි කෙටි කාලයක් තුළදී නැවත ස්ථාන මාරු ලබා දෙන තත්ත්වයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක බව එම නිලධාරීහු පවසති.

ඒ හේතුවෙන් යළිත් සිය දූ දරුවන්ගේ පාසල් මාරු කරමින් රට පුරා යෑමට සිදුව තිබෙන බව ද ඔවුහු කියති.

සේවා අවශ්‍යතා මත බවට සඳහන් කරමින් කිසිදු පදනමික් තොරව මෙම ස්ථාන මාරුවීම් ලබා දෙන බව ද ඔවුහු කියා සිටිති.

එසේම විශ්‍රාම යායුතු ඉහළ බන්ධනාගාර නිලධාරීන්ට සේවා දිගු ලබා දීමේ ක්‍රමවේදයක් මෑතකදී සිට ක්‍රියාත්මකව තිබීමෙන් ඊළඟ උසස්වීම ලබාගත නොහැකිව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරුන් දැඩි අසාධාරණයකට ලක්ව සිටින බවද සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් විමසීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කරනු ලැබුවද දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එය ව්‍යර්ථ විය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment