බඳවා ගැනීම් බිඳවැටී යකඩ යකා මග හිටී – මඩකලපු දුම්රිය අවලංගුයි

109

රියැදුරු හිඟයෙන් දිනපතා දුම්රිය ගමන් වාර 30ක් – 40ක් කොටඋඩ
දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති

දුම්රිය රියැදුරු හිඟය හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් අවලංගුවීමට ඉඩ පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ඊයේ (06 දා) පැවැසීය. මෙම ගැටලුව නිසා කොළඹ සිට පෙරවරු 6.05 ට මඩකලපුව බලා ධාවනය වන දුම්රිය දින නියමයක් නැතිව අවලංගු කර ඇතැයිද ඔහු කීය.

දුම්රිය රියැදුරන් ප්‍රමාණය 400 ක් පමණ වන බවත් දැනට ස්ථිර දුම්රිය රියැදුරන් ලෙස 200 ක් පමණ සිටින බවත් පැවසූ ඒ මහතා දුම්රිය ධාවනයට අවශ්‍ය හිඟ රියැදුරන් සඳහා විශ්‍රාම ගිය රියැදුරන් කොන්ත්‍රාත් පදනම මත සේවයට කැඳවා තිබෙන බවද කීය. එහෙත් ඔවුන්ට නිසිලෙස වැටුප් නොගෙවීම නිසා එම විශ්‍රාමික රියැදුරන්ද සේවයට නොපැමිණීම ගැටලුවක් වී ඇති බවද ඒ මහතා පැවැසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබූ සුළු සේවක හිඟය, බහු කාර්ය සේවකයන් 3000ක් පමණ දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීම නිසා විසඳී තිබෙන බවද, මේ වනවිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟයක් නැති බවද ඔහු කීය.

දුම්රිය රියැදුරු හිඟය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment