බයක් නැත අනාගතේ සිය පවුලම කරාතේ..

794

කරාතේ ක‍්‍රීඩාවට බොහෝවිට පිරිමින් පමණක් යොමුවී තිබුනද කරාතේ ක‍්‍රීඩාවේ යෙදෙන පවුලක්ම බද්දේගම ඉඳුරුපත්විල වැයිහේන ගම්මානයේදී අපට හමුවිය. මේ පවුලේ පියා සුසිල් හඳුන්නෙත්තිය. ඔහු ශ‍්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ දකුණු පළාත් සභාපති වන අතර ආසියානු කරාතේ විනිසුරුවරයෙකි. එයට අමතරව නිහෝන් ෂිතෝරියෝ කරාතේ දෝ ෂොබුකායි ජාත්‍යන්තර සංගමයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන උපදේශක හා සභාපතිවරයා ද වේ.

ඔහුගේ බිරිඳ මේෂා ප‍්‍රසන්තිකා මේ වනවිට තාවකාලිකව ක‍්‍රීඩාවෙන් සමුගෙන සිටියද දක්ෂ කරාතේ ක‍්‍රීඩිකාවකි. ඔවුනගේ දියණිය හංසි හඳුන්නෙත්ති දකුණු ආසියාවේ සිටින දක්ෂතම කරාතේ ක‍්‍රීඩිකාවක් වන අතර 2014 වසරේ ජාත්‍යන්තර කරාතේ තරගාවලියේදී රන් පදක්කමද 2017 වසරේ රිදි පදක්කම ද දිනා ගෙන ඇත. මේ වනවිට ඇය සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටී.

බයක් නැත අනාගතේ සිය පවුලම කරාතේ..

ඔවුනගේ බාල දියණිය නිකිණි කාව්‍යා බද්දේගම 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර පියාගේ සහ අක්කාගේ අඩිපාරේ යන දක්ෂ කරාතේ ක‍්‍රීඩිකාවකි. පුතා කවිඳු නිර්මාල් ද පියාගේ අඩිපාරේ යන දක්ෂ කරාතේ ක‍්‍රීඩකයෙකි.

තම පවුලම කරාතේ ක‍්‍රීඩාවට යොමුවීම පිළිබඳ සුසිල් තුළ ඇත්තේ මහත් අභිමානයකි. ”මම මූලික අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ කුලිගොඩ ප‍්‍රාථමික විදුහලෙනුයි. ඊට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා මාදම්පාගම මහ විදුහලට ඇතුළත් වුණා. මම පාසල් යන කාලෙ ඉඳලම කරාතේ සටන් කලාවට ආසා කළා. එනිසාම මම කරාතේ ඉගෙන ගත්තා. ආසාවෙන් ඉගෙන ගත්ත නිසා මට දකුණු ආසියාවේ විනිසුරුවරයෙක් ලෙසටත් ජාත්‍යන්තර සංගමයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන උපදේශක හා සභාපති ලෙසටත් කටයුතු කරන්න ලැබුනා.

සමහර පවුල්වල ගැහැණු ළමයි කරාතේ ක‍්‍රීඩාව ඉගෙන ගන්නවට වැඩිය කැමැත්තක් නැහැ. එහෙම් හිතන එක වැරදියි. මේක ජාත්‍යන්තර ක‍්‍රීඩාවක් දැන් මගේ ලොකු දුව සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටිනවා. විශ්වවිද්‍යාල සිසුවියක් ලෙසද ඇය තව දුරටත් කරාතේ ක‍්‍රීඩාවේ යෙදෙනවා. අපි මේවා කරගෙන යනවිට නොයෙක් බොරු චෝදනා අවලාද එනවා. ඒවා සියල්ල ඉවසාගෙන ඉදිරියටම යා යුතුයි. ජයග‍්‍රහණය එතැනයි.

අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment