බයිසිකල් දින සමරුවට බයිසිකලෙන් මීගමුවට…

112

● බයිසිකලයේ ඉතිහාසය

ඇන්ටාක්ටිකාවේ හැරුනුකොට බයිසිකලය නැති රටක්, ගමක්, නගරයක්, පාරක් තොටක්, ලොව නැත. රෝද යුගලයක් සහිත සහ පදවන්නා විසින් සමබර කරගත යුතු වාහනවල උපත දහ නව වැනි සියවසේ මුල් භාගය දක්වා දිව යන්නකි- 1817 වසරේ දී නිර්මාණය වූ ජර්මානු ඩ්‍රයිසීන් යනු ක්‍රමානුකූල ව එක්කාසු කරන ලද රෝද දෙකක් භාවිතයෙන් නිර්මාණය වූ ලොව පළමු බයිසිකල් මූලාකෘතියයි- බයිසිකලය යන පදය 1860 ගණන්වල දී ප්‍රංශය ඇසුරු කරගනිමින් නිර්මාණය වූවකි. එය Bi- දෙක Cycle- රෝදය ලෙස අර්ථ දැක්විය හැකිය. වන අතර ඒ වන තෙක් සාමාන්‍ය බයිසිකලයක් හැඳින්වීමට භාවිත කොට ඇත්තේ “පෙනී ෆාර්තිංග්” (Penny Farthing) යන පදයයි.

බයිසිකලයේ කොටස් නම් කිරීමට දෙකේ පන්තියේ දරුවකු ද සමත් ය. එහෙත් බයිසිකලයේ සොයාගැනීම සම්බන්ධයෙන් තවමත් තහවුරු කොට නොගත් හිමිකම් කිහිපයක් ද පවතී- ලියනාඩෝ ඩාවින්චිගේ සමීප ම ශිෂ්‍යයා වන ජන් ජකොමො කප්‍රොති (Gian Giacomo Caprotti) විසින් ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ බයිසිකලයක දළ සටහනක් නිර්මාණය කොට තිබුණද 1998 වසරේ දී එය විස්තර කරමින් හාන්ස් එහර්ඩ් ලෙසින්ග් (Hans-Erhard Lessing) විසින් පවසා ඇත්තේ උක්ත සටහන අරමුණු සහගත වංචාවක් වන බවයි- කෙසේ වෙතත් මේ කටු සටහනෙහි සත්‍යතාව පිළිබඳ මතය තවමත් ප්‍රබල ලෙස පවත්වාගෙන යනු ලබන්නේ ශබ්දකෝෂ ශිල්පියෙකු හා භාෂා විද්‍යාඥයෙකු වන මහාචාර්ය ඔගස්ටෝ මැරිනොනිගේ (Augusto Marinoni) අනුගාමිකයන් විසිනි. රෝමයේ වින්සියානා කොමසාරිස් විසින් ඩාවින්චිගේ වෙළුම් දොළහක සටහන් හා සිතුවම් අඩංගු දැවැන්ත පුස්තකය වන කොඩෙක්ස් ඇට්ලැන්ටිකස් (Codex Atlanticus) පිටපත් කිරීමට භාර දී ඇත්තේ ඔගස්ටෝටයි.

බයිසිකලයේ උපත සම්බන්ධ තවත් රසබර කරුණක් නම් 1792 දී ප්‍රංශයේ පැලස් රෝයල්හි (Palais-Royal) ප්‍රදර්ශනය සඳහා කොම්ටෙ ඩි සිව්රැක් (Comte de Sivrac) නම් පුද්ගලයෙකු විසින් සෙලෙරිෆේ (Célérifère) නම් රෝද සහිත යන්ත්‍රය නිමැවුමයි. එය බයිසිකලයට බෙහෙවින් සමාන වාහනයක් විය. රෝද දෙකක් මත තැබූ දෘඪ ලී රාමුවකින් සැදුම්ලත් මෙහි සුක්කානමක් නොතිබිණ- කෙසේ වෙතත් මේ වන විට බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ අතීතයේ දී රෝද දෙකේ සෙලෙරිෆේ කිසිසේත් නිර්මාණය වී නොමැති බවයි.

ප්‍රායෝගිකව භාවිත කළ හැකි බයිසිකලයක් සඳහා වන පළමු සත්‍යාපනය කළ හැකි හිමිකම ඇත්තේ ජර්මනියේ බේඩන්හි මහා ආදිපාදවරයාගේ සිවිල් සේවකයෙකු වන ජර්මානු ජාතික වංශාධිපති කාල් වොන් ඩ්‍රයිස් (Baron Karl von Drais) ටය. 1818 වසරේ දී ඔහු විසින් සිය නිර්මාණයට අදාළ පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති අතර එය වාණිජමය වශයෙන් සාර්ථක වූ පළමු රෝද දෙකේ රිය ලෙස සැලකේ. 1817 වසරේ ජුනි 12 වැනි දින මැන්හයිම් සිට ඇරඹුණු පළමු වාර්තාගත සවාරියේ දී කිලෝග්‍රෑම් 22ක් පමණ බරැති මේ බයිසිකලයෙන් පැයකට අඩු කාලයක් තුළ දී කිලෝමීටර 13ක් ගමන් කිරීමට ඩ්‍රයිස් සමත් විය- කෙසේ වෙතත් එහි ජනප්‍රියත්වය ක්‍රමයෙන් මැකී ගියේ වැඩිවන අනතුරු සංඛ්‍යාව හමුවේ ඇතැම් නගර බලධාරීන් විසින් එහි භාවිතය තහනම් කිරීමත් සමඟයි. කෙසේ නමුත් කාලයත් සමඟ මෙය ලන්ඩනයේ විලාසිතාවක් බවට පවා පත්විය.

1853 දී පිලිප් මොරිට්ස් ෆිෂර් (Philipp Moritz Fischer) නම් පුද්ගලයෙකු විසින් පැඩල් සහිත බයිසිකලයක් නිර්මාණය කළත් ඔහු සිය නිපැයුම් ප්‍රසිද්ධියට පත්කළේ නැත.

මේ අතර 1868 වසරේ දී එයිමි ඔලිවර් (Aimé Olivier) සහ රේන් ඔලිවර් (René Olivier) සොයුරන් තම මිතුරු ජෝර්ජස් ඩි ලා බොග්ලයිස් (Georges de la Bouglise) සමඟ එක් ව මෙෂෝ (Michaux) සහ සමාගම ආරම්භ කරන ලදී. මේ අතර මුල් ලී රාමුව වෙනුවට වාත්තු යකඩ කැබලි යොදාගනිමින් සාදන ලද බයිසිකල් විශාල වශයෙන් නිෂ්පාදනය කළ පළමු සමාගම වන්නේ මෙයයි- පසුකාලීන ව බයිසිකලයට සිදුකෙරුණු වෙනස්කම් අතරට ඝන රබර්වලින් නිමැවූ ටයර් යෙදීම සහ බෝල බෙයාරිං ඇතුළත් කිරීම තුළින් බයිසිකලයේ සුවපහසුව, වේගය, මුදු ක්‍රියාකාරිත්වය ආදිය දියුණු විය.

1869දී ඇමෙරිකාවේ වැන් ඇන්ඩන් (William Van Anden) විසින් බයිසිකලයට නිදහස් රෝදය හඳුන්වා දෙන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ධාවකයාට නිරන්තරයෙන් පැදවීමකින් තොරව ඉදිරියට යෑමේ පහසුව සැලසිණි- 1880-1890 ගණන්වල දී ආරක්ෂිත බයිසිකල සංවර්ධනය කිරීම බයිසිකලයේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි- මේ යටතේ ඉදිරිපස රෝද ධාවකය යොදාගනිමින් උපරිම වේගය සීමා කිරීම වැනි සුවිශේෂී අංග රැසක් බයිසිකලයට එක්විය. දෙවැනි ලෝක යුද සමය වන විට හමුදා භටයෝ පවා යුද කටයුතුවල දී ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් බයිසිකලය යොදාගත්හ.

කෙසේ නමුත් 19 වැනි සියවසේ සිට මේ දක්වා බයිසිකලයේ විකාශන විපර්යාසය වත්මන් බයිසිකලය තරම් සරල නැත- එය කාලයත් සමග අතු ඉති ලා වර්ධනය වූ සංකීර්ණ ක්‍රියාදාමයක, වෙහෙසකර තාක්ෂණික ව්‍යායාම මාලාවක අවසන් ඵලය බව ඔබට වැටහෙන්නට ඇත.

ආදි මානවයා විසින් රෝදය සොයාගැනීමත් සමග ලෝකයට ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව මං විවර විය. එතෙක් මෙතෙක් “රිය පවුලේ” ආදිතමයෙකු වූ “බයිසිකලය” කාලයාගේ ඇවෑමෙන් බොහොමයක් වෙනස්කම්වලට භාජන වෙමින් සිය ගමන් මඟ පැමිණ ඇත- නමුත් වර්තමානය බයිසිකලය නවීකරණය වීමේ අවසාන හැරවුම් ලක්ෂ්‍යය නොවේ- එයද අප මෙන් කාලයත් සමග අලුත් වෙමින් දිගින් දිගට ම ගමනේ යෙදෙනු ඇත- එදා අනතුරු බහුල යැයි පැදීම තහනම් කළ බයිසිකලය අනාගතයේ ඉලෙක්ට්‍රොනික මංපෙත් ඔස්සේ හැදී වැඩී, පරිසර හිතකාමී අධි තාක්ෂණික ස්වයංක්‍රීය මෙවලමක් වීම වලකනු උගහට ය.

● ලෝක පාපැදි දින ඉතිහාසය

ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කරන පෝලන්ත සමාජ විද්‍යාඥයෙකු වන මහාචාර්ය ලෙස්සෙක් සිබිල්ස්කි ලෝක පාපැදි දිනයේ පියා ලෙස හැඳින්වේ. ඔහු ලෝක පාපැදි දිනයක් ඇරඹුම සඳහා එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ප්‍රවර්ධනය කිරීමට ඔහුගේ සමාජ විද්‍යා පන්තියේ සිසුන්ගේ ද සහාය ඇතිව ව්‍යාපාරයක් ආරම්භ කළේය. මෙම ව්‍යාපාරය වේගවත් ව්‍යාප්ත වූ අතර තුර්කිය සහ තවත් රටවල් 56ක සහාය ලැබිණි. ඔහු සැමට තිරසාර සංචරණය මගින් සහාය දක්වන දැවැන්ත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වූ ශාස්ත්‍රීය ව්‍යාපෘතියක් ද දියත් කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පාපැදි සහ බයිසිකල් පැදීම සැමරීමට සහ ප්‍රවර්ධනය කිරීමට වෙනම දිනයක් තෝරා සම්මත කර ගත්තේය. ඒ අනුව ජූනි 3 ලෝක පාපැදි දිනය ලෙස තෝරා ගත් අතර එය ප්‍රථමයෙන් 2018 ජූනි 3 දින සමරනු ලැබීය.

ලෝක බයිසිකල් දිනය සැමරනු වස්, අයිසැක් ෆෙල්ඩ් සහ ඔහුගේ සම සජීවිකරණ මහාචාර්ය ජෝන් ඊ. ස්වන්සන් විසින් පියකරු ලාංඡනයක් නිර්මාණය කරන ලදී. එක්සත් ජාතීන්ගේ නිල් සහ සුදු ලාංඡනයේ පාපැදිකරුවන් ලොව පුරා බයිසිකල් මත ගමන් කරන ආකාරය එහි පෙන්වයි. ලාංඡනයේ June3WorldBicycleDay යන හැෂ් ටැගයකින් ද සමන්විත වේ. ලාංඡනයෙන් සරල පණිවිඩයක් පෙන්වීමට අදහස් කරයි. එනම් ‘බයිසිකලය තිරසාර සංවර්ධනයට සහය වන අතර සියලු මනුෂ්‍ය වර්ගයාට එකසේ සේවය කරයි’ යනුවෙනි.

● ලෝක පාපැදි දිනයේ වැදගත්කම

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කරන ලද පරිදි, “සියවස දෙකක කාලයක් භාවිත කරන බයිසිකලයේ සුවිශේෂත්වය, කල්පැවැත්ම සහ බහුකාර්යතාව සහ එය සරල, දැරිය හැකි, විශ්වාසදායක, පිරිසිදු සහ පරිසර හිතකාමී තිරසාර බව හඳුනා ගැනීම මෙම දිනයේ වැදගත්කමයි. විශේෂයෙන් පළමු වර්ගයේ සහ දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයන් සඳහා පාපැදිය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.

● 2023 ලෝක පාපැදි දිනය සැමරුම සහ තේමාව

පාපැදිය භේද සිඳින, සාධාරණය කැන්දන සමානාත්මතාවයේ සංකේතයකි. ජාතිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම හෝ ආර්ථික පසුබිම නොසලකා ලෝක පාපැදි දිනය සැමට සැමරීමට හා භුක්ති විඳීමට හැකිය. බයිසිකලය යනු තිරසාර ගමනාගමන මාධ්‍යයක් පමණක් නොව මිනිස් ජීවිතයේ ප්‍රගතිය සහ තාක්ෂණය සංකේතවත් කරයි. ලොව පුරා සිටින මිනිසුන් මෙම දිනය විවිධ ආකාරවලින් සමරති.

● ලෝක පාපැදි දිනට සමගාමී අපේ සැමරුම

පාපැදිය දැන් දැන් මගේ ජීවිතයේ මූලික ගමනා ගමනයට පත් වෙලා. කාර්යාලයට යන එන ගමනට පමණක් සීමා නොවී, හදිසි නොවන සෑම ගමනක්ම දැන් යන්නේ බයිසිකලයෙන්. බයිසිකලයට ආදරය කරන්න පටන් අරන්. පාපැදිය ගෙදර කෙනෙකු, පවුලේ සාමාජිකයකු තරමට හිතවත්. පා පැදියෙන් ගමන ගිහින් ආවම දැනෙන මහන්සියට හිතේ සතුට මුසු කළාම ‘ශමථ’ බවක්, ‘පහන්’හැඟීමකින් හිත පිරෙනවා. ඒ ගමනේ අරමුණ සහ ව්‍යායමයක් කළා කියන සතුට දැනෙන නිසා. කුඩා අවධියේ සිටම ව්‍යායාම කිරීම ජීවිතයට හුරු කරගැනීම අපි කාටත් වැදගත්. ශරීරය තමන්ට පාලනය කරගන්න පුළුවන් මට්ටමින් පවත්වා ගන්න අවශ්‍යයි. නීරෝගීකම රැක ගැනීම තමයි මූලික අරමුණ. ජීවිතයේ මොනවා තිබුණත් වැඩක් නෑ නීරෝගීකම නැත්නම්. නිරෝගී මනසක් පිහිටන්නෙ නිරෝගී සිරුරකනේ. දැන් දැන් මුහුණු පොතේ නිතර හමුවෙන්නෙ බයිසිකල් වලින් චාරිකා යන කණ්ඩායම්. ලංකාවෙ ද, පිටරටක ද කියලා අදාළ නෑ. ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා අපි විස්තර බෙදා ගන්නවා. බයිසිසිකලය නිසා මගේ ජීවිතය දැන් දැන් අලුත් මානයකට යොමු වෙලා. හරිම සරලයි. සැහැල්ලුයි. විනෝදජනකයි. පරිසර හිතකාමී යි.

තෙල් අර්බුදයත් එක්ක පා පැදියට හුරු වුණ අපි මේ වෙද්දි මාස එකොළහක් තිස්සේ එක දිගට බයිසිකල් පදිනවා. අපි බෙන්තොට, ගාල්ලට, නුවර, මහියංගනය හරහා බදුල්ලට වගේ දුර ගමනුත් ගියා. විවිධ තරාතිරමේ වයස් බේදයක් නැතිව අලුත් මිත්‍රයො එකතු වුණා. මේ ගමන් නිසා අපේ මිත්‍ර කණ්ඩායමට තව තවත් සාමාජිකයන් එකතු වුණා.

ලෝක පාපැදි දිනය ජුනි 03 වැනිදා නිසා අපිත් එය සමරන්න තීරණ කළා. කොළඹ සිට මීගමුවට ගොස් ඒමට තීරණ කළා. ගමන දවසකට සැලසුම් කළා. අපේ පාපැදි කණ්ඩායමේ මූලිකයා, ප්‍රසිද්ධ මනෝ විද්‍යා උපදේශක උදයා දේවමුල්ලට එදාට විශේෂ වැඩසටහනකට සහභාවීමට ඇති නිසා වැඩි අත්දැකීම් ඇති සමන්ත නිශාන් ගමගේ (පෞද්ගලික සමාගමක – සහකාර සාමාන්‍යාධිකාරි මූල්‍ය) ගමනේ මූලිකත්වය පැවරුවා. විසි පස් දෙනෙක්ගෙන් සමන්විත අපේ කණ්ඩායමේ මෙම සැමරුමට එක්වීමට හැකි වූයේ දහදෙනෙකු පමණයි.

පසුගිය ඉරිදා උදේ හතට පමණ ගම්පහ සහ කොළඹ අවට සිටින අපි, කොළඹ නුවර පාරේ තොරණ හන්දියෙන් හීන් පොද වැස්ස ආශිර්වාද කරගෙන ගමන පටන් ගත්තා. යම් යම් බාධක ඇති වුණත් ඒවා මඟහරිමින් ගමනේ ඉදිරියෙන් සමන්ත නිශාන්, ජනක් ඩයස් (ස්ක්යාර් 380 පුද්ගලික සමාගමේ නේවාසික කළමණාකාර), චරිත් දෙමටම්පිටිය (විශ්‍රාමික යුද හමුදා නිලධාරි) සමග පළමුවතාවට ජීවිතේ මෙපමණ දුරක් පදින බ්‍රෙන්ඩන් ගුණසේකරත්(ගිහාන් එන්ටර්ප්‍රයිසස් හිමිකාර) ගමන් කළා. ලලිත් වගවත්ආරච්චි (ව්‍යාපෘති සහ සැලසුම් නිලධාරි සෞඛ්‍ය අමාත්‍යාංශය), බුද්ධික විතානවසම් (පෞද්ගලික සමාගමක – මූල්‍ය කළමනාකරු), රෝහණ බණ්ඩාර විජේකෝන් (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – රාජ්‍ය බැංකුවක), පසන් ජයසිංහ (ව්‍යාපාරික), නන්ද නම්මුනිආරච්චි (ව්‍යාපාරික), සහ මම, ඊට විනාඩි කීපයක් පිටුපසින් ගමන් කළා. අපි මේ ගමන් මාර්ගය තොරණ හන්දියේ සිට මීගමුව පාරට වැටී ජාඇල දක්වා ගමන් කර එතැනින් පමුණුගම හරහා මුහුදට සමාන්තරව මීගමුව පාර දිගේ යෑමටයි සැලසුම් කළේ. එක දිගට කෙනා පසුපස අනෙකා ඉදිරියට ඇදුනේ පාරේ අනෙක් ගමනාගමනයන්ට බාධා නොවන අයුරින්. අපේ මේ සංයමයකින් යුත් පාපැදි ගමනට පාරේ සිටි ආශීර්වාද කරන්නන් අත් වනමින් දිරිමත් කළා. අපිත් පෙරළා අත වනමින් ස්තුති කළා. අපිටත් මූලිකව ම අවශ්‍ය වුණේ අපේ මේ ගමන් රටාව දැකීමෙන්, බයිසිකල් පැදීමට කවුරු හෝ කීප දෙනෙක් උනන්දු කිරීමටයි. පැයට කිලෝමීටර් පහළොවක පමණ වේගයක් පවත්වා ගනිමින් නිශාන් ඉදිරියට පදිනවා. (දෙතුන් දෙනෙක් හැරෙන්නට අනිත් සියලුම දෙනා වයස 50 – 55 වැඩි මිතුරන්) අපි තරගයකට වඩා විනෝදය, එකමුතුකම අගය කරනවා. ඉන් ජීවිතයට සැහැල්ලුව, සතුට ගෙන එනවා. ඒ නිසා ජීවිතය විඳවන්නේ නැතුව රස විඳින්න පුළුවන්.

මීගමුව පාරේ ජා ඇළින් වමට හැරී පමුණුගම පසුකරමින් වෙරළ තීරයට සමාන්තර පාරෙන් මීගමුව පැත්තට පැමිණ වෙරළ තීරයේ අවන්හලකට උදේ ආහාරයට අපි නතර කළා. (පැය එකාහමාරක පමණ ගමනක්).

අනතුරුව ඉන් පැයකින් පමණ පසු අපි නැවත ගමන පටන් ගත්තා. වෙරළ තීරයට සමාන්තරව මීගමුවේ පාරේ දුනුගල්පිටියේ සමහර තැන් අපේ මතකයට ගෙනාවේ ගාල්ලට පැදපු දවසයි. ගාලු පාරේ රුව ගුණ මේ ප්‍රදේශවල හැඩ රුව එක්ක යසට ගැළපුණා. අපි මීගමු මාළු මාර්කට් එක ළඟ පිටිපන පාලම උඩ නතර වුණා. අපේ පාපැදි දින සැමරීම රූපවාහිනි වැඩසටහනක් කිරීමට පැමිණි කණ්ඩායමක් අපිව පිළිගත්තා. අපේ කණ්ඩායමේ චරිත්, පාපැදි දිනය ප්‍රයෝජනය ගනිමින් මේ ආ ගමන්මඟ පැහැදිලි කළා. පාපැදිය තුළින් ශරීර සෞඛ්‍යය රැකගැනීම හා පාලනය කරගැනීම ගැනත්, මෙවැනි ගමන් තුළින් විනෝදය මෙන්ම එකමුතුකම ගැනත් කතා කළා. ඉන් අනතුරුව අපේ ගමනාන්තය වූ බ්‍රවුන්ස් මුහුදු තීරයට ළඟා වුණා. ඉරිදා දවසක් නිසා මුහුදු තීරය විනෝදකාමීන්ගෙන් සහ ක්‍රීඩා තරගවලින් පිරී තිබුණා. වෙරළ තීරය අසල කෙළවරක අපේ පාපැදි නතර කොට අපි ගමනේ විඩාව නිවා ගන්නා අතරතුර ඉහත සඳහන් කළ රූපවාහිනී කණ්ඩායම අප එකිනෙකාව අමතමින් අපේ අත්දැකීම් හා අප ගැන තොරතුරු ලබාගනිමින් පටිගත කරනු ලැබුවා. රජයේ සහ පෞද්ගලික ආයතනවල ඉහළ නිලතල දරන මේ සියලු මිතුරන් තම තමන්ගේ අත්දැකීම් සහ පාපැදිය ඇසුරු කරමින් තම තමන් රාජකාරි කටයුතු කරන ආකාරය කතා කළා.

පාපැදිය තරම් පරිසර හිතකාමී වාහනයක් නොමැති තරම්.

නිරෝගීමත් සමාජයක් බිහි කරන්නට මේ පාපැදිය කොතරම් ප්‍රයෝජනවත්ද? අප මේ සැමරීම තුළින් අපේක්ෂාව සමස්ත ලංකා ප්‍රජාව ම පුළුවන් හැමවිටම පාපැදියට පය තැබිය යුතු බවත් සහ එයට උනන්දු විය යුතු බවට ඉඟි කිරීම, දැනුවත් කිරීම. පැයකට අධික කාලයක් ගත කිරීමෙන් පසුව නැවත ආරම්භක ස්ථානයට ගමන් ඇරඹුවා. පැමිණි හිතවතුන් කොටසක් කඩවත ප්‍රදේශයේ නිසා මහාබාගෙන් හැරී රාගම හරහා ගමන් කළා. අප තොරණ හන්දිය දක්වා ගමන් කළා. තරමක් වැහිබර කාලගුණය තිබුණත් අපේ ගමනට බාධාවක් නොවී අපට එය ආශිර්වාදයන් වුණා. හැමවිටම හොඳ වැඩක් කරන විට පරිසරය පවා ආශීර්වාද කරන බව හොඳින් දැනුණා. කෙසේ වෙතත් අපි අද දවසේ කි.මී. 82 පමණ බයිසිකලය පැද ඇති අතර කැලරී 1690 පමණ දහනය කර ඇත.

යහපත් පුද්ගල චරිතයක් හැඩවත් වෙන්නෙ කාරණා හතරක් මත, සෞඛ්‍ය සම්පන්න බව, මනසින් පිරිපුන් බව, සමාජගත බව හා ජීවිතාවබෝධී බව තමයි ඒ කාරණා. බයිසිකල් පැදීම මේ සියල්ල ම අපට එකවර පසිඳනවා, බයිසිකල් පදිද්දි සිරුර නිරෝගී වෙනවා. සැහැල්ලුවෙන් පදිද්දි ඉබේ ම මනස සතුටට පත්වෙනවා, අලුත් අය වෙනස් අය හමුවෙවී සමාජගත බව ඉහළ යනවා. මේ ඔක්කොම කරුණු එකතු වෙලා ගැඹුරට හිතද්දි ජීවිතාවබෝධය එන්නෙ පදින බයිසිකලයටත් වැඩි වේගයෙන්.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළේත් ආරෝග්‍යා පරමා ලාභා… සන්තුට්ඨී පරමං ධනං… විශ්වාසා පරමා ඥාතී… නිබ්බානං පරමං සුඛං කියලා.

ඡායාරූප සහ සටහන
හර්ෂණ ජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment