බරක් ඇද රටක් දිනවන ජනක ගිනස් වාර්තා 18කට සැරසෙයි

258

ලෝකය ජයගත හැකි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙරට තුළ ඕනෑ තරම් ය. නිසි දිශානතිය පෙන්වමින් හා ඒ සඳහා යටිතල පහසුකම් සපයමින් එවන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නිර්මාණය කර ගැනීම පහසු කරවන බව නොරහසකි. බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කෙළි බිමට අවතීර්ණ වන්නේ ඔලිම්පික් පදක්කමක් හෝ ලෝක කුසලානයක් ජය ගැනීමේ අරමුණ ඇතිවය. එසේත් නොමැති නම් මවුබිම නියෝජනය කිරීමේ නොනිමි ආශාවෙනි. අවම වශයෙන් තම පාසලේ නිවාස කණ්ඩායම හෝ පාසල් කණ්ඩායම නියෝජනය කරමින් අනාගත ලොව ජයගත හැකි දක්ෂතා ප‍්‍රදර්ශන කිරීමේ ඇරඹුමක් ගැනීම උදෙසාය.

අතීත දක්ෂයන්ගේ චරිත පරමාදර්ශයට ගනිමින් හෝ ජීවත්වන පරිසරයේ බලපෑමෙන් හෝ පාසලේ ඇල්මෙන් ක‍්‍රීඩාවට යොමු වූ බොහෝ පිරිස් වෙති. එවන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අනාගතයේදී ද ඒ ආකාරයෙන්ම කෙළි බිමට ප‍්‍රවිෂ්ට වනු නොඅනුමානය. ගුරුවරුන්ගේ ආභාෂයෙන් හෝ දෙමව්පියන්ගේ ආභාෂයෙන් හෝ සමාජ පරිසරය තුළින් පැමිණි බොහෝ අය රටත් ලොව ජයගත් අවස්ථා ද බොහෝමයකි. එවන් සුවිශේෂ දක්ෂතා ප‍්‍රදර්ශනය කරමින් ලෝකය අතරට ගිය අපේ කාලයේ තවත් දක්ෂයෙක් පිළිබඳව පසුගිය සතියේ (2022.02.22) දී අපට දැක ගන්නට හැකි වූයේ කොළඹ වරාය අධිකාරිය ඉදිරිපස පළමු ද්වාරය අසළ දී ය.

යෝධ බල යෝධ ශක්තිය ඇතිව ගත් වීර්ය ගිනස් ලෝක වාර්තාවකින් නිමා කරන්නට ඔහුට හැකියාව ලැබෙන්නේ තම ශාරීරික ශක්තිය මෙන්ම ඊට වඩා එහා ගිය මානසික ශක්තිය හා මානසික යෝග්‍යතාවය මත බව සඳහන් කළ යුතුය. මිලි මීටර් 100 ක ඝනකමින් යුත් කොන්ක‍්‍රීට් ලෑලි 35 ක් තත්පර 54.97 ක කාලයක් තුළ මිලි මීටර් 7.5 ක් උසැති යකඩ ඇණ 35 ක් මත තම පිට ප‍්‍රදේශය රඳවමින් අදාළ ගිනස් වාර්තාව බිහි කරන්නට ඔහු සමත් වෙයි. ඇණ දෙකක් අතර පරතරය සහ ඇණවල උස ප‍්‍රමාණය වැඩි කරමින් ඔහු ගත් උත්සාහය සාර්ථක වූයේ ශ‍්‍රී ලාංකේය නාමය ගිනස් වාර්තා පිටු අතර නැවත වතාවක් සටහන් වීමෙනි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස බිඳ වැටෙන්නේ ජැමෙයිකානු ජාතිකයකු විසින් පිහිටුවා තිබුණු ගිනස් වාර්තාවකි. මිනිත්තුවක් තුළ මිලි මීටර් 50 ක ඝනකමින් යුත් කොන්ක‍්‍රීට් ලෑලි 28 ක් උදරය මත තබා බිඳ දමමින් පිහිටුවා තිබුණු ගිනස් වාර්තාව ඒ අනුව බිඳ හෙළීමට අපේ යෝධයාට හැකි විය. ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ක‍්‍රීඩා ලෝලීන් විසල් සංඛ්‍යාවකගේ ඔල්වරසන් හඬ හා ධෛර්යය කිරීම මත තම වාර්තාව කරා ගිය ජනක කාංචන මුදන්නායක එදින පිහිටුවන්නට සමත් වන්නේ තවත් ක‍්‍රීඩකයකුට දිගු කලකට බිඳ හෙළන්නට අපහසු තරමේ වාර්තාවකි.

බරක් ඇද රටක් දිනවන ජනක ගිනස් වාර්තා 18කට සැරසෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරි තනුජ වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා විනිශ්චයට අනුව සිදු කරන ලද මෙම ක‍්‍රියාකාරකම මේ වන විට ගිනස් කමිටුව විසින් පිළිගෙන ඇති අතර එය තවත් දින 14 ක දී ජනක කාංචන මුදන්නායක නම් වන අපේ යෝධයාට සහතික පත‍්‍රයක් ලෙස ප‍්‍රදානය කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා කාල ගණක නිලධාරීන් දෙදෙනකුගේ සේවය එ් සඳහා දායක කරගත්තේ තම උත්සහයෙන් නිවැරදිතාවය මැනවින් ඔප්පු කිරීම සඳහාය. ඒ සඳහා ගිය ගමනේදී ආගමන විගමන නිලධාරියකු ලෙස කටයුතු කරන ඉන්දික ජයලත් මහතා ගිනස් ලෝක වාර්තා ආයතනය සමඟ මනාව සම්බන්ධීකරණය කටයුතු කර තිබීම ද ඉහළ අගයක් ගනී.

38 හැවිරිදි වියේ පසුවෙන ජනක කාංචන මුදන්නායක ට තමන් උපන් හඟුරන්කෙත ‘කිතුල්පේ’ ප‍්‍රදේශය පිළිබඳව ඇත්තේ බලවත් ඇල්මකි. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ 04 වසරේ ඉගෙනුම ලබන තම කුඩා පුතු හා මහනුවර තක්සේරු දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු තම බිරිඳ සමගින් මහනුවර කටුගස්තොට ප‍්‍රදේශයේ අද දිවි ගෙවන අපේ පුංචි යෝධයා හඟුරන්කෙත ප‍්‍රදේශය තුළ ජනප‍්‍රියතම චරිතයකි. ඒ ශක්තිවන්තයන්ගේ පරපුරක තවත් පුරුකක් ලෙසිනි.

‘අපේ පරම්පරාවේ හැමදෙනාම යෝධ ශක්තියක් තිබුණු අය. මගේ පියතුමා වගේම ඊට පෙර අපේ පරපුරේ සිටි හැම දෙනාම ශක්තිවන්තයන් ලෙස ප‍්‍රදේශය පුරා ප‍්‍රචලිතයි. මට පිහිටලා තිබෙන්නේත් පරම්පරාවෙන් ආපු ජාන විය යුතුයි. ක‍්‍රීඩා නිලධාරියකු ලෙස කටයුතු කළ ගාමිණී වසන්ත කුමාර මහතා මගේ පියාණන්. එයාත් ගිනස් ලෝක වාර්තා ලාභියෙක්. මගේ පියා නමින් ඇති ගිනස් ලෝක වාර්තා ප‍්‍රමාණය 08 ක්.

එවකට ක‍්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ එස්. බී. දිසානායක මහතාගේ මඟපෙන්වීම අනුව මෙම ක්ෂේත‍්‍රයට පිවිසි මගේ පියාණන් මහත් වීර්යයක් යොදමින් පිහිටුවන ලද ඇතැම් වාර්තා අදටත් නොබිඳී පැවතීම විශේෂත්වයක්.

මම මේ ක්ෂේත‍්‍රයට පැමිණීමට බෙහෙවින් බලපෑ කාරණාව වූයේ මාගේ පියාණන්ගේ ශක්තිවන්ත මානසික යෝග්‍යතාවය පිරිපුන් අප‍්‍රතිහත ධෛර්යය ජනක කාංචන මහතා අප හමුවේ පැවසීය.

පල්ලේබෝවල කනිෂ්ඨ විද්‍යාලයෙන් 05 වසර ශිෂ්‍යත්වය සමත්ව පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අවදියේ දී දක්ෂ වොලිබෝල් සහ කෙටි දුර මලල ක‍්‍රීඩකයකු වූ ජනක කාංචන මුදන්නායක දණ හිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් වෙනත් මගකට පිවිසෙන්නට ගත් උත්සාහය අද වන විට මල් ඵල දරා තිබේ. වොලිබෝල් ක‍්‍රීඩාවේ දී ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයන් බිම වැටෙන්නට ඩෑෂ් පහර එල්ල කරන්නට තරම් ශක්තිවන්ත දෑතකට හිමිකම් කියූ ඔහු සමස්ත ලංකා මට්ටමේ කවපෙත්ත සහ යගුලිය දැමීමේ ශූරයෙකි. සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ පදක්කම් මෙන්ම ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ පදක්කම් ද ඔහු දිනාගෙන ඇත්තේ තම හැකියාව මොනවට කියාපාමිනි.

වත්මන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන මහතාගේ පෙළඹවීම මත මලල ක‍්‍රීඩාවේ පිටිය තරග ඉසව් සඳහා පිවිසීමට ඔහුට හැකියාව ලැබී තිබේ. ඒ සඳහා බන්දුල සමරසිංහ, අනිල් ඉන්ද්‍රජිත් සහ ඇලෙක්සැන්ඩ‍්‍ර යන ගුරු මහත්තුරුන්ගෙන් ලැබී ඇති සහයෝගය ද කෘතවේදීව හේ මතකයට නගයි. වරාය අධිකාරියේ සේවයේ නියුතු ජනක කාංචන මුදන්නායක පාසල් හැර යෑමෙන් අනතුරුව පිවිසෙන්නේ ලෝකය ජයගත හැකි තවත් ඉසව්වක් දෙසටය. තම පියාගේ ආභාෂය මත ශාරීරික ශක්තිය මෙන්ම මානසික යෝග්‍යතාවය වඩවා ලීම සඳහා නිරන්තර අභ්‍යාසයේ නිරත වූ ඔහු මේ වන විට බිහිකර ඇති නව ගිනස් වාර්තා ප‍්‍රමාණය 07 කි.

‘‘ටොන් 3 ක් බර වාහනයක් තත්පර 18.2 ක දී මීටර් 30 ක දුර ප‍්‍රමාණයක් කටින් ඇදගෙන දිව යමින් තවත් ගිනස් වාර්තාවක් පිහිටුවීම ඔහුගේ මීළඟ ප‍්‍රධානතම ඉලක්කය වී තිබේ’’.

ටොන් 1.5 ක් බර වාහන 32 ක් තම අතැඟිලි මතින් ධාවනය කරමින් පිහිටුවන ලද්දේ ඔහුගේ ප‍්‍රථම ගිනස් වාර්තාවයි. ඒ 2010 දීය. ඒ අනුව ඉදිරියට යමින් 2016 දී මිලි මීටර් 12 ක ඝනකමින් යුත් යකඩ කම්බි 18 ක් දත් ආධාරයෙන් දෙකට නැවීම, 2017 වසරේදී කිලෝ ග‍්‍රෑම් 50 ක් බර ඇති පිටි බෑග් 17 ක් දත්වල ආධාරයෙන් ඔසවාගෙන මීටර් 30 ක් දුර මිනිත්තු 28 ක් තුළ ඇවිදීම මෙන්ම අඩි 3 1/2 ක් දිග යකඩ කම්බි 22 ක් තත්පර 48 ක් ඇතුළත හිස ආධාරයෙන් නැවීම සහ මිලි මීටර් 100 ට වඩා වැඩි කොන්කිට් ලෑලී 50 ක් විනාඩි 05 කුත් තත්පර 17 ක් තුළ උදරයේ තබා කැඞීම ඔහුගේ ගිනස් වාර්තා හැකියාවට කදිම නිදසුන්ය.

2020 වසරේදී කිලෝ ග‍්‍රෑම් 50 ක් බර අයිස් කුට්ටි 50 ක් අඩි 20 ක් ඉහළ සිට උදරය මත තබා තිබූ කිලෝ ග‍්‍රෑම් 570 ක් බරැති ගලක් මතට හෙළා මිනිත්තු 39 ක් තුළ බිඳ දැමීම ඔහුගේ දක්ෂතාවයට තවත් නිදසුනකි.

මගේ දක්ෂතාවයන් සංවර්ධනය කර ගැනීම සඳහා දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් නළු නිළියන් ගුරුවර ගුරුවරියන් මෙන්ම හිතවත් බොහෝ පිරිසක් සිටිනවා. ඔවුන්ගෙන් ලැබෙන සහය මත ඉදිරියේදීද මව්බිමේ කීර්තිනාමය ලෝකය ඉදිරියට රැගෙන යන්නට මගේ ලොකු උත්සහයක් තිබෙනවා. එමෙන්ම, තවමත් විධිමත් ලෙස සංවිධානය වී නැති මෙවැනි ක‍්‍රීඩා ඉසව් ජනතාව අතරට රැගෙන යමින් ඔවුන්ගේ හැකියාවන් ලෝකයට රැගෙන යෑමට උපදේශකයෙක් ලෙස කටයුතු කරන්නටත් ඇත්තේ විශාල බලාපොරොත්තුවක් බව ලෝක වර්තා ලාභී ජනක කාංචන මුදන්නායක පවසන්නේ අවංක චේතනාවෙනි.

මම නොකන.. නොබොන.. ආහාරපාන වෙනුවෙන් වෙළෙඳ දැන්වීම්වලට ඉදිරිපත් වී මුදල් හම්බ කිරීම මගේ ගතිය නෙවෙයි. ජනක අප සමග කීය.

අතීතයේ සිටි දස මහා යෝධයන් මෙන් සවිමත් තරුණයන් අදටත් මෙරට තුළ සිටින බව ලොවට හඬගා කියන්නට සමත් පරපුරක් බිහි කිරීම මගේ අරමුණ වී තිබෙනවා. ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම දෙස් විදෙස් ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් නොමසුරු සහයෝගයක් ලැබෙනු ඇතැයි මට ඇත්තේද ලොකු විශ්වාසයක්.

‘‘මගේ අවසාන බලාපොරොත්තුව නව ගිනස් ලෝක වාර්තා 18ක් බිහි කිරීමයි’’.

ඒ සඳහා යන ගමනේ දී වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙන්ම වරාය අධිකාරියේ සේවයේ නියුතු සියලූම සේවක සේවිකාවන් ඔහු ආදරයෙන් සිහිපත් කරයි. එමෙන්ම තම වෛද්‍යවරුන්, පුහුණුකරු රනිල් හර්ෂණ, ලෙස්ලි, වසන්ත, සංජීව, පේ‍්‍රමසිරි, ගල්හේන, වෙනුර, සංජය වැලිගම ඇතුළුව සහෘද බොහෝ හිතවතුන්ද ඔහු අගය කරන්නේ මෙතෙක් පැමිණි ගමනට රුකුලක් වූ බව මනාව පසක් කරමිනි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment