බර අවිද සමග ඉන්දියාව ගුවහාටිහිදී අද ශ්‍රීලංකාව මුණගැසෙයි

345

තරග තුනකින් සමන්විත ඉන්දු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඉන්දියාවේ ගුවහාටි හිදී අද (10 වැනිදා ) ප. ව. 01:30 ට ආරම්භ වීමට නියමිතය.දෙරට අතර පසුගියදා නිමා වූ පන්දුවාර විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩා නොකරන ලද ඉන්දීය කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් වන නායක රෝහිත් ශර්මා, උප නායක ලෝකේෂ් රාහුල් සහ විරාත් කෝලි මෙම තරගාවලිය සඳහා එක් වීමට නියමිතව සිටිති.එමෙන්ම ඉන්දියාවවෙනුවෙන් පසුගිය වසරේ වැඩිම එක්දින ලකුණු ලාභියා වන ශ්‍රෙයාස් අයියර් ද ඉන්දීය කණ්ඩායමට එක් වීමට නියමිත අතර ඔහු පසුගිය වසරේ ඉනිම් 15 කදී ලකුණු 724 ක් ඔහු රැස්කර ඇත.කෙසේ වෙතත් ඉන්දියාව වෙනුවෙන් පසුගිය වසරේ දී ලකුණු 688ක් ලබා ගත් ආරම්භක පිතිකරු ශිකර් ධවාන් තරගාවලියට අදාළ ඉන්දීය සංචිතයෙන් ඉවත් කර ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ආබාධ තත්ත්වයන් හේතුවෙන් ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා නොකළ ඔවුන්ගේ ප්‍රධාන වේග වේගපන්දු යවන්නා වන ජස්ප්‍රිට් බුම්රාහ් මේ තරගාවලිය සඳහා එක්වීමට නියමිත බව පසුගිය 03 වෙනිදා නිවේදනය කළත් ඉන්දිය ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේ බුම්රාහ් මෙම තරඟාවලිය සඳහා ද එක් නොවන බවයි.ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය වසරේදී වැඩිම එක්දින ලකුණු ලබා ගත් පැතුම් නිශ්ශංක ඉනිම් 11කදී ලකුණු 491ක් ලබාගෙන ඇති අතර අද තරගයේදී ඔහු කුසල් මෙන්ඩිස් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කරනු ඇත.කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය වසරේදී වැඩිම එක්දින කඩුලු ලබා සිටින ජෙෆ්රි වැන්ඩසේ (කඩුලු 14) ට අද තරඟයේදී අවස්ථාවක් හිමිවේ දැය සැක සහිතය.එල්පීඑල් තරගාවලියේදී දක්ෂතා දැක්වූ මෙතෙක් ජාත්‍යන්තර තරග වරම් හිමි කර නොගත් නුවනිදු ප්‍රනාන්දු ද මෙම තරගාවලිය සඳහා නම් කර තිබෙන අතර ඔහුගේ සහභාගිත්වය ද අද තරගයට අවිනිශ්චිතය.

නිමා වූ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරඟයට ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු අද තරග වැදීමට බොහෝ දුරට ඉඩ ඇත.කෙසේ වෙතත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී ඉන්දියාවට තර්ජනයක් වූ නායක දසුන් ශානුකගේ පිතිහරඹය කෙරෙහි ඉන්දියාව මෙම තරගාවලියේදී වැඩි අවධානයකින් කටයුතු කරනු ඇත.ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 162ක් පවත්වා ඇති අතර ඉන් තරග 93 ක් ඉන්දියාවද තරග 57ක් ශ්‍රී ලංකාව ද ජයග්‍රහණය කර තිබේ.තරඟ එකොළහක් විසඳුමකින් තොරව නිමා වී ඇති අතර එක් තරගයක් ලකුණු සම තත්ත්වයෙන් නිමාවී ඇත.අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිදු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මධුසංඛ, ලහිරු කුමාර අනුමාන කළ හැකි ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව් , ශ්‍රෙයාස් අයියර්, ලෝකේෂ් රාහුල් ,හර්දික් පාන්ඩයා, වොෂින්ටන් සුන්ඩාර්, මොහොමඩ් සිරාජ්, යුශ්වේන්ද්‍ර චහාල් සහ මොහොමඩ් ශාමි

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment