බර ඉසිලීමේ තරගාවලියට ශී‍්‍ර ලංකා කණ්ඩායම වැඩ අල්ලයි

275

පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් ඔක්තෝබර් මස 20 සිට 24 දින දක්වා සිංගප්පුරුවේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය විවෘත බර ඉසිලීමේ තරගාවලියට සහභාගී කරවන ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් මේ දිනවල සිදු කරේ.

කොළඹ, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුරය සහ යාපනය යන ප‍්‍රදේශ ආශ‍්‍රිතව මෙම පුහුණු ක‍්‍රියාවලිය සිදු කෙරෙන අතර ඒ සඳහා ජාත්‍යන්තර පදක්කම් ලාභී පළපුරුදු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙන්ම ජාතික මට්ටමේ ජයග‍්‍රහණ සටහන් කරගෙන ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් ද සහභාගි වෙති.

මෙම විවෘත තරගාවලියට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලයීය කනිෂ්ඨ පිරිමි සහ කාන්තා තරගාවලිය සහ බාලක සහ බාලිකා යොවුන් තරගාවලිය ද පැවැත්වෙන බැවින් ඒ සඳහා ද සුදුසු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි කර වීමට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන තිබේ.

ඉහළම දක්ෂතා ප‍්‍රදර්ශනය කර ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සැදුම්ලත් වන ශ‍්‍රී ලංකා ජාතික සුපිරි සංචිතයේ පුහුණු කිරීම් මහනුවර මහයියාව වේවැල් පිටිය ප‍්‍රජා ශාලාව කේන්ද්‍ර කර ගනිමින් මේ දිනවල ජාතික බර ඉසිලිමේ පුහුණුකරු ආර්. බී. වික‍්‍රමසිංහ මහතා යටතේ සිදු කෙරේ.

මහනුවරට අමතරව කුරුණෑගල දීද ජාතික සුපිරි සංචිතයෙහි පුහුණු කිරීම් ක‍්‍රියාත්මක කෙරෙන අතර සහාය පුහුණුකරුවන් ලෙස පී.කේ.එන්.දයාන් සහ ආර්.ගුණතිලක යන මහත්වරුන් කටයුතු කරති.

ජාතික සුපිරි සංචිතයට නම් කර ඇති චින්තන ගීතාල් විදානගේ,

ඇන්ටන් සුදේශ් පිරිස්, ඉන්දික චතුරංග දිසානායක, තිලංක විරාජ් පළගසිංහ, චතුරංග ලක්මාල්, ඩිලංක ඉසුරු කුමාර, ඒ.ජී. සමන් අබේවික‍්‍රම, චානක පීටර්ස්, චාරුක උෂාන්, හංසනී ගෝමස්, චතුරිකා ප‍්‍රියන්ති, චමරී වර්ණකුලසූරිය, තිමාලි හපුතැන්න යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙසේ පුහුණු අභ්‍යාස වල නිරත වෙති.

2022 වසරේ එංගලන්තයේ බර්මින්හැම් හීදී ක‍්‍රියාත්මක කෙරෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට සහ ආසියානු ක‍්‍රීඩා උළෙලට මෙන්ම ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීම මෙවර තරගාවලිය ආශ‍්‍රිතව සිදු කරන බැවින් එහිදී උපරිම දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීම උදෙසා ශ‍්‍රී ලංකා කණ්ඩායම බල ගැන්වීම මෙම පුහුණු ක‍්‍රියාවලියේ පරමාර්ථය වේ.

ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නව බර පන්ති 10 යටතේ මෙවර තරගාවලිය පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

 

advertistmentadvertistment
advertistmentadvertistment