බර දරමින් දුර ගමනක යෙදෙන්නෝ

482

පසුගිය අවුරුදු 15 තිස්සේ ලබා ගෙන ඇති ජාත්‍යන්තර ජයග‍්‍රහණ දෙස සලකා බැලීමේදී මෙරට අංක එකේ ක‍්‍රීඩා ගොන්නට බර ඉසිලීම ද එකතු වී තිබේ.

දකුණු ආසියාතික ක‍්‍රීඩා උළෙල, ආසියානු ශූරතාවලිය, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල ආශ‍්‍රිතව පදක්කම් දිනා ගනිමින් අදාළ ස්ථානය තහවුරු කර ගැනීමට මෙරට බර ඉසිලීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත් වී සිටින්නේ නුදුරු අනාගතයේදී ද ජාත්‍යන්තරයට අභියෝග කිරීමේ හැකියාව නොඅඩුව ඇති බව මැනවින් ප‍්‍රදර්ශනය කරමිනි.

2006 වසරේ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ දී කිලෝ ග‍්‍රෑම් 62 ට අඩු බර පංතිය යටතේ තරග වදිමින් ‘රන් පදක්කම’ දිනා ගැනීමට සමත් වූ චින්තන ගීතාල් විදානගේ ශ‍්‍රී ලාංකේය බර ඉසිලීමේ ක‍්‍රීඩාවේ දිශානතිය වෙනස් කිරීමට මූලිකයා විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙරට ජනප‍්‍රිය ක‍්‍රීඩා රැල්ලට එකතු වීමට බර ඉසිලීමට හැකි වී තිබේ.

පුලතිසි පුරවරයෙන් බර ඉසිලීමේ ක‍්‍රීඩාවට ප‍්‍රවිෂ්ට වූ මේ ශක්තිවන්තයා සැලසුම්ගත පුහුණුව තුළින් උකහාගත් දක්ෂතාව හා හැකියාව මත එදා දිනා ගත් රන් පදක්කම නොවන්නට අදටත් බර ඉසිලීමේ ක‍්‍රීඩාව ඇත්තේ එක තැන පල්වෙමිනි.

ජාත්‍යන්තර තරග බිමේ තවමත් නොදැවී ඔට්ටු අල්ලන චින්තන ගීතාල් විදානගේ පසු වන්නේ ළඟ එන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලි ආශ‍්‍රිතව පදක්කමක් ගෙල පැළඳ ගැනීමේ නොනිමි ආශාවෙන් යුතුවයි. ජීවිත ගමනේ හතළිස් වැනි සැතපුම් කණුව පසුකර සිටින මේ මනසින් ධෛර්යවන්ත යෞවනයා තම ඉලක්කය කරා ළඟා වීමේ අරමුණ ඇතිව සැලසුම්සහගත දෛනික පුහුණුවීම්වල නිරත වන්නේ කුරුණෑගල පිහිටි වෙළගෙදර ක‍්‍රීඩාගාරයේදී ය. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය ලබන මස මුල ආරම්භ වීමට නියමිතය මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී කිලෝ ග‍්‍රෑම් 85 ට අඩු බර පන්තිය යටතේ ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ජාතික සුපිරි සංචිතයට ඇතුළත් කොට සිටින පරිණතම හා ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයාද ඔහු වෙයි. ඇන්ටන් සුදේශ් පීරිස් (2010 – ලෝකඩ සහ 2014 – රිදී). ඉන්දික චතුරංග දිසානායක (2018 – රිදී) චතුරංග ලක්මාල් ජයසූරිය (2018 – ලෝකඩ) සහ දිනූෂා හංසනී ගෝමස් (2018 – ලෝකඩ) පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල ආශ‍්‍රිතව පදක්කම්ලාභී සෙසු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති.

ඔවුන් ඇතුළුව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 13 දෙනකුගෙන් සැදුම්ලත් වන ශ‍්‍රී ලංකා ජාතික සුපිරි බර ඉසිලීමේ සංචිතය ක‍්‍රියාත්මක කෙරෙන්නේ ඉදිරි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල සහ ආසියාතික ක‍්‍රීඩා උළෙල ආශ‍්‍රිතව පදක්කම් බලාපොරොත්තුවෙනි.

මෙහි පුහුණුවීම් මහනුවර මහයියාව වේවැල්පිටිය ප‍්‍රජා ශාලාවේ ස්ථාපිත කර ඇති බර ඉසිලීමේ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් කුරුණෑගල සහ කොළඹ දී පැවැත්වෙන්නේ ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වී තිබෙන කොරෝනා වෛරසයෙන් (කොවිඞ් 19) ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ආරක්ෂා කර ගැනීමේ අටියෙනි.

පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය යටතේ වුවද එයට අභියෝග කරමින් ජාතික සුපිරි සංචිතයේ පුහුණු කිරීම් නිරතුරුව සිදු කිරීමට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය කටයුතු කර තිබීම පැසසිය යුතුය.

ජාතික බර ඉසිලීමේ පුහුණුකරු ආර්. බී. වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ පුහුණුකාර කාර්ය මණ්ඩලය මෙන්ම සංචිතගත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මහත් වූ උද්‍යෝගයකින් යුතුව මෙම කාර්යයෙහි නිරත වීම තුළින් විපුල ඵල නෙළා ගනු ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තබා ඇති විශ්වාසය විශාලය.

පෝෂණ දීමනාවට අමතරව සංචිතගත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 13 දෙනකු උදෙසා මසකට රුපියල් 100,000/= බැගින් දීමනාවක් ලබා දෙන්නේ ඔවුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරමින් වැඩි ජාත්‍යන්තර පදක්කම් ප‍්‍රමාණයක් රටට දිනා ගැනීමේ උත්තුංග චේතනාවෙනි. එය මැනවින් තේරුම් ගනිමින් තම උපරිමයට ළඟා වීම සංචිතගත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ යුතුකම හා වගකීම බව අප පසක් කර සිටිමු.

චින්තන ගීතාල් විදානගේ, ඇන්ටන් සුදේශ් පීරිස්, ඉන්දික චතුරංග දිසානායක, දිනූෂා හංසනී ගෝමස්, ඩිලංක ඉසුරු කුමාර, චතුරංග ලක්මාල් ජයසූරිය, තිලංක විරාජ් පළගසිංහ, චමරී වර්ණකුලසූරිය, ඩබ්ලිව්. පී. උෂාන් චාරුක, සමන් අබේවික‍්‍රම, චානක පීටර්ස්, බී. චතුරිකා ප‍්‍රියන්තී සහ තිමාලී හපුතැන්න රන් අස්වනු නෙළා ගනු රිසියෙන් කැපවී සිටින උසස් දක්ෂතා සහිත සුපිරි සංචිතගත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති.

ජාතික සුපිරි සංචිතයට අයත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 13 දෙනා මෙන්ම ලබන දෙසැම්බර් මස උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අගනුවරදී ක‍්‍රියාත්මක කෙරෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලිය සඳහා සහභාගි කරවන ශ‍්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම උදෙසා කැඳවා ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 09 දෙනා ඇතුළු සමස්තය වන 22 ද මේ වන විට උත්සාහ ගනිමින් සිටින්නේ රන් සිහින සැබෑ කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.

මනෝජ් මධුවන්ත විජේසිංහ, ඞී. එම්. ශ‍්‍රීමාලී සමරකෝන්, උමෙයිරා මොහිඞීන්, ආර්. එම්. එන්. එස්. රාජපක්ෂ, ආශිකා විජයබාස්කර්, ජී. ජී. ඞී. ටී. ගුරුගම, සංජනා වෙදආරච්චි, කමල් දේශප‍්‍රිය එගොඩවත්ත සහ යූ. ආර්. ආර්. ජයසේන පුහුණුව සඳහා කැඳවා ඇති අනාගත බලාපොරොත්තු සහිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති.

ඒ අතරේ යාපනයෙන් කෙළි බිමට පිවිසි ආශිකා විජයබාස්කර් මෙන්ම හබරණින් බර ඉසිලීමේ කට්ටලය දෑතට ගත් ශ‍්‍රීමාලි සමරකෝන් හා තංගල්ලෙන් පිවිසි සංජනා වෙදආරච්චි බර ඉසිලීමේ රටේ ව්‍යාප්තියට උදාහරණ සපයයි. මෙහි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ පදක්කම්ලාභීන් වීම අනාගත බලාපොරොත්තු ඉහළ නංවන්නකි. ඔවුන් රැක බලා ගැනීම මෙන්ම මග පෙන්වීමද බර ඉසිලීමේ බලධාරීන්ගේ යුතුකම හා වගකීම වන බව අපේ හැඟීමයි. ඔවුන්ගේ පෞරුෂය ආදර්ශයට ගනිමින් ළාබාල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බොහෝමයක් අනාගතයේ බර ඉසිලීමට බර වනු ඇත. එමගින් මෙම ක‍්‍රීඩාව සමස්ත ශ‍්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කිරීමට ඉවහල් වනු නොඅනුමානය. ඒ අනුව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලිය සඳහා බර පංති 08 කින් ක‍්‍රීඩකයන් 10 දෙනකු සහ බර පන්ති 09 කින් ක‍්‍රීඩිකාවන් 10 දෙනකු බැගින් 20 දෙනකු සහභාගි කරවීමට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය සඳහා යොමු කර තිබේ. මෙම තරගාවලියේ දී ප‍්‍රදර්ශනය කරන දක්ෂතාවන් පදනම් කරගනිමින් මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට සුදුස්සකු වීමට අවස්ථාව සැලසී තිබීම ද එහි තරගකාරිත්වයට උදාහරණ සපයයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment