බලංගොඩ බණ්ඩාර මැණිකේ මාතාවගේ මහඟු පිංකම රටට ආදර්ශයකි

193

සම්මා සම්බුද්ධ ශාසනයෙ හි මහා පිනැති උත්තර නම් රහතන් වහන්සේ නමක් වැඩ සිටිය හ. මේ උත්තර මහ රහතන් වහන්සේ මීට කල්ප තිස් දාහකට පෙර දී කරන ලද පිංකමක ආනිසංස බලයෙන් සාංසාරික ජීවිතය සුවපත් විය. කල්ප තිස්දහසකට පෙර සුමේධ නමින් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූහ. උන් වහන්සේ විවේක සුවයෙන් ගසක් මුල වැඩ සිටින අවස්ථාවේ එක්තරා තරුණ ළමයෙක් ළඟ තිබූ ගසකින් කිණිහිරියා මල් තුනක් කඩා බොහො ම ගෞරව භක්තියෙන් දොහොත් මුදුනේ තබා බුදුරජාණන් වහන්සේ ගේ ශ‍්‍රී පාද මූලයේ තබා පූජා කළේ ය. මේ පූජාමය පින ඔබ වහන්සේ යම් ධර්මයක් අවබෝධ කළේ ද එම ධර්මය මට ද අවබෝධ කර ගැනීමට ලැබේවා යි ප‍්‍රාර්ථනා කරන ලදි. එදා පටන් මේ බුදු සසුන දක්වා කාලය වර්ෂ ගණනින් නොව කල්ප ගණනින් තිස් දහසක් විය. මේ කාලය තුළ මල් පූජා කිරීමේ පුණ්‍ය බලයෙන් සතර අපා දුකින් අත් මිදුනේය. දෙව් මිනිසුන් අතර ලබන්නට තිබෙන සකල සම්පත් ලබන ලදි. දීර්ඝායුෂ, නිරෝගි බව, දර්ශනීය ජීවිත, පරිවාර සම්පත් ඇති ජීවිත, උසස් කුල සම්පත්, මහා ධන සම්පත්, දිව්‍ය මාලිගා, පිනැති දරු සම්පත්, මහා ප‍්‍රඥාවන්ත ජීවිත, මහේශාක්‍ය මහානුභාව සම්පන්න ජීවිත ලැබූ අතර දීප චක‍්‍රවර්ති රජකම වරක් ද සක්විති පදවිය වරක් ද ලබන ලදි. එසේ ම රටවල් පාලනය කරන රජකම්, ඇමැතිකම් ලැබූ වාර ගණන සීමාවක් නො මැත.

ඉහත සටහන උපුටා ගත්තේ ”කර්ම විපාක” ග‍්‍රන්ථයෙනි. ඇත්තෙන්ම මනුලොව සිට අකනිටා බඹලොව දක්වා මේ සක්වළ පුරා අබ ඇට පිරවූයේ නමුදු ඒ අබ ඇට ගණනට වඩා විශ්වයේ තවත් සත්වයන් වාසය කරන සක්වළවල් ඇති බව ධර්මයේ සඳහන් වේ. නමුත් කර්මයේ විපාකයෙන් බේරීමට හැකි පුද්ගලයකු නම් මේ විශ්ව ලෝක ධාතුව තුළ ම නැත. මේ සටහන ලියන්නට සිත්වූයේ පසුගිය දිනක කූරගල පිළිබඳව තොරතුරු දක්වන මුහුණු පොතේ පිටුවක දුටු සටහනක් හා සේයාරුවක් නිසාය. කූරගල නූතන බෞද්ධ ප‍්‍රබෝධයේ අග‍්‍රඵලය බව අනිවාර්යයෙන් සටහන් කළ යුතුය. මෑත යුගයේ සිදුවන විශාලම විහාර කර්මාන්තය එයයි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින්වහන්සේ ඓතිහාසික කූරගල මෙරට පමණක් නොව බෞද්ධ ලෝකයටම වැඳපුදා ගත හැකි මහඟු පින්බිමක් කිරීමේ කාර්යය ඉතා හොඳින් සිදු කරමින් සිටිති. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේද එම පින්බිමේය. ඉහතින් සඳහන් කළ විශේෂ සටහන කුමක්ද? එහි මෙසේ සඳහන් විය. ”වයස අවුරුදු 86 වන බලංගොඩ දිවුලාන පදිංචි බණ්ඩාර මැණිකේ අම්මා තම කුඹුර මිලට විකුණා කූරගල ගොඩනගන්න මුදල් පූජා කළා… කුඹුරට වඩා අපේ හාමුදුරුවෝ මට කූරගල හැදෙන එක වටිනවා ඒ පින කරගන්න ඕනෑ මැරෙන්න කලින්… ඔන්න මට දීපු උත්තරය. ඒ අම්මා අනගාරික මුණින්ද්‍රයාණන් වහන්සේ ගේ සසුනේ ඉදිවන මේ මහා පුදබිම තුළ මේ හැම සතයකටම අපි සාධාරණයක් කරනවා… අන්‍ය බලාපොරොත්තු අපට නෑ” යනුවෙනි. මෙම මෙම සටහන පළවී තිබුණේ වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින්වහන්සේ ගේ හා බලංගොඩ දිවුලාන පදිංචි බණ්ඩාර මැණිකේ මහත්මිය හා ඇගේ දියණියකගේ සේයාරුව සමගිනි. ඇත්තෙන්ම මෙය රටට ඉතා හොඳ පණිවුඩයක් මෙන්ම බෞද්ධයින්ට අනේ සාධු කියවෙන මුහුණු පොතේ පෝස්ටුවකි. බෞද්ධ උපාසිකාවක් ලෙස බණ්ඩාර මැණිකේ අම්මා රටටම ආදර්ශයක් දී ඇත්තා සේම මෙරට බෞද්ධයින් කූරගල පිළිබඳව මහත් බලාපොරොත්තු තබාගෙන සිටින බව ප‍්‍රකට වෙයි. ධම්මරතන නායක ස්වාමින්වහන්සේ මේ විහාර කර්මාන්තය ඉතා හොඳින් ඉටුකරන බව බණ්ඩාර මැණිකේ මහත්මිය දනී. එනිසාම කුඹුර විකුණා ඒ මුදල නොපැකිලව විහාර කර්මාන්තය වෙනුවෙන් ලබා දෙයි. අපි මේ මාතාවට දීර්ඝායුෂ ප‍්‍රාර්ථනා කරමු. ඒකාසනදායිකා ථෙරී අපදානයේ සඳහන් වන්නේ ඒකාසනදායිකා තෙරණිය පෙර එක් ජීවිතයක දී පැහැදුන සිතින්, තැන්පත් සිතින් නුවණින් යුක්තව එක් හිමිනමකට වැඩ සිටීමට අසුනක් පනවා දුන් පිනින් අසූවතාවක් සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන් බවයි. හැත්තෑ හත් වතාවක් සක්විති රජුන් ගේ මෙහෙසිය වූවා ය. එසේම මනුලොව දී බොහෝ අනුසස් ලැබී ඇත. මෙය බෞද්ධයන්ගේ පහන් සංවේගය පිණිසය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment