බලතල දෙන්නත් කලින් ගැලවෙන උ/නැ ඉඩම්!

181

යාපනය අර්ධද්වීපයේ පිහිටි වලිකාමම් උතුරේ නාවික හමුදාව සතු ඉඩම් අක්කර 30ක් සහ යුද හමුදාව සතු ඉඩම් අක්කර 80ක් වහාම නිදහස් කරන ලෙස රජය ආරක්‍ෂක අමාත්‍යාංශයට නියෝග කර තිබිණි.

මේ ප්‍රදේශය උපායමාර්ගික කේන්ද්‍රස්ථානයකි. මෙම ඉඩම් වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවට බාරදෙන ලෙස ද ආරක්‍ෂක බලධාරීන්ට උපදෙස් ලැබී ඇත. නාවික හමුදා ආරංචි මාර්ගවලට අනුව නාවික හමුදාව දැනට සිටින අක්කර 25ක ප්‍රදේශය හමුදා කටයුතුවලට අවශ්‍ය වූවකි.

13 වැනි සංශෝධනය මුළුමනින්ම ලබාදීමට රජය තීරණය කිරීමත් සමගම උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරන ලෙස ද්‍රවිඩ සංධානය ඉල්ලා තිබිණි. මේ තත්ත්වය මත රජය නිදහස් කිරීමට තීරණය කර ඇති පුද්ගලික ඉඩම් කුමක් දැයි හෙළිවී නැත. එහෙත් යුද්ධය පැවති සමයේ ද්‍රවිඩයන් විශාල පිරිසක් ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෝර්වේ, ස්විඩනය, කැනඩාව සහ බි්‍රතාන්‍ය යන රටවලට පැන ගියහ. ඉඩම් හිමි ද්‍රවිඩයන් ද ඒ අතර විය. කොටි සංවිධානය ඔවුන් සතු ඉඩම් හොර ඔප්පු සාදා කොටි හිතවාදීන්ට ලබාදී ඇත. එසේම මියගිය කොටි ත්‍රස්තයන්ගේ පවුල්වල අයට ද ලබාදී තිබේ. එම සමයේ කොටි සංවිධානය ඉඩම් කච්චේරිවල තිබූ ඔප්පු විශාල සංඛ්‍යාවක් පුළුස්සා දමා තිබේ. මේ තත්ත්වය මත පුද්ගලික ඉඩම්වල දැන් සිටින්නේ නියම හිමිකරුවන් ද? පසුගිය ජනවාරි 23 දා යාපනය හමුදා ප්‍රධානියා සහ දිසා ලේකම් අතර ඉහළ පෙළේ සාකච්ඡාවක්ද පවත්වා තිබේ. මෙලෙස 13 වැනි සංශෝධනය යටතේ රජය ද්‍රවිඩ සංධානයට ඉඩම් හා පොලිස් බලතල ලබාදීමට තීරණය කරද්දී එහි පසුබිම කුමක්ද?

  1. 1987 ඔක්තෝම්බර් 28 වැනිදා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි වෙත ලිපියක් යවමින් 13 වැනි සංශෝධනය සහ උතුරු නැගෙනහිර එක්කිරීම ඉන්දියාවේ වැඩක් බවත් ද්‍රවිඩයන් සහ කොටි ඊට සම්බන්ධ නැතැයි කියා සිටියේය.
  2. එම ලිපියට ආර්. සම්බන්ධන් ද අයත් විය.
  3. පළාත් සභා ක්‍රමය කොටි සංවිධානය ප්‍රතික්‍ෂේප කර ඇත.
  4. ඉන්දීය ජේන් කොමිසම පැවසුවේ ඉන්දීය බුද්ධි අංශ විසින් ද්‍රවිඩයන් 3500 කට අධික සංඛ්‍යාවක් පුහුණු කළ බවයි.

මේ අතර කොටි සංවිධානයේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ජනපතිව සිටි ආර්. ප්‍රේමදාස උතුරේ ආරක්‍ෂක හමුදා කඳවුරු 17ක් ඉවත්කර ගනු ලැබීය. මේ පසුබිම මැද උතුරු නැගෙනහිර රජයේ සහ පුද්ගලික ඉඩම් විශාල සංඛ්‍යාවක් කොටි සංවිධානයේ පාලනයට නතුවිය. පුද්ගලික ඉඩම් හිමියන් විශාල පිරිසක් කොටින්ට බියේ වැල්ලවත්ත සහ අවට ප්‍රදේශවලට පැන අවුත් ඉඩම් මිලයට ගනු ලැබීය. වන්නි මෙහෙයුමින් උතුර හා නැගෙනහිර මුදාගැනීමෙන් පසු අඩයාලම් සහ පර්ල් නමැති රාජ්‍ය නොවන සංවිධාන ලොව පුරා ප්‍රචාරයන් යවමින් හමුදාව ද්‍රවිඩයන් සතු ඉඩම් විශාල සංඛ්‍යාවක් අල්ලාගෙන ඇති බවට චෝදනා කළේය. එහෙත් සැබෑ තත්ත්වය නම් උතුරු නැගෙනහිර ඉඩම්වලින් සියයට 80ක් රජය සතු වූ අතර සියයට 14ක් පුද්ගලික ඉඩම් විය. එසේ වුවත් උතුරේ ආරක්‍ෂක අංශ සිටින කඳවුරු ප්‍රදේශයේ ඉඩම් ද පුද්ගලික ඉඩම් බවට ද්‍රවිඩ සංධානය කියා සිටියි.

එහෙත් පුද්ගලික ඉඩම් හිමිකරුවන් ආරක්‍ෂක හමුදා රැඳී සිටින්නේ පුද්ගලික ඉඩම්වල බවට මෙකෙක් සනාථ කර නැත. මෙයට වසර ගණනකට පෙර යාපනය කොටුවේ ඉඩම් ද පුද්ගලික ඉඩම් ලෙස ප්‍රචාරය විය. කොටි සංවිධානය යාපනය කොටුව අල්ලාගත් පසු එහි ඉඩම්වල පදිංචි වූයේ මහාවිරුවන් යයි හඳුන්වන කොටි ත්‍රස්තයන්ය.

බලතල දෙන්නත් කලින් ගැලවෙන උ/නැ ඉඩම්!

පසුගිය රජය පලාලි සමීපයේ ඇති මයිලඩි වරාය සහ අවට ඉඩම් මුදාහැරියේ නම් 13 වැනි සංශෝධනය යටතේ ආරක්‍ෂක හමුදා සිටින ඉඩම් මුදාහැරීම පුදුමයක් නොවේ.

මේ අතර 13 වැනි සංශෝධනය යටතේ උතුරු නැගෙනහිරට 13 බලතල ලබාදෙන බව හිටපු ජනපතිවරු වන චන්ද්‍රිකා, මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල පැවසුවත් ලබා දුන්නේ නැත. එසේම හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ 13 යටතේ බලතල ලබාදෙන බව ප්‍රකාශ කළේ නැත.

එසේ වුවත් ඉන්දියානු රජය උතුරු නැගෙනහිරට 13 යටතේ පොලිස් බලතල හා ඉඩම් බලතල ලබාදිය යුතු බව ශ්‍රී ලංකාවට පැවසුවත් මේ ප්‍රකාශයෙන් දින කීපයකට පසු ඉන්දීය ජනරජ දිනයට හිටපු ජනපතිවරුන් වූ ගෝඨාභය සහ මහින්ද රාජපක්‍ෂ සහභාගි විය. ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ ද රැකවලුන් තිදෙනකු යටතේ ඉන්දීය ජනරජ දිනයට සහභාගි වූ අතර හිටපු විදේශ ලේකම් ජයනාත් කොළඹගේ, පියල් ද සිල්වා, තිසර සමරසිංහ යන හමුදා නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ. මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ තෙප්පිලාවු හමුදා කඳවුර ඉවත්කර එම ස්ථානය ලබාගැනීමට ද්‍රවිඩයන් පිරිසක් දැරූ උත්සාහය ද ව්‍යර්ථ විය. මේ අතර ඉඩම් බලතල උතුරු පළාත් සභාවට ලබාදීමට ක්‍රියා කළහොත් සිදුවන්නේ භයානක තත්ත්වයකි.

මෙහි දැක්වෙන්නේ ඊට නිදසුන්ය.

  1. තමිල්නාඩුව සමග ඍජු සබඳතා පැවැත්වීම
  2. ඒකාබද්ධ ගිවිසුම් ඇතිකර ගැනීම
  3. මධ්‍යම රජයට එරෙහිව ක්‍රියා කිරීම
  4. ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශය, ත්‍රස්ත මර්දන ඒකකය සහ රහස් පොලිසියට උතුරට ඒමට අවසර ගැනීමට සිදුවීම.
  5. විදේශ ආයතන සමග එක්ව කටයුතු කිරීම
  6. අලුතින් හමුදා කඳවුරු පිහිටුවීමට නොහැකිවීම
  7. පළාත් පොලිසියක් බිහිවීම
  8. පළාත් පොලිසිය මහ ඇමතිට නතුවීම
  9. වෙනත් ප්‍රදේශවලින් එන අයගෙන් බදු අය කිරීම
  10. අගනුවර වෙනස් කිරීමට පවා ඉඩ ලැබීම

එහෙත් රජය මේ කරුණු ගැන අවධානය යොමු කර නැත. මෙයට අමතරව උතුරේ පූජනීය ස්ථානවලට යෑමට දකුණේ ජනතාවට ඉඩ ලැබේද?

මෙයට අමතරව ජාතික ආරක්‍ෂාව බිඳ වැටේද?

මේ හැර ඉඩම් හා පොලිස් බලතල ලබාදීමෙන් සිදුවන අර්බුද මෙසේය.

  1. අධි ආරක්‍ෂක කලාවල තිබූ ඉඩම් ද අහිමිවී යනු ඇත.
  2. ඉඩම් හා පොලිස් බලතල කෙටුම්පත් කිරීමට ඉඩ ලැබීම
  3. ඉඩම් විකිණීමට හැකිවීම
  4. නාගදීපයට යෑමට වීසා ලබා ගැනීමේ තත්ත්වයක් මතුවීම
  5. තමිල්නාඩුවේ සිට සංක්‍රමණිකයන්ට උතුරු නැගෙනහිරට පැමිණීමට හැකිවීම
  6. ආරක්‍ෂක හමුදාවට මහ ඇමැති නියෝගවලට අවනත වීමට සිදුවීම

උදා: වර්ධරාජා පෙරුමාල්ගේ නියෝග

  1. ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වීම

13 යටතේ ඉඩම් හා පොලිස් බලතල දීම ඔස්ටේ්‍රලියාවේ කැන්බරාහි නීතිවේදී චානක බණ්ඩාරගේ දක්වන්නේ භයානක ක්‍රියාවලියක් බවයි. එය සිදු නොවිය යුතු යැයි හෙතෙම රජයට අනතුරු අඟවා ඇත. හිටපු පොලිස් ඇමැති සරත් වීරසේකර පැවසුවේද පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දීම අතිශයින්ම බියකරු බවයි. මෙයට පෙර චන්ද්‍රිකා කුමාරතුංග බස්නාහිර පළාත් සභාවට පොලිස් බලතල ඉල්ලූ විට ඒ බව හිටපු ආරක්‍ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ජනපති ඩී. බී. විජේතුංගට පවසා ඇත. එම ඉල්ලීම විජේතුංග විසින් එකවරම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. රජය මෙරට බහුතරයේ එකඟතාවයකින් තොරව ඉඩම් හා පොලිස් බලතල දීම රට දෙකඩ කරන්නක් බව උතුරේ ද්‍රවිඩ සංවිධාන නායකයකු වූ අරුන් සිද්ධාර්ථන් පවසා ඇත. නෝර්වේ රාජ්‍යයේ ප්ලොට් සංවිධානයේ නායක රාජන් සිවරාජන් මෙලෙස පැවසීය. මේ තීරණය ඉතාමත් අනතුරුදායකයි. උතුරු නැගෙනහිර 3/2ක වෙරළ කලාපය සමස්ත රටටම අහිමි වෙනවා. පුල්මුඩේ ඉල්මනයිට්, ටයිටේනියම් නිධි මහ ඇමැති පාලනයට නතු වෙනවා. එසේම උතුරේ මහ ඇමැති ඊළඟට උතුරේ සිටින හමුදාව ඉවත්කිරීමට සැලසුම් කරනවා. එය නතර කිරීමට රජයට හැකියාවක් නැති වෙනවා. මේ අතර ද්‍රවිඩ සංධාන නායක සම්බන්ධන් මෙලෙස ප්‍රකාශ කර ඇත. අපේ අරමුණ එකයි – උපාය මාර්ග වෙනස් මේ උපාය මාර්ග උතුරු නැගෙනහිරට ස්වයං පාලනය ලබා ගැනීමද?

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment