බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් ලුණුවිල නෝත් සී ආයතනයේ කෝටි ගණනක ධීවරආම්පන්න විනාශයට

115

සීමාසහිත නෝත් සී ආයතනයේ සේවකයන්ගේ වැටුප නියමිත දිනට ලබා දෙන තුරු නිෂ්පාදන කටයුතුවලින් සේවකයන් ඉවත් වී සිටීමට තීරණය කළේ ඉකුත් හත් වෙනි දිනය.

ධීවර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන වෙන්නප්පුව ලුණුවිල පිහිටි නෝත් සී ආයතනයේ සේවය කරන සේවක සංඛ්‍යාව 95කි. මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දීමට බලධාරීන්ගේ නහරවලට උත්තේජනයක් ලබාදීමේ අරමුණින් සේවකයන් කර්මාන්ත ශාලාව ඉදිරිපිට ඉකුත් 8 වෙනි දින නිහඬ උදද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වූහ.

පුරා මසක් තුළ දෑතේ කර ගැට එනකම් සේවකයෝ සේවය කළහ. වැටුප් දිනය එනතුරු ඇඟිලි ගණන් කරමින් තම පවුලේ අගහි`ගකම්වලට හැකිතාක් දුරට මගහරවා ගැනීමේ අපේක්ෂාවන් ඔවුන් පසුවූහ. අද දින සේවක සේවිකාවන් අපේක්ෂා භංගත්වයෙන් දෙවියන්ට තම ඉල්ලීම් ලබා දෙන ලෙස ඉල්ලමින් කන්නලව් කරන්නෝය. අන් කිසිවක් කළ නොහැකි බව පෙන්වා දෙමින් අදටත් ඔවුන් කර්මාන්තශාලාවේ තැන් තැන්වල අහුමුළුවල කල් ගෙවන ආකාරය දැක්ගත හැකිය.

අදාළ බලධාරීන් මේ වන තෙක් ඔවුන්ගේ හඬට සවන් දී නොමැතිවීම හේතුවෙන් එහි සියලු අංශවල නිෂ්පාදන කටයුතු නැවතී තිබේ. දිවයිනේ ධීවර කර්මාන්තයට අවශ්‍ය මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන විශාලතම කර්මාන්ත ශාලාව මෙය වන අතර වර්තමානයේ එම සේවකයන් මුහුණ පා ඇති ප‍්‍රධානම ගැටලුවට අමතරව වසර ගණනාවක් තවත් ගැටලු රැුසක් පවතින බව සේවකයන් පවසති.

මාස විස්සක් සේවක අර්ථසාධක මුදල් බැර කර නොමැති වීම, ආයතනයේ යන්ත්‍රෝපකරණ රැුසක් ප‍්‍රයෝජනයට නොගෙන විනාශ වෙමික් පැවතීම සහ ඒ පිළිබඳව කොතරම් දැනුවත් කළත් පාලනාධිකාරිය සවන් නොදීම, දැල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මසකට කිලෝ ග‍්‍රෑම් 12,000 ක් අවශ්‍යව තිබිය දී කිලෝ ග‍්‍රෑම් 6000 ක් පමණ ලබාදීම, අමාත්‍යතුමා සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පවතින අර්බුදකාරී තත්ත්වය සළකා සේවකයන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා නොදී අධ්‍යක්ෂක මණ්ඩලය රැුස් වන එක් දිනකදී රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය කිරීමට කටයුතු කිරීම, පවතින තවත් ගැටලු අතර වේ.

වැටුප් ගෙවීමට අදාළ මුදල් ගිණුම් ගත කර තිබියදීත් තම වැටුප නියමිත දිනට ගෙවීමට මාස ගණනාවක් තිස්සේ පාලන අධිකාරිය කටයුතු නොකිරීමෙන් තම ජීවිතයවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව සේවකයන් පවසති.

පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පසුගිය වසර දෙක පුරාම විෂයභාර අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්තුමිය සහ සභාපතිතුමා හමුවී සාකච්ඡුා කළද මේ වනතුරුත් පාලනාධිකාරිය ඊට විස`දුම් ලබා දීමට අපොහොසත් වී ඇති බව ද ඔවුන් චෝදනා කරති.

1982 වර්ෂයේ සී-නෝර් ආයතනය ලෙස ආරම්භ කළ මෙම කර්මාන්ත ශාලාව 2016 වර්ෂයේ එවකට පැවැති රජයේ අමාත්‍ය මණ්ඩල තීරණයක් මත නෝත් – සී නමින් නම් කර තිබේ. එලෙස ආරම්භයේ පැවති නම වෙනස් කිරීම සම්බන්ධව එවකට සේවකයන් මෙන්ම විවිධ පාර්ශ්ව දැඩි ලෙස විරෝධය පළ කළහ.

ධීවර ජනතාවට අවශ්‍ය දැල් ආම්පන්න විශාල වශයෙන් නිෂ්පාදනය කරන නෝර්ත් සී ආයතනය මේ වන විට වැසී යෑමේ තර්ජනයට ලක්ව ඇති බව එහි සේවකයන් පවසති. දැල් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟකම මීට ප‍්‍රධානම හේතුව බව සේවකයෝ පෙන්වා දෙති.

රුපියල් කෝටි ගණන් වැය කර ඇති දැල් ආම්පන්න නිෂ්පාදනය සඳහා භාවිතා කරන යන්ත‍්‍ර සූත‍්‍ර විශාල ප‍්‍රමාණයක් කිසිදු ප‍්‍රයෝජනයක් නොගෙන දිරාපත් වෙමින් පවතී. ආරම්භයේදී සේවකයන් දෙසීයකට ආසන්න ප‍්‍රමාණයක් සේවය කළ අතර මේ වනවිට සේවය කරන සේවකයන්ගේ සංඛ්‍යාව අනූදෙකකි. ආයතනයට වර්තමානයේ එම සේවකයන්ගේ වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් ද උදා වී ඇති බව සේවකයන් පෙන්වා දෙති.

ඉදිරියේ දී නියමිත දිනට වැටුප් ලබා නොදීමට කටයුතු කළහොත් සහ පවතින ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත් අඛණ්ඩව වැඩවර්ජනයක නිරතවන බව සේවකයන් පවසති.

නෝත් සී ආයතනයේ සේවා පරීක්ෂක නිදහස් සේවක සංගමයේ ලේකම් – අනුර ප‍්‍රියංකර පෙරේරා – ඇත්තටම අපට කියන්න කනගාටුයි ලංකාවේ ධීවර අමාත්‍යාංශය සතු එකම විශාලතම ධීවර දැල් නිෂ්පාදනය කරන ප‍්‍රධාන කර්මාන්ත ශාලාවක් තමයි මේ කර්මාන්ත ශාලාව. අද මෙය ලොකු මූල්‍ය අර්බුදයක් වගේම පරිපාලන ආයතනයේ පවතිනවා. ඇත්තටම පසුගිය යහපාලන ආණ්ඩු කාලේ මේ තත්ත්වය තිබුණා. අද ඒ තත්ත්වය වැඩි දියුණු වෙලා කියන්න පුළුවන්. දැල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නන්න හැකියාවක් නෑ. අදටත් අවශ්‍යතාවෙන් හරි අඩකටත් අඩුවෙන් තමා අමුද්‍රව්‍ය ගෙන්නන්නේ. අපි මේ වෙනකොට මේ ආයතන තියෙන ගැටලු සම්බන්ධව ලේකම්තුමා, සභාපතිතුමා සහ විෂයභාර අමාත්‍යවරයා වගේම ජනාධිපතිවරයා දැනුවත් කරලා තියෙන්නේ. නමුත් අදටත් කිසිම විසඳුමක් නෑ. රාජ්‍ය ආයතන මේ වගේ අභාවයට යන්න දෙනවා නම් මේ රටේ ඩොලර් ප‍්‍රශ්නයට කොහෙද ඉතින් විසඳුම් ලැබෙන්නේ. ඇත්තෙන්ම අද අපිට කියන්න කනගාටුයි. මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් මේකට කඩිනම් විසඳුමක් දිය යුතුමයි.

ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සංවිධායක – දුමින්ද රාජපක්ෂ….

මම මේ ආයතනයේ වැඩ කරන්නේ වසර පහළොවක පමණ සිට. මෙම ආයතනයේ වසර කීපයකටකට පෙර සිටම ප‍්‍රශ්න රාශියක් පැනනැගෙමින් පවතිනවා. විශේෂයෙන් අමුද්‍රව්‍ය ප‍්‍රශ්නය. මේ අමුද්‍රව්‍ය ගෙන්න පාලන අධිකාරිය කටයුතු කරන්නෑ. මොකද පෞද්ගලික අංශයට ලබා දීමේ අරමුණින් තමයි මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්නේ කියලා අපිට හිතෙනවා. අද වෙනකොට මේ කෝටි ගණනක වටිනාකමින් යුත් යන්ත‍්‍ර සූත‍්‍ර දිරාපත් වෙනවා. මේවට කවුද වග කියන්නේ. මේ වටිනා සම්පත් මෙහෙම දිරාපත් වෙන්න දෙන්න පුළුවන්ද? ඒ වගේම රටේ මේ දැවෙන ප‍්‍රශ්නයට යම්තම් හෝ විසඳුමක් ලබා දෙන්න මේ ආයතන තුළින් පුළුවන්. මේ ආයතනය ගොඩන`ගන්න බලධාරීන් උත්සාහ කරන්නේ නෑ. ජනාධිපතිතුමනි දැඩි අවධානය යොමු කර මේ ආයතනය ගොඩනැ`ගීමට ඔබතුමා කටයුතු කරන මෙන් අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

ජාතික සේවක සංගමයේ සභාපති – සුසන්ත සම්පත් – මේ වෙනකොට සේවකයෝ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි නියමිත දිනට මේ මාස කීපයක් තිස්සේ වැටුප් දීම ප‍්‍රමාද කිරීම. ඇත්තෙන්ම වැටුප් ගෙවීමට මුදල් බැංකුගත කර තිබියදීත් මේ අපේ වැටුප් ලබා දීමට පාලන අධිකාරිය ක‍්‍රියා කරන්නේ නෑ. මෙව හිතාමතා කරන දේවල් ද කියලා අපිට හිතෙනවා. මොකද මේ ආයතනය කෝටි 1500 ක වත්කමක් තියෙන ආයතනයක්. ඇත්තටම බලධාරීන්ට කරන්න තියෙන්නේ මෙම කර්මාන්තශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන එක පමණයි. අමුද්‍රව්‍ය අවශ්‍ය තරමට ගෙනාවොත් මෙහි නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ ගොල්ලන්ට පෞද්ගලික ආයතන නඟාසිටුවීමේ අරමුණින් තමා මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්නෙ කියලා අපිට හිතෙනවා.

ජාතික සේවක සංගමයේ ලේකම් – සුගත් වික‍්‍රමනායක – ඇත්තටම මේ ආයතනය වර්තමානයේ තිබෙන තත්ත්වය බලධාරීන් පෙන්වා දෙන්නේ ඩොලර් අර්බුදය නිසා ඇතිවූ තත්ත්වයක් බවයි. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මොකද මේ ඩොලර් ප‍්‍රශ්නය එන්න කලින් වසර ගණනාවක් තිස්සේ තමයි මේ ආයතනය මේ තත්ත්වයේ තිබෙන්නේ. මේවා එළියට යන්නෙ නෑ. ජනාධිපතිතුමා සමහරවිට දන්නේ නෑ. අපි බලධාරීන් සමග සාකච්ඡා කර ප‍්‍රශ්න ඉදිරිපත් කළත් තාම මේකට විසඳුමක් ලබාදෙන්න ඒගොල්ලො උත්සාහ කරන්නෙ නෑ. උත්සාහ කරන්න අවශ්‍යතාවයකුත් නෑ කියලා හිතන්නේ. මොකද එයාලට නියම වෙලාවට ඒගොල්ලොගෙ පඩිය හම්බෙනවා.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment