බලනු මැන ඉහළ එන මලල ක්‍රීඩාව

402

වර්ෂ 2002 ජනවාරි මස 01 වැනිදායින් පසුව උපත ලද මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් පමණක් වෙන් වූ තරගාවලියක් කෙන්යාවේ නයිරෝබී නුවරදී පැවැත්විණි. ඒ ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය වේ. 1986දී ආරම්භ වූ ලෝක ශූරතා කණිෂ්ට මලල ක‍්‍රීඩා තරගාවලිය එතැන් පටන් වසර දෙකකට වරක් ලෝකයේ විවිධ රටවල් කේන්ද්‍ර කරගෙන පැවැත්විණි. කොවිඞ් වසංගතයේ අවුල නිසා එය ගිය වර නොපැවැත්විණි. කෙන්යාවේ නයිරෝබි නුවරදී ඒ අනුව මෙවර පැවැත්වුණේ 18 වැනි ලෝක කණිෂ්ඨ ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියයි.

දහඅටේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ කෙළිබිමේ දස්කම් විස්කම් මැන බැලෙමින් පැවැති එම තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනෙක් සහභාගි වූහ. ලෝක ශූරතා තරගාවලියකට ශ‍්‍රී ලංකාව වැනි රටකින් සහභාගිවීමට වරම් ලැබීම ද දුලබ අවස්ථාවකි. ඒ දුලබ විරල අවස්ථාවට ශ‍්‍රී ලංකාවෙන් මඟ විවර කර ගත්තෝ මේධානි ජයමාන්න, ඉසුරු කෞශල්‍ය අබේවර්ධන, ඩිල්ශාන් බණ්ඩාර, රවිඳු ජයසුන්දර, ශානිකා ලක්‍ෂානි, තරුෂී කරුණාරත්න සහ සයුරි ලක්‍ෂිමා මෙන්ඩිස් යන අය වෙති. ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 119කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 18 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්විණි. එහිදී ශ‍්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ම මෙම තරගාවලියට සහභාගි වුණේ කොවිඞ් වසංගතයේ අභියෝග මධ්‍යයේ ය. ළාබාල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් එම අභියෝග මධ්‍යයේ තරග වදිමින් ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට ලබාදුන් ආලෝකය අගය කළ යුතුය.

බලනු මැන ඉහළ එන මලල ක්‍රීඩාව

ඒ අතරින් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් මෙම තරගාවලිය තුළදී ප‍්‍රදර්ශනය කළ දක්ෂතා පදක්කමකට ප‍්‍රමාණවත් නොවූවත් අපේ තරමේ හැටියට විශිෂ්ටය. මෙතෙක් ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියකදී ශී‍්‍ර ලංකාව කිසිදු පදක්කමක් ලබා ගෙන නැති බව ද මෙහිදී පළමුව සඳහන් කිරීම වටී. ඔලිම්පික් පදක්කම් දෙකක් ම අපට ඇතත් ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ සැලකිය යුතු දස්කමක් ඉතිහාසයේ සටහන් නොවූ රටකි ශ‍්‍රී ලංකාව. එහෙත් මෙවර එම තරගාවලියේ අවසන් තරගයකට ද ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි වූහ.

ඒ මීටර් 400 සහාය දිවීමේ ඉසව්වය. ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා තරගාවලියකදී පළමුවරට මිශ‍්‍ර සහාය දිවීමේ තරගයකට සහභාගි වූ ශ‍්‍රී ලංකාව එහි පළමු අවස්ථාවේදීම අවසන් තරගයට සුදුසුකම් ලැබීම ද හොඳ පෙරනිමිත්තකි. ශ‍්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම එහිදී මීටර් 400 ඉසව්ව විනාඩි 3 යි තත්පර 26.39කට නිමා කිරීමට සමත් වූවේය. දිනාගත් ස්ථානය 7 යි. ශ‍්‍රී ලංකාවට හිමි වුණේ 7 වුවද ඔවුන් පැමිණි මඟ අත වනන්නේ යහපත් අනාගතයකට ය. ඩිල්ෂාන් බණ්ඩාර, තරුෂි කරුණාරත්න, සයුරි ලක්‍ෂිමා සහ ඉසුරු කෞෂල්‍ය අබේවර්ධන යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එම ධාවනයේ යෙදුණහ.

මිශ‍්‍ර සහාය දිවීමේ තරග ඉසව්ව ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට එක් වූයේද පළමු වරට වන අතර මීට පෙර එය ලෝක ශූරතා තරගාවලිය සහ පසුගිය ඔලිම්පික් තරගාවලියට එක්කර තිබිණි. මූලික වටයේ තරගයේදී විනාඩි 3 යි තත්පර 26.62කට අදාළ තරගය නිමා කළ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අවසන් තරගයට ප‍්‍රවේශ වූහ.

ශ‍්‍රී ලංකාවෙන් කෙන්යාව බලා ගිය ශ‍්‍රී ලංකා කණිෂ්ඨ මලල ක‍්‍රීඩා කණ්ඩායමේ විශිෂ්ටතම දක්‍ෂතාව එය වුවද, බොහෝ දෙනාගේ බලාපොරොත්තු අතර ඉහළින් කියවුණු නම වූයේ මේධානි ජයමාන්නයි. එම බලාපොරොත්තුවලට සාධාරණය ඉටු කරමින් සිය ක‍්‍රීඩා ජීවිතයේ මීටර 200 ඉසව්වේ හොඳම ධාවන කාලය වාර්තා කිරීමට මේධානි ජයමාන්න එහිදී සමත් වූවාය. අවසන් තරගයට ප‍්‍රවේශ වීමට වරම් අහිමි වුවත් මේධානි අවසන් පූර්ව තරගයේදී මීටර් 200 ඉසව්ව තත්පර 23.95කට නිම කරමින් සිය දක්‍ෂතාව ප‍්‍රදර්ශනය කළාය. මීටර් 200 කාන්තා ඉසව්වේදී මේධානිගේ එම දක්‍ෂතාවය ලෝක කණිෂ්ඨ ක‍්‍රීඩිකාවන්ගේ දක්‍ෂතාවයන් අතර 13 වැනි තැනට පත් වූවාය. එය මේධාණි පිළිබඳව ශ‍්‍රී ලංකාවට ඉහළ බලාපොරොත්තු තබාගත හැකි බවට ලබාදුන් සහතිකයකි.

බලනු මැන ඉහළ එන මලල ක්‍රීඩාව

මීටර් 100 ඉසව්වෙන් ද කෙන්යාවේදී තරගවැදුණු මේධානි එහි දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය. ඒ මූලික වටයේ තරගයේදී අවශ්‍ය දක්‍ෂතා ප‍්‍රදර්ශනය කරමිනි.

තරුෂි කරුණාරත්න ද ශ‍්‍රී ලංකා කණිෂ්ඨ මලල ක‍්‍රීඩා බලාපොරොත්තු අතර තවත් දීප්තිමත් නාමයකි. මීටර් 800 ඉසව්වෙන් තරග වදින තරුෂි එහි මූලික තරගය විනාඩි 2 යි තත්පර 10.70කට නිම කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය. එහෙත් අවසන් පූර්ව වටයේදී තරුෂිට එම කාලය වාර්තා කිරීමට නොහැකි වූවාය. එහිදී තරුෂි මීටර් 800 තරගයේ ධාවනය සඳහා ගත් කාලය විනාඩි 2 යි තත්පර 17.82ක් විය. තරුෂිගේ එම දක්‍ෂතාවය අනුව ඇය ලෝකයේ කණිෂ්ඨ ක‍්‍රීඩිකාවන් අතර මීටර් 800 ඉසව්වෙන් 16 වැනි ස්ථානයේ පසුවන්නීය. විනාඩි 2 යි තත්පර 07.21ක් වන තමාගේ හොඳම කාලය තරුෂි කෙන්යාවේදී ප‍්‍රදර්ශනය කරන්නට සමත් වුණි නම් මේ ස්ථානය මීටත් වඩා ඉහළ තැනකට යනු ඇත. එමෙන්ම තරුෂි යනු තවත් ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියකට ප‍්‍රවේශ වීමට තරම් ළාබාල අවදියේ පසුවන ක‍්‍රීඩිකාවකි. තවමත් 16 හැවිරිදි වියේ පසුවන තරුෂි වලල ඒ. රත්නායක මැදි විදුහල නියෝජනය කරන්නීය. මේධානි ජයමාන්න කොළඹ ලූම්බිණි විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටී. මේධානි, තරුෂි සමඟ කියවෙන තවත් ක‍්‍රීඩිකාවක් කෙන්යාව බලා ගියාය. ඇය ශානිකා ලක්‍ෂානි කහවලගේ නම් වන්නීය. මීටර් 800 ඉසව්වෙන් ම තරග වදින ඇය කෙන්යාවේ පැවැති අදාළ තරගාවලියේදී මීටර් 800 ඉසව්වේ මූලික තරගයෙන් පස්වැනි ස්ථානයට පත් වූවාය. ඒ හේතුවෙන් අවසන් පූර්ව තරගවලට සහභාගි වීමට තරම් ලක්‍ෂානි වාසනාවන්ත නොවූවාය.

මේ ආකාරයට බලන කල ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය පිළිබඳව ශ‍්‍රී ලංකාවට සාපේක්‍ෂව සතුටු විය හැකි තත්ත්වයක් පවතී. මේ කණිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් යනු හෙට දිනයේ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ අනාගතයයි. එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලෝකය ජය ගැනීමට හැකි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බවට පත් කිරීමට දායක වීම අදාළ සියලූ බලධාරීන්ගේ වගකීම සහ යුතුකම වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment