බලපත්‍ර මුද්‍රණයට සමාගමකට කෝටි 1131 ක් ගෙවලා

183

ගිවිසුම අවසන් වුවත් තවත් වසර 3 1/2ක් දික් කරලා

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන සිටි එක්තරා සමාගමකට 2009 වසරේ සිට 2019 දක්වා වසර දහයක් රුපියල් කෝටි 1131 කට අධික මුදලක් නිකරුණේ ගෙවා නොදැමුවේ නම් මේ ආකාරයට රියැදුරු බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට සිදු නොවන බවට රජයේ විගණන නිලධාරීහු පවසති.

චිපය සහිත රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීමේ තාක්ෂණය ලබාගැනීම සඳහා 2009 වසරේදී සමාගමක් සමග අත්සන් කර තිබූ ගිවිසුම 2016 වසරේ දී අවසන් වූ පසුවත් වසර තුන හමාරකට එම කොන්ත්‍රාත්තුව දික් කිරීමට ඇතැම් හිටපු මෝටර් රථ කොමසාරිස්වරුන් පියවර ගෙන තිබිණි.

රජයේ විගණනයේදී හෙළි වූ කරුණුවලට අනුව එම කොන්ත්‍රාත් කාලය නිම වූ පසුවත් එම සමාගමට රුපියල් කෝටි 32කට මුදල් ගෙවමින් මෙම රියැදුරු බලපත්‍ර මුද්‍රණය කරගෙන ඇත.

රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම වෙනුවෙන් වෙනත් සමාගම් රුපියල් 300ක මිල ගණන් ඉදිරිපත් කර තිබියදී එක් රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය සඳහා රුපියල් 1571 ක් ගෙවමින් මෙම සමාගමට දිගින් දිගටම මෙම කොන්ත්‍රාත්තුව ලබාදී තිබූ බව රජයේ විගණනයේදී හෙළි වී තිබිණි.

රජයේ විගණකාධිපතිවරයා වසරින් වසර නිකුත් කළ වාර්ෂික විගණන වාර්තාව මගින් මෙය අතිශය දූෂිත ගනුදෙනුවක් බව පෙන්වා දුන්නත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් හිටපු මෝටර් රථ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරින් එක්ව රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම මෙම සමාගමට ලබාදී තිබූ බව විගණනයේදී තහවුරු වී තිබිණි. මසකට රියැදුරු බලපත්‍ර 60,000ක් 90,000 ක් මුද්‍රණය කර තිබූ බව ද විගණනයේදී අනාවරණය වී තිබිණි.

රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී රුපියල් 2000ක් අයකර ගත් අතර එම 2000 මුදලින් රුපියල් 1571ක් අදාළ සමාගමට ගෙවා ඇත්තේ මුද්‍රණ ගාස්තු ලෙසිනි. මෙහිදී ඇතැම් දූෂිත නිලධාරීන් අතර එක් බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් දහසක කොමිස් මුදලක් ගෙවනු ලැබුවත් මාසයකට එවැනි දූෂිත නිලධාරියකුට රුපියල් ලක්ෂ හයක කොමිස් මුදලක් ගතහැකි බව ද විගණනයේදී පෙනී ගොස් ඇත.

චිපය සහිත රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව 2009 වසරේ අදාළ සමාගමට දී ඇත්තේ ඉදිකර මෙහෙයුම් කර යළි පවරාදීම (ඊධඔ) යටතේය. ඒ අනුව 2016 නොවැම්බර් කාලය අවසන් වී තිබිණි.

නමුත් 2016 නොවැම්බර් සිට 2019 දක්වාම කොන්ත්‍රාත්ව දික් කෙරිණි. 2019 වසරේදී බලයට පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට පැමිණියේ ද මේ දූෂිත කටයුතු සෙවීමටය.

ඊට පසුව අදාළ සමාගම රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීමේදී අය කළ රුපියල් 1571 ක ගාස්තුව රුපියල් 1000 දක්වා පහත හෙළීය. පසුව යුද හුමදාවට මෙම කටයුත්ත භාර කළේ ඒ කොන්ත්‍රාත්තුව දූෂිතව සිදු වූ බවට හෙළි වීම නිසාය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment