බලය තියෙන්නේ අපේ ළඟ : – පොහොට්ටුවේ 69 ලක්‍ෂය කයිවාරුකාරයන්ගේ ඔඩොක්කුවට වැටෙන්නේ නෑ

144

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම වේදිකාව ඉලක්ක කරගෙන තමයි අනෙක් පක්‍ෂවල නායකයන් මඩ ගහන්නේ. ඒ කයිවාරු නායකයන් දන්නවා තවම බලය තිබෙන්නේ අපේ ළඟ කියලා. ඔවුන් දැන් බලාගෙන සිටින්නේ අපේ 69 ලක්‍ෂය ඔවුන්ගේ ඔඩොක්කුවට කඩා වැටෙනකම්. තමන් ඉතිහාසය පුරා වැඩියෙන්ම වැරදි කරපු ඒ අයගේ ඔඩොක්කුවට වැටෙන්න එපා කියා ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (01දා) පැවැති මැයි දින රැලිය අමතා පැවැසීය. බොරැල්ල කැම්බල් පිටියේ පැවැති රැලියේ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

බලය තියෙන්නේ අපේ ළඟ : - පොහොට්ටුවේ 69 ලක්‍ෂය කයිවාරුකාරයන්ගේ ඔඩොක්කුවට වැටෙන්නේ නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ගහලා විනාශ කරන්න යම් යම් බලවේග සූදානම්වෙලා ඉන්නවා. ඒ කොහොම වුණත් රටේ ජනතාව පොදුජන පෙරමුණ වටා රොදබැඳගෙන ඉවරයි. බලය නැති කාලයේ වගේම බලය තියෙන කාලයේත් ජනතාව අපි එක්ක සිටියා. මේ රටේ වැඩබිමේ, ගොවිබිමේ ජනබලය තියෙන්නේ පොදුජන පෙරමුණට. අපිට මඩ ගහන අය දන්නවා වැඩිම ජනතා බලයක් තියෙන්නේ කියලා. ඒ අය මේ බලන්නේ පොහොට්ටුවේ 69 ලක්ෂය බෙදාගන්න.

“ඉතිහාසයේ වැඩියෙන්ම වැරදි කරපු මේ රටේ අනාගතයට හානි කරපු ඒ අයගේ ඔඩොක්කුවට වැටෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා. මේ රටට වැඩක් කරන්න පුළුවන් ශක්තිය අදටත් තියෙන්නේ පොහොට්ටුවට විතරයි.

බලය තියෙන්නේ අපේ ළඟ : - පොහොට්ටුවේ 69 ලක්‍ෂය කයිවාරුකාරයන්ගේ ඔඩොක්කුවට වැටෙන්නේ නෑ

“එළැඹෙන ජනාධිපතිවරණයේදී ජය ගන්නේ පොහොට්ටුව සහය දෙන අපේක්‍ෂකයා විතරයි කියලා ඔබලා ගමට ගිහින් කියන්න.

අපි හම්බන්තොට වරාය හදන කොට සමහර අය කිව්වා කළුගල් මේකේ තියෙනවා කියලා. තව අධිවේගී මාර්ග, කොළඹ පෝට් සිටි හදන කොට එක එක මඩ ගැහුවා. උමාඔය ව්‍යාපෘතිය කරන කොටත් එක එක දේවල් කිව්වා. අද උමා ඔය නිසා විදුලිය විතරක් නොවෙයි කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන් දහස් ගණනකට ජලය ලැබෙනවා.

මේ රටේ පිරිස් අරගලකරනකොට අරගලයෙන් වැටුණු රට හදන්න කියලා සජිත් ප්‍රේමදාසට කිව්වා. නමුත් එය භාරගන්න බැහැ කියලා එයා මඟහැරියා. තව අනුර කුමාර දිසානායකට ආරාධනා කලා ඔහුත් මගහැරියා.

සැබෑ ජනමතය තියෙන්නේ පාදුජන පෙරමුණ වටේ. දේශපාලන මතවාදය කුමක් වුවත් අපි හැම වෙලාවෙම ඉන්නේ රටේ ජනතාවත් එක්කයි.

වැඩබිමේ, ගොවිබිමේ, දහදිය වගුරුවන කම්කරු ජනතාව වෙනුවෙන් අපි කැපවෙනවා. වැටුණු රට යථා තත්ත්වයට ගේන්න මේ රට දිනවන්න බලය අදටත් තියෙන්නේ පොදුජන පෙරමුණට පමණයි.

බලය තියෙන්නේ අපේ ළඟ : - පොහොට්ටුවේ 69 ලක්‍ෂය කයිවාරුකාරයන්ගේ ඔඩොක්කුවට වැටෙන්නේ නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා :

වසර 2500ක උරුමයත් අපේ ජාතියට තිබෙනවා. අපගේ පක්‍ෂය එම උරුමය ආරක්ෂා කරනවා. එම කාලය තුළ අපේ ජාතියට විවිධ සතුරු කරදර එල්ල වූවා. චෝල, පාණ්ඩ්‍ය, කේරළ යන ආක්‍රමණිකයන් අපේ රට ආක්‍රමණය කළා. ඉන් පසුව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන බටහිර ජාතීන් අපේ රට ආක්‍රමණය කළා. නමුත් අපේ මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා අපගේ නිදහස ආරක්ෂා කළා. ඉන්පසුව අපි 30 වසරක ශාපලත් යුද්ධයකට මුහුණ දුන්නා. අපේ පක්‍ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයා වෙලා යළිත් අපේ මව්බිම බේරලා දුන්නා. 1971 සහ 1989 දීත් මේ රට විනාශ කරන්න හැදුවා.

මේ රට විනාශ කරන්න බලාගෙන ඉන්න එකතුවෙලා 2022 දීත් එම විනාශය කරන්න සුදානම් වූවා. නමුත් එම විනාශයෙනුත් අපේ රට බේරුණා. නමුත් එම බලවේග වල කූට ප්‍රාප්තිය 2015 දී අප දුටුවා. රට බේරාගත් නායකයන් හොරු මංකොල්ලකාරයන් කියලා මේ රටේ ආර්ථිකයත්, දේශපාලනයක් විනාශ කළා. එදා අපේ රටේ ජනතාව එකතු වෙලා අලුත් පක්‍ෂයක් නිර්මාණය කළා. එම පක්‍ෂධ්‍ය නිර්මාණය කළේ ඒකීයභාවය, 2500 වසරක උරුමය, අපේකම, ජාතික ආරක්ෂාව ආරක්ෂාකිරීම සඳහා මේ පක්‍ෂය නිර්මාණය කළේ. මහින්ද රාජපක්ෂ මහතාගේ සේවයෙන් හා බැසිල් රාජපක්ෂ මහතාගේ නිර්මාණශීලිත්වයෙන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා :

ගෝඨාභය රාජපක්ෂ මහතා බලය අත්හැරලා ගිය පසු සමහරුන් සිතුවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉවරයි කියලා. නමුත් අද මෙම මැයි රැලිය පෙන්වා දී තිබෙනවා මේ වනවිට තිබෙන ශක්තිමත්ම පක්‍ෂ්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා. අපි කතා කළෙ පොදුජනතාව වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ මහතා කම්කරුවන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරලා තිබෙනවා. කොටි සංවිධානය විසින් පුපුරුවා හැරිය බෝම්බවලින් මිය ගියෙත් වැඩකරන ජනතාව. මහින්ද රාජපක්ෂ මහතා තමයි එම බෝම්බවලිනුත් වැඩකරන ජනතාව බේරගත්තේ. අද මේ පක්‍ෂයේ ජාතික සංවිධායක මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා.

විදුලි බල බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා :

අඛණ්ඩව පවත්වාගෙන ආපු මැයි දිනය අපට වසරක් පවත්වන්න බැරිවුණා. කොවිඩ් වසංගතය නිසාත් මැයි දිනය සමරන්න බැරි වුණා. වසර දෙකකට පෙර මේ රටේ ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් තිබුණා. එම තත්ත්වය යොදා ගනිමින් අපේ ආණ්ඩුව පෙරලන්න සූදානම් වූවා. ඇත්තටම 2022 දී මේ රටේ ඇති වුණ අර්බුදය ඇති වූයේ 2015දි. නමුත් අද බොහෝ දෙනකුට එය අමතකයි. ඒ වගේම සමහරුන් 2022 දී ඇතිවූ අර්බුදය ලඝු කළේ 2019දී බලයට ආපු අපේ ආණ්ඩුවට. මහින්ද රාජපක්ෂ මහතා බලයට එනකොට මේ රටේ විදුලිය තිබුණේ 40%කට 45%කට පමණයි. සෑම නිවසකටම විදුලිය දෙන්න ඕන කියලා කිව්වේ මහින්ද මහත්තයා තමයි. නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු අවසන් කිරීමට හැකි වූවා. 2010 සිට 2014 දක්වා කාලය තුළ මීලඟ වසර 10 ය සඳහා විදුලිය උත්පාදනය කිරීමට සැලසුම් කළා. ඌමා ඔය ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කළා. නමුත් 2015 දී බල පෙරළියත් සමග එම කටයුතු නතර වුණා.

පසුගිය කාලයේ මේ රට් විනාශ කළ සංවිධාන දෙකක් තිබුණා. එකක් තමයි එල්ටීටීඊ සංවිධානය. අනික ජනතා විමුක්ති පෙරමුණ. රාජ්‍ය සම්පත් මේ සංවිධාන දෙකම විනාශ කළා. විදුලි බල මණ්ඩලයට ජනතා විමුක්ති පෙරමුණ තරම් කවුරුත් හානි කළේ නැහැ. ඔවුන් ට්‍රාන්ස්ෆෝමර් විනාශ කළා. ලයිට් එකක් දැමූ අයත් මැරුවා. ඒ වගේම විදුලි බලාගාර ඉදිකිරීමට ඉඩනොදී සිටියා. සාම්පුර් බලාගාරය ඉදිකිරීමට ඉඩ දුන්නේ නැහැ. එම නිසා වසරක පාඩුව කෝටි 3200ක්. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ මාර බඩු ටිකක්. පෝට්සිටිය හදන්න සීගිරියත් කඩන්න වෙනවා කිව්වා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා :

පසුගිය කාලයේ දී කුමන්ත්‍රණයකින් අපගේ ආණ්ඩුව වැට්ටීමට කටයුතු කළා. ඔවුන් සිතුවා අපි රට දාලා ආණ්ඩුව දාලා යාවි කියලා. නමුත් අපි පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළා. අප අද කටයුතු කරන සමහර බලවේගවල ප්‍රතිප්ති අපගේ ප්‍රතිපත්ති සමග පෑහෙන්න පුළුවන්. නමුත් අපි යම් කැපවීමක් කරලා රට වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළා.

2005 දී මහින්ද රාජපක්ෂ මහතා මේ රට බාරගන්න කොට යුද බිමක්. එම යුද්ධය අවසන් කරලා මේ රට වැඩබිමක් කිරීමට කටයුතු කළා. 7%කට තිබුණ ආර්ථික සංවර්ධන වේගය පසුපසට ඇදගෙන ගියා. මේ රටේ ඒකීයභාවය අපි ආරක්ෂා කළ යුතුයි. මේ රටේ නිෂ්පාදනය කරන්න පුලුවන් වවන්න පුලුවන් සෑම දෙයක්ම කළ යුතුයි. නමුත් පිටරටින් ගෙනත් දෙන්න හරි ලේසියි. අපි බලශක්තියෙන් ශක්තිමත් වුවොත් පමණයි මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට පුළුවන්. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී සැලසුම් කළ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ දී බලශක්ති අර්බුදයත් ඇති වන්නේ නැහැ.

අග්‍රාමාත්‍ය මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා :

වැඩකරන ජනතාව ආර්ථිකය තුළ විශාල වැඩ කොටසක් ඉෂ්ඨ කරනවා. ඔබ තමයි එය කරන්නේ. අලුත් දේ නිෂ්පාදනය කරන්නේ. ආර්ථිකය නවීකරණය කරන්නේ.

මේ ශත වර්ෂ්‍ය ආසියාවේ අපි අලුතින් නැගිටලා අනාගත වැඩපිළිවෙළ නිර්මාණය කිරීමට කටයුතු කරමු. වෘත්තිය සමිති ව්‍යාපාරයට විරුද්ධව නැගූ හඬ අපි අනුමත කරන්නේ නැහැ.

අපේ රටේ ගොවි ජනතාව නොසිටින්න මුළු රටම බඩගින්නේ. අතිරික්තයක් නිෂ්පාදනය කළ හැකි ගොවි ජනතාවක් අපට සිටිනවා. ගොවි, කම්කරු ජනතාව ශක්තිමත්ව සංවිධානය කරලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට අපි කටයුතු කරනවා.

එරික් ගාමිණි ජිනප්‍රිය, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment