බලවතුන්ගේ ගැටුම්වලින් අපේ ඉන්දියානු අප්‍රිකානු වෙළෙඳපොළට බාධා ඇති වෙන්න දෙන්න බැහැ

63

හාවඩ් සරසවියේ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි

මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට විවෘත වන ඉන්දියානු වෙළෙඳ පොළ ප්‍රවේශය හෝ අප්‍රිකානු වෙළෙඳ පොළ විවෘත වීමට බාධා ඇති විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඕස්ටේ්‍රලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතර මෑතකදී පිහිටුවන ලද ”‍්මනමි”‍ ගිවිසුම, චීනය සහ ක්වාඩ් අතර තරගය වඩාත් තීව්‍රර කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට පසුගිය (24)දා සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් ඉදිරි දර්ශනයට ශ්‍රී ලංකාව එකඟවන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දු පැසිෆික් කලාපය එකිනෙකට වෙනස් සාගර දෙකකින් සමන්විත වන බවත් ඉන්දියන් සාගරයේ නාවික යාත්‍රා කිරීමේ නිදහස සහ මුහුද යට කේබල්වල ආරක්ෂාව සඳහා අපේ රට කැපවී සිටින බවත් එබැවින් ආසියා පැසිෆික් කලාපයේ විශේෂයෙන්ම තායිවානයේ ප්‍රශ්න ඉන්දියන් සාගරයට කාන්දු නොවීමට වගබලා ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතයට අත්‍යාවශ්‍ය බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක්

සපුරාගනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

රජයේ 25 වසරක නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ එම ඉලක්කය කරා රට ඔසවා තබනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බවද පැවසීය.

යටත් විජිත පාලනයෙන් නිදහස ලබා වසර 100ක් සපිරෙන 2048 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වනු ඇති බවත්, එම සියල්ල රඳා පවතින්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වූ කැපවීම මත බවත් වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී කලාපය තුළ අපගේ උපායමාර්ගික පිහිටීම භාවිතයට ගත යුතු බව ද සඳහන් කළේය. ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති, විවෘත ආර්ථිකයක් සහිත කුඩා රටක් වූ අප සෑම විටම සිය දේශපාලන ස්වාධීනත්වය පවත්වා ගෙන යන අතර, සමීපතම අසල්වැසියා සහ දීර්ඝතම සබඳතා ඇති රට වන ඉන්දියාව කලාපයේ ආරක්ෂකයා ලෙස සලකන බවද පැවසීය.

පැරණි ආර්ථිකයේ අළු මතින් නැඟී එන ආසියානු කලාපයේ සහ ඉන්දියානු සංවර්ධනය සමඟ අත්වැල් බැඳගනිමින් නව ආර්ථිකයක් ගොඩ නැගීමේ කාර්යභාරය ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම ආර්ථික සහයෝගීතා සහ තාක්ෂණික ගිවිසුමක් දක්වා වැඩිදියුණු කරගත යුතු අතර, ආසියාවේ විශාලතම වෙළඳ කණ්ඩායම වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය සමඟ ගිවිසුමකට එළැඹීමට කැමැත්තෙන් සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා එමඟින් ලෝකයේ විශාලතම වෙළඳ කණ්ඩායම සමග ඉදිරියට යාමට අවස්ථාව සැලසෙන බවද කියා සිටියේය.

ඉදිරි වසර 25 තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස අදහස් දැක්වු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලු‍වට විසඳුම් සෙවීම සඳහා සියලු‍ම ජන කොටස් වෙත සමාන අවස්ථා සහ සම්පත් ලබාදීය යුතු බවත් අන්තර් වාර්ගික සාකච්ඡා, අන්‍යෝන්‍ය අවබෝධය සහ ජන කොටස් අතර විවිධත්වය සැමරීම තුළින් ජාතික සමගිය ප්‍රවර්ධනය කළ හැකි බවද අවධාරණය කළේය.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, සාමකාමී විරෝධතාවයේ අයිතිවාසිකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට සහ නියමිත ක්‍රියාවලියකින් තොරව රඳවාගෙන සිටින අය නිදහස් කිරීමට ඔබ ගන්නා ස්ථිර පියවර මොනවාද?

පිළිතුර

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය හැමෝටම තිබෙනවා. සාමකාමී උද්ඝෝෂණ කියා සිදුවෙන්නේ ප්‍රචණ්ඩත්වයයි නම් එතැන ගැටලු‍වක් තිබෙනවා. ඉතින් ඔවුන් පැමිණ රජය සහ පොලිසිය සමඟ ගැටී ඔවුන් කිසිසේත් සාමකාමී නොවන්නේ නම් ඔබට කුමක් කළ හැකිද? මට ඔබට පැවසිය හැකි වූයේ එපමණයි. රැඳවුම් භාරයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් හැර අනික් අය නිදහස් කර තිබෙනවා.

රැඳවුම් කාලය දීර්ඝ කිරීමට මාස තුනක කාලය අවසන් වීමට පෙර, රටේ දේවල් සාමකාමී බැවින් ඔවුන් නිදහස් කළා. අනිවාර්යයෙන්ම මම ජනාධිපති වශයෙන් රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment