බලවේගය අවසන්ද?

1991

ආණ්ඩු විරෝධී අරගලකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටු කඩාගෙන දොරෙන් ඇතුළුවීමට විනාඩි 8 ට පෙර එනම් මේ මාසයේ ජූලි 9 දා රාත්‍රී 8 ට ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයෙන් පැන ගත්තේය. මෙය ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණය පතා අප්‍රමාණ මෙහෙවරක් කළ මිනිසකු වූ ඔහු වැන්නකු යා යුතු ක්‍රමය නොවේ. එහෙත් ඔහු අරගලකරුවන්ට හසුවුණේ නම් ලිබියාවේ ගඩාෆිට වූ දේ පුනරුච්ඡාරණය වීමේ අවදානමක් තිබූ බැවින් ආරක්ෂක අංශවල බලකිරීම වූයේ ඔහු බලය අත්හැර දමා පලා යා යුතු බවය. ගෝඨාභය ජනාධිපති මන්දිරයෙන් නික්ම යෑමෙන් ස්වල්ප වෙලාවකට පසු ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ඉතිහාසගත ප්‍රකාශයක් කළහ. උන්වහන්සේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බෞද්ධ බලවේගය නිමාවට පත්ව ඇති බවය. මේ ප්‍රකාශය අන්තර්ජාලය පුරා පැතිර යන ලදුව මහත් සේ සංවාදයට තුඩු දුන්නේය. ඕමල්පේ සෝභිත හාමුදුරුවන් යනු මේ රටේ නූතන දේශපාලනික භික්ෂු පරම්පරාවේ ප්‍රමුඛයෙකි. උන්වහන්සේ කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කර ඇත. ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු අනුරාධපුර රුවන්මැලි මහා සෑය ඉදිරියේ දිවුරුම් දෙන අවස්ථාවේදී කියා සිටියේ තමන් සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් බලයට පැමිණි බවය. එනම් ඔහු බලයට පත්කර තිබුණේ සිංහල බෞද්ධ බලවේගය විසිනි. ඔහුගේ අර්ථ නිරූපණයට අනුව මේ රටේ කතෝලික, ඉස්ලාම් හෝ හින්දු ඡන්ද ඔහුට ලැබී නැත.

ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීම සඳහා ආරම්භ කරන ලද ජන අරගලයද කිසිදු ආගමික හෝ ජාතික ස්වරූපයක් එළිපිට නොපෙන්වූවකි. මෙය බැලූ බැල්මට නිර්පාක්ෂික විය. එබැවින් මෙය හඳුන්වන ලද්දේ නිර්පාක්ෂික, නිරාගමික තරුණ අරගලයක් ලෙසය. එහෙත් මේ අරගලයේ Anatomy ය හෙවත් ව්‍යච්ඡේදනය දෙස බැලීමේදී පහත සඳහන් කරුණු හෙළිවිය. එනම් අරගලයට දේශපාලන සංයුතියක් තිබිණ. එය අධිකාරිවාදයට විරුද්ධ වාමවාදී ජ වි පෙ සහ පෙරටුගාමී අදහස් දැරූ ප්‍රගතිශීලී නූතන තරුණ පරම්පරාවකින් සමන්විත බවය. එසේම කතෝලික ප්‍රජාවද ඉස්ලාමීය ප්‍රජාවද නිරාගමික (Atheist) ප්‍රජාවද මේ ජන සංයුතිය තුළ වැඩි බලයක් හිමිකරගෙන සිටියහ. එයින් හැඟී යන්නේ මේ අරගලය එහි මුල සිටම සිංහල බෞද්ධ බලවේගයෙන් ඉවත් වී සිටි බවය. මෙයට තවත් අර්ථ නිරූපණයක් දිය හැකිය. එනම් ගෝඨාභය පලවා හැරීම සඳහා සිංහල බෞද්ධ බලවේගය සම්බන්ධ වී නැත. මේ සියලු කරුණු පසෙකලා බැලුවද මේ අරගලය සතුව වැදගත් ලකුණක් විය. ඒ වූකලී රට හෙවත් භූමිය යන සංකල්පයයි. හැම අරගලකරුවෙක් අතේම සිංහ කොඩියක් තිබිණ. ඉහතින් සඳහන් වන්නේ ඉකුත් බ්‍රහස්පතින්දා පහර දී කුඩුපට්ටම් කරන ලද අරගලයේ වෝහාරික විගණනයකි. ඒ අතර ඕමල්පේ සෝභිත භික්ෂුන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශය අදටත් සංවාදයට විවෘතය.

මේ අතර මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වූ අවස්ථාවේදී අරගලකරුවන් වහාම ප්‍රකාශයක් කරමින් රනිල් පන්නන අරගලය පටන් ගත් බවත් මාසයකින් රනිල් පන්නා දමන බවත් කියා ඇත. අරගලකරුවන්ගේ අදහසට අනුව ජනාධිපති වීම සඳහා රනිල්ට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 134 දෙනා ගැන ජනතාව බලා ගන්නවා ඇත. රනිල්ට ඡන්දය දී ගමට නොයන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කෙරෙන ෆේස්බුක් කැම්පේන් එකක්ද පසුගිය කාලයේදී දැකගත හැකි විය. මේවාට පිළිතුරු දීම සඳහා අරගලය සම්බන්ධයෙන් ක්‍රමෝපායීය පියවරක් ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව පෙනේ. මෙහි පළවෙනි පියවර ලෙස ගෝල්ෆේස් පිට්ටනියේ පිහිටි බණ්ඩාරනායක ප්‍රතිමාවට මීටර් 50 ට වඩා ළංවිම තහනම් කරමින් උසාවි නියෝගයක් ගෙන තිබේ. ඊට අමතරව ඇඹිලිපිටියේ පිහිටුවා තිබූ ගෝඨා ගෝ ගම ශාඛාවටද හදිසි ප්‍රහාරයක් එල්ල විය. ඊටත් අමතරව තවමත් අරගලකරුවන්ගේ භාරයේ තිබෙන ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගැනීම සඳහා ආණ්ඩුව ක්‍ෂණික ප්‍රහාරයක් දියත් කරන ලදී. අරගලකරුවන් ඉදිරිපිටදී ගෝඨාභය රාජපක්ෂ ඇඹරුණු ඇඹරිල්ල රනිල් වික්‍රමසිංහ ඇඹරෙන්නේ නැති බව මෙයින් පැහැදිලි වෙමින් පවතී. රනිල්ට ඡන්දේ දීලා ගමට එන්න එපා යැයි ෆේස්බුක් කැම්පේන් එක කළ අයද දැනට අඳුනාගෙන තිබේ. අගමැති කාර්යාලය අල්ලාගත් අයට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති වික්‍රමසිංහ සූදානම්ය. මෙය බරපතළ තත්ත්වයකි. අරගලකරුවන් කොපමණ ගේම ඉල්ලුවත් ගෝඨාභය ගේම දුන්නේ නැත. එහෙත් අරගලකරුවන් ගේම ඉල්ලන්නට හිතන විටදීම ජනාධිපති වික්‍රමසිංහ ගේම දීමට පටන්ගෙන තිබේ. මෙය රටට සාමය අත්‍යවශ්‍ය මොහොතකි. සතුරු පාර්ශ්ව අතර දිගින් දිගටම එදිරිවාදී තත්ත්වයක් පැවතුණොත් කොතරම් තෙල් ආවත් කොතරම් ගෑස් ආවත් හාල් සහ සීනි නොමිලේම බෙදන මට්ටමක් ආවත් වැඩක් නැත. වික්‍රමසිංහ ආණ්ඩුව කවරාකාරයෙන් මේ ගමන යන්නේද යන්න අධ්‍යයනය කරමින් සාමකාමී වීමේ වගකීම අරගලකරුවන්ට තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම තමන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් රට වෙනුවෙන් දිවි පිදීමට තමා සූදානම් බවත් ශ්‍රී ලංකාවේ නිළි රැජින වූ දමිතා අබේරත්න මැතිනිය දැනටමත් පවසා තිබේ. යම් හෙයකින් ඇය මිය ගියොත් ලෝක ප්‍රජාව සම්පූර්ණයෙන්ම අප කොන් කරනවා ඇත. එවිට සිදුවන්නේ සිංහල බෞද්ධ බලවේගය නිමාවට පත්වුණාටත් වඩා භයානක කෙළියකි. රට මෙතැනට යා යුතු නැත.

advertistmentadvertistment
advertistmentadvertistment