බලාගෙනයි, අත පිච්චෙයි!

817

ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඩිංගිත්තක් ඉහළ ගොස් ඇති බව දැනගන්නට තිබේ. එම ඉහළයෑම අපට දැනුනද නොදැනුනා සේ සිටීමට රජය ක්‍රියාකර ඇතිබව පෙනේ. එයට හේතුව ජනතාවට දැනෙන පරිදි තෙල් මිලේ සැලකිය යුතු අඩු කිරීමක් කිරීමට රජය ඊයේ පියවර ගැනීමයි. ඒ අස්සේ ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ වර්ජනයක් ආරම්භවීම නිසා සිපෙට්කෝ ඉන්ධන අලෙවිහල්වල නැවත වතාවක් තෙල් පෝලිම් සෑදී ඇත. මේ තෙල් පෝලිම් over flow වීම හෙවත් පිටාර ගැලීම සිදු වූ සැණින් IOC‍ ෂෙඩ්වල ද තෙල් පෝලිම් හැදෙන්නට පටන්ගනී. ඛනිජ තෙල් සේවකයන් වැඩවර්ජනයකට එළඹී ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලිකකරණයට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවට එරෙහිවීම සඳහාය.

ශ්‍රී ලංකාව තුළ ආණ්ඩුවට අයිති බිස්නස් 400 ක් ඇත. එයින් බිස්නස් තුන හතරකට වඩා කිසිදු ලාභයක් නොලබන අතර ඒවා වසා දමන්නේ ද නැත. ඒ වෙනුවට හැම මාසයක් අන්තිමට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන එම පාඩු ලබන ආයතනවල සේවකයන්ට පඩි ගෙවනු ලැබේ. ඛනිජ තෙල් සංස්ථාව ද මේ ආකාරයෙන් පාඩු ලබන ආයතනයකි. රට පුරා තිබෙන ආණ්ඩුවේ බැංකුවලට මේ සංස්ථාව රුපියල් බිලියන ගණනින් ණය ය. ඉදිරියේදී එම මුදල රුපියල් ටි්‍රලියනය ඉක්මවීමට ඉඩ තිබේ. මේ නිසා ඛනිජ තෙල් සංස්ථාව සතු පෙට්‍රල් ෂෙඩ් 450 ක් පුද්ගලික අංශයට විකිණීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. දැනට IOC සමාගම සතුව තිබෙන පෙට්‍රල් ෂෙඩ් 100 ට වැඩි සංඛ්‍යාව ද මීට කලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් දේපළ ය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපතිව සිටි කාලයේදී එම පෙට්‍රල් ෂෙඩ් තොගය ඉන්දියන් ඔයිල් සමාගමට පවරන ලදි. මේ වනවිට ඛනිජ තෙල් සමාගම කෝටි ප්‍රකෝටි ගණනින් පාඩු ලැබුවද ඉන්දියන් ඔයිල් සමාගම පාඩු ලබන්නේ නැත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පෙට්‍රල් ෂෙඩ් මිලට ගැනීම සඳහා මේ වනවිට පිටරට සමාගම් තුනක් කැමැත්ත පළකර තිබේ. අපගේ වැටහීමට අනුව ආණ්ඩුවක් බිස්නස් කළ යුතු නැත. ආණ්ඩුවක් විසින් කරනු ලැබිය යුත්තේ බිස්නස්කාරයන්ට බිස්නස් කරන්නට ඉඩදී ඔවුන්ගෙන් බදු අයකර රට පවත්වාගෙන යෑමය. රාජ්‍ය අංශයට අයත් විය යුත්තේ රටේ ආරක්ෂාව සහ රේගුව පමණි. මන්ද යත් රේගුව වැනි ආයතනයක් පුද්ගලික අංශයට ලබා දුන්නොත් එය වඩාත් ලොකුවට හොර ගුහාවක්ද කුඩු විමානයක් ද බවට පත්වනවා ඇත. දියුණු රටවල් කිසිවක් බිස්නස් කිරීම රාජ්‍ය අංශය සතුව තබාගන්නේ නැත. මේ වනවිට එංගලන්තය සතුව ඇති ලොකුම බිස්නස් එක විය හැක්කේ රාජකීය තැපල් සේවය පමණි. එය රාජකීය නිසාත් බි්‍රතාන්‍යයේ මහ රජ්ජුරුවන්ගේ අණ පනත්වලට යටත් නිසාත් විකිණීමට නොහැක. රාජකීය තැපැල් සේවය විකුණනවා නම් බකිංහැම් මාළිගාව ද විකිණීමට පුළුවන. අපට සිදු වූ ලොකුම අපරාධය වන්නේ පුද්ගලික අංශය කළ යුතු බිස්නස් ආණ්ඩුව සියතට ගැනීමය. ඉහත සඳහන් ඡේදයට සම්බන්ධ උදාහරණ රැසක් තිබේ. ඉන් පළමුවැන්න නම් කඩදාසි සංස්ථාවය. මේ සංස්ථාව සතු අති විශාල කම්හලක් නැඟෙනහිර පළාතේ වාලච්චේනායි ගමේ තිබේ. මෙය ලැබුණේ රුසියාවෙන් තෑග්ගක් ලෙසය. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී සෝවියට් දේශය තමන් සතු කඩදාසි කම්හල් සිය ගණනකින් කිහිපයක් ගලවා ඒ වෙනුවට අලුත් කම්හල් ඉදි කළේය. මෙසේ ගලවන ලද පරණ ලදරම් කඩදාසි කම්හලක් රුසියාව අපට තෑගි කළේය. මෙය සමාන වන්නේ අත් බෝම්බයක පින් එක ඇද එය කිසියම් කෙනකුට තෑගි දීමටත් තෑග්ග ලැබූ පුද්ගලයා එම අත්බෝම්බය තම කලිසම් සාක්කුවේ දමා ගැනීමටත්ය. මෙම බෝම්බය පිපිරූ විට ඊට ආසන්නයේ තිබෙන සියලු ශාරීරික දේපල කුඩු පට්ටම් වී ඒවායේ අයිතිකරු ද සමග අහසට විසිවීම සිදුවෙයි. අපට කඩදාසි කම්හල තෑගි ලැබුණාට කඩදාසි හැදීමට අවශ්‍ය ලී පල්ප් අපේ රටේ නැත. ඒ නිසා කඩදාසි සෑදීමට නම් අප එම පල්ප් පිටරටින් ගෙන්විය යුතුය. සාමාන්‍යයෙන් කඩදාසි කම්හල් සාදනු ලබන්නේ ඒ සඳහා අවශ්‍ය ලී පල්ප් ලබා ගැනීමට තරම් දැවැන්ත වනාන්තර තිබෙන රටවල ය. මේ නිසා නැඟෙනහිර කඩදාසි කම්හල අසාර්ථක විය. ලංකාවේ කජු සංස්ථාවක් තිබේ. ආණ්ඩුවට අයිති කජු වතු අක්කර සුවිශාල ප්‍රමාණයක් මෙකී කජු සංස්ථාවට අනුබද්ධව පවතී. එම කජු කඩන්නේ සංස්ථාවේ අය නොව ගමේ කට්ටිය ය. සංස්ථාව කරන්නේ කජු ගස්වලට පොහොර වතුර දමා කජු ගෙඩි සෑදී ගමේ මිනිස්සු ඒවා කඩාගෙන යනතුරු රැක බලා ගැනීමය. මෙහි අවසන් ප්‍රතිපලය වශයෙන් අද වියළි කජු කිලෝවක මිල රුපියල් 8000 ත් 10000 ත් අතර ඉහළ ගොස් තිබේ. රාජ්‍ය අංශයේ තිබෙන හැම බිස්නස් එකක්ම දූෂණ ගුහාවකි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිටින්නෝ OT පප්පලාය; බෝනස් කපුටෝය. ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලිකකරණය කළොත් මාරාන්තික උපවාසයක් කරන බව එහි වෘත්තීය සමිති කීහ. එහෙත් ඒ වෙනුවෙන් මැරෙන්නට කට්ටිය සූදානම් නැති බැවින් එම උපවාසය සත්‍යග්‍රහයකට පත්වී තිබේ. මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ වර්ජනයෙහි නියුතු අය අනිවාර්ය නිවාඩු ගැන්වීමටත් ආණ්ඩුවේ යුද හමුදාව ලවා ඛනිජ තෙල් බෙදා හැරීමටත් වැඩ කටයුතු යොදාගෙන යනු ලැබේ. මේ නිසා වර්ජනය අඩපණ වූ අතර සේවකයන් එකා දෙන්නා ක්‍රමයෙන් නැවතත් සේවයට වාර්තා කරන්නට පටන්ගෙන ඇත. මේ ආකාරයේ සේවකයන්ට වෘත්තීය සමිති භාෂාවෙන් කියන්නේ හොරිකඩයන් කියාය. කිසියම් තැනක වැඩවර්ජනයක් කරන විට එම වර්ජකයන් වෙනුවට යුද හමුදාව යෙදවූ කල්හි එම වර්ජනය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙයි. රට වැටී තිබෙන මේ වෙලාවේදී ජනතාවට හිරිහැර වන වැඩ වර්ජන කරන පුද්ගලයන් අඹේවෙල හරක් පට්ටිවල ගොනුන් ලෙස සේවයට යෙදවිය හැකි නම් එය ඉතා හොඳ තත්ත්වයක් වේ. එහෙත් එම පිරිස හරකුන් අතර වෘත්තීය සමිතියක් හදා කිරි වරණ ලෙස වැස්සියන්ට බල කළොත් එතැනින් හටගන්නා ගැටලුව විසඳීම ලෙහෙසි වන්නේ නැත.

මේ ආණ්ඩුව මාස අටකට පමණ පෙර බලයට පත්විය. පසුගිය කාලය තුළ තෙල් හා ගෑස් පෝලිම් නැති කිරීමටත් රටේ එදිනෙදා යාන්ත්‍රණය යථා තත්ත්වයට පත්කිරීමටත් ආණ්ඩුවට හැකි විය. එබැවින් අප ජනතාවගෙන් ඉල්ලන්නේ රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට තවත් කලක් ලබාදී වැඩ වර්ජනවලින් වැළකෙන ලෙසය. අනෙක 80 ජූලි වර්ජනයෙන් පසු මේ රටේ වැඩ වර්ජන සියල්ල අසාර්ථක විය. ජේ. ආර්. ජයවර්ධන ජූලි වැඩ වර්ජනය කඩාකප්පල් කළ මොඩ්ල් එක ඉතා භයානක එහෙත් කාර්යක්ෂම මොඩ්ල් එකකි. මේ මොඩ්ල් එක නැවත ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේණිගත අයිතිය ආණ්ඩුවට තිබෙන බව පමණක් අප මතක තබාගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment