බලු පැටවුන් මෝටර් රියට යටකළ කතට ඇප

503

මෝටර් රථයකට සුනඛ පැටවුන් දෙදෙනකු යටකර ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකාරියක් පෙරේදා (20දා) අත්අඩංගුවට ගත් බව මතුරට පොලිසිය පවසයි.

මාර්ගයක සිටි සුනඛ පැටවුන් දෙදෙනකු හිතාමතා මෝටර් රථයකට යටකර ඝාතනය කිරීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීම පිළිබඳ මතුරට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේදී පසුගිය 17දා සවස් කාලයේ පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ කඳුරකඩේ ප්‍රදේශයේදී මෝටර් රථයක ඉදිරිපස හා පිටුපස රෝදවලට මාස 2ක් පමණ වයසැති සුනඛ පැටවුන් දෙදෙනකු යටවන ආකාරය අසල නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇත. මියගිය සුනඛ පැටවුන් දෙදෙනා පුද්ගලයකු විසින් මාර්ගයට ගෙනැවිත් දමා ඇති බවත්, දින කීපයක් ඒ අවට සිටි බවටත් ඒ අසල සිටි වැඩිහිටි සුනඛයා අසල්වැසි නිවසක පිරිමි සුනඛයකු බවත් එම සුනඛයා සුනඛ පැටවුන්ට ලෙන්ගතුව සිට ඇති බවටත් අනාවරණය වී තිබේ.

මෙම සුනඛ පැටවුන් යටකළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයේදී එම මෝටර් රථයේ හිමිකරු මතුරට ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, සුනඛයන් යටකරන අවස්ථාවේ එහි රියැදුරු ලෙස මෝටර් රථයේ හිමිකරුගේ වැඩිමල් සහෝදරයාගේ බිරිඳ සිට ඇති බවත් හෙළිවූ බව පොලිසිය පවසයි.

මෝටර් රථය පැදවූ කාන්තාව පදියපැලැල්ල ප්‍රදේශයට ගොස් නැවත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ සිය නිවසට යන අතරතුර මෙම අනතුර සිදුවී ඇත. මතුරට පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෝටර් රථයේ හිමිකරුට දැනුම්දීමෙන් පසු මෝටර් රථය පැදවූ 27 හැවිරිදි මතුරට, ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව, සැමියා සමග මතුරට පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර සත්ත්ව හිංසන පනතේ වගන්තියට අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දසදහසක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ. ඇය අධිකරණයේදී වරද පිළිගත් අතර තමා කළ වරද පිළිබඳව පසුතැවිලි වන බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment