බලෙන් ළමයින්ගෙන් වැඳුම් ගන්නා මාතර ගුරු ස්ත්‍රියගේ වැඩ තහනම් කරනු !

4620

මාතර පැත්තේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරියගේ අවිනීත හැසිරීමක් සහිත වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී. අන්තර්ජාලය යනු මාර කේස් එකකි. මෙයට අවුරුදු 15 කට පෙර ලංකාවේ අවල කෙළි ගැන දැනගත්තේ ලංකාවේ අයම පමණි. සමහරවිට ඒ අවල කෙළිය සිදුවූ පළාතේ උදවිය හැර අන් කිසිවෙක් ඒ ගැන දැනසිටියේ නැත. එහෙත් අන්තර්ජාලය රට පුරා ව්‍යාප්ත වීමෙන් පසු මේ රටේ සිදුවන කුණු සෙල්ලම්වලින් වැඩි හරියක් මුළු ලෝකයම දැනගන්නට පටන් ගත්තේය. ලෝකයේ සිදුවන කුණු සෙල්ලම්වලින් වැඩි හරියක් මේ රටේ ජනතාව දැනගන්නට පටන් ගත්තේය. මාතර ඉස්කෝලේ විදුහල්පති ස්ත්‍රියගේ නීච ක්‍රියා කලාපය ෆේස්බුක් මගින් ප්‍රචාරය වෙන්නට පටන්ගත් කල්හි මේ ගැන විවේචනයක් නොකරන්නේ මන්දැයි ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය යන රටවල් තුනක සිටින සිංහල පාඨකයෝ අපෙන් ප්‍රශ්න කළහ. ඔවුන්ට ගරු කිරීමක් වශයෙනුත් මේ ස්ත්‍රියට දඬුවම් පැමිණවීම සඳහා ආණ්ඩුව උනන්දු කිරීමේ අභිලාශයෙනුත් මේ කතුවැකිය ලිවීමට තීරණය කළෙමු.

මේ සිද්ධිය හටගන්නේ පසුගිය දිනවල පැවති අ.පො.ස. සා.පෙළ විභාගයට අනුයුක්තවය. විභාගය පැවැත්වෙන දිනක විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් විභාගයට පෙනී සිටීම සඳහා පාසලට ගෙනෙන ලදී. මෙවැනි දරුවන් විභාගය ලියා අවසන් වනතුරු එම දරුවන් අසල රැඳී සිටීමට ඔහුගේ හෝ ඇයගේ මවට පියාට හෝ නීත්‍යානුකූල භාරකරුවකුට පුළුවන. විශේෂ අවශ්‍යතා ඇති දරුවාට ඕනෑම වෙලාවක රෝග තත්ත්වය උත්සන්න වීමක් සිදුවිය හැකිය. මෙවැනි ඇතැම් ළමයින්ට මීමැස්මොරය වැළඳේ. වැඩිහිටියකුගේ මැදිහත්වීමකින් තොරව එම තත්ත්වය පාලනය කිරීමට විභාග ශාලාධිපතිට හෝ විභාග පරීක්ෂකවරුන්ට නුපුළුවන. දරුවා සමග රැඳී සිටීමට වැඩිහිටියකුට අවස්ථාව දෙන්නේ මේ නිසාය. අපේ කතාවට පාදක වන දරුවා ඔහුගේ මව සහ පියා විසින් අදාළ පාසල වෙත ගෙනෙන කල්හි ගේට්ටුව ළඟ සිටි විදුහල්පති ස්ත්‍රිය බැන වදින්නට පටන්ගත්තාය. මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන වීඩියෝවේ එන පරිදි විදුහල්පති ස්ත්‍රිය තමන් පසුකර විභාග ශාලාව දෙසට යන හැම ළමයකුටම කතාකර තමාට වඳින ලෙස අණ කරයි. ඕලෙවල් පන්තියේ සිටින ළමයා කර දඬු උස්වූ කෙනෙකි. ලෝකය ගැනත් ලෞකික ජීවිතය ගැනත් ඔවුන්ට අවබෝධයක් ඇත. මේ කාලයේ සිටින ඇතැම් ඕලෙවල් ළමයින්ට ලිංගික අත්දැකීම් පවා තිබේ. මේ නිසා විදුහල්පති ස්ත්‍රියකට වැඳිය යුතුද නැද්ද යන්න තීන්දු කිරීමට ඔවුන්ට පුළුවන. වීඩියෝවේ සඳහන් වූ පරිදි ඇතැම් ළමයකු විදුහල්පතිනිය දෙස නොබලා විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමේදී එම ළමයා ආපසු කැඳවන විදුහල්පති ස්ත්‍රිය තමාට වඳින ලෙස අණ කරයි. මෙය මතවාදී වශයෙන් හිඟන වැඩකි. කැමැත්තෙන් වැඳීමක් මිස බලෙන් වන්දවා ගැනීමක් නොමැත. වීඩියෝවේ සඳහන් වන ඊළඟ කාරණය නම් විදුහල්පති ස්ත්‍රිය විභාග ශාලාවට ඇතුල් වීමට තැත්කරන විශේෂ අවශ්‍යතා ඇති දරුවාට සහ දෙමාපියන්ට බැන වදින්නට පටන්ගැනීමය. දරුවා සමග ඇතුළට යෑමට වැඩිහිටියකුට ඉඩදිය නොහැකි බව ඇය කියයි. මෙය එක්තරා ආකාරයකින් විශේෂ අවශ්‍යතා සහිත සිසුවාගේ මූලික අයිතිවාසිකම් බිඳ දැමීමකි. අන්තිමේදී විභාග ශාලාධිපති ගේට්ටුව ළඟට පැමිණ විශේෂ අවශ්‍යතා ඇති දරුවාට භාරකාරයකු සමග විභාග ශාලාව තුළ රැඳී සිටීමේ අයිතිය ඇති බව විදුහල්පති ස්ත්‍රියට පෙන්වා දෙයි. එවිට ඇය ශාලාධිපතිටද තර්ජනය කරන්නට පටන්ගනී.

මේ රටේ රාජ්‍යය අංශය සිවිල් පුරවැසියාගේ ඇඟට කඩාපැනීම ඉතා බහුල ලෙස සිදුවෙයි. ආණ්ඩුවේ කන්තෝරුවකට ගිය විට පියුන්ගේ සිට ඉහළම නිලධාරියා දක්වා මිනිසුන්ගේ ඇඟට කඩා පනී. මේ පිළිබඳ හොඳම සාධකය අධ්‍යාපන අමාත්‍යාංශයමය. දරුවකු පාසලකට ඇතුළත් කරගැනීම සඳහා ගිය විට අධ්‍යාපන ඇමැති ඉතා පහත් ලෙස මිනිසුන්ගේ ඇඟට කඩා පනී. මූලග්ගිනිකාරයකු විය හැකි හෙතෙම (සමහරවිට ඔහුට මූලග්ගින්න නැතුවා වීමටද පුළුවන) මුලින් කරුණාවන්ත ලෙස කතාව පටන්ගෙන බුරා හැලෙන්නට පටන්ගනී. මෙබන්දක් අමාත්‍යාංශය තුළ සිදුවූ විට මිනිස්සු කට වසාගෙන ගෙවල් බලා යති. එහෙත් පාරක තොටක මෙවැන්නක් සිදුවුණොත් ඇමැතිතුමාට කලිසම ගලවා තබා යට ඇඳුම පිටින් ගෙදර යෑමට සිදුවනවා ඇත. මෙවැනි දේශපාලනඥයෝ දේශපාලනයට සුදුසු නොවෙති. මෙබඳු ස්ත්‍රීහු විදුහල්පති පදවිවලට සුදුසු නොවෙති. ඔවුන් සුදුසු වන්නේ කම්කරු ශ්‍රේණියේ රැකියාවලට පමණි. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය වහාම මැදිවී පෙර සඳහන් විදුහල්පති ස්ත්‍රියගේ වැඩ තහනම් කර ඇය පිළිබඳ නිසි පියවර ගත යුතුය. නැත්නම් එම ස්ත්‍රියට සිදුවන්නේද මහා පාරේදී ගුටි කා පටාචාරාව මෙන් උපන් ඇඳුමෙන් පාර පුරා දුවන්නට ය.

advertistmentadvertistment
advertistmentadvertistment