බස්නාහිර පුරන්කුඹුරු ගොඩකිරීමේ ජාවාරමක්

136

ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගේ සිට විවිධ තරාතිරම්වල පුද්ගලයන් බස්නාහිර පළාතේ පුරන් කුඹුරු ගොඩකිරීමේ ජාවාරමක නිරත වී සිටින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා දිවයිනට ඊයේ (06 දා) පැවසීය.

මහරගම, පිළියන්දල, ගම්පහ, කොළඹ, කළුතර ඇතුළු ප‍්‍රදේශ රැුසක මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුවන බවට නිරීක්‍ෂණය වුවත් එය වැළැක්වීමට ගොවිජන සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන්, ග‍්‍රාම නිලධාරීන් හෝ වෙනත් වගකිවයුතු පාර්ශ්ව මැදිහත් නොවන බව එම ප‍්‍රදේශවල සිදුකළ නිරීක්‍ෂණ චාරකාවලදී ගොවිජන එකමුතුවට දැකගන්න ලැබුණු බවද ඔහු කීය.

මහරගම ග‍්‍රාමසේවා වසමට අයත් 496 ඞී. කොට්ඨාව බටහිර උතුර ප‍්‍රදේශවල මහා පරිමාණයෙන් වගා නොකර තිබෙන වගුරුබිම් ගොඩ වගාවක් සිදු කිරීමට බව පවසා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් බලපත‍්‍රයක් ලබාගෙන ගොඩ කරන ඇතැම් ස්ථානවල ගොඩනැගිලි පවා ඉදිකරමින් තිබෙන බවත් ඒ මහතා පැවසීය.

මෙම ඉඩම් ගොඩකිරීම පසුපස හමුදා නිලධාරීන්ගේ සිට විවිධ තරාතිරම්වල පිරිස් සිටින අතර හිටපු ආණ්ඩුකාරවරියක්ද තම දියණියගේ නමට කුඹුරු ඉඩමක් ලබා ගෙන ඇති බවද හෙතෙම කීය. විවිධ පාර්ශ්ව වගුරු ඉඩම් ලබාගෙන ගොඩ කරමින් සිටින බවට තොරතුරු තමන් සතුව පවතින බවද තෙන්නකෝන් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද දැනුවත් කර දැනට පුරන්වී ඇති කුඹුරු නැවත අස්වැද්දීම සඳහා ගොවිජන එකමුතුව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත් එය ගමේ ගොවියන් සසම්බන්ධ කරගෙන ක‍්‍රියාවට නැංවීමට අදහස් කර ඇති බවත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment