බස්නාහිර මාර්ග සංවර්ධනයේ වාහන 6ක් අතුරුදන් – කෝපා කමිටුවේ දී හෙළිවෙයි

115

අනුමත සේවකයන්ට වඩා කොන්ත්‍රාත් පදනමෙන් 556ක් වැඩ

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වසර 20ක් පැරණි වාහන 6ක් අතුරුදන්ව ඇතැයි කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ.

එමෙන්ම 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ඉක්මවමින් දෛනික වැටුප් පදනම යටතේ සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයන් 556ක් සිටින බව ද එහිදී හෙළිවී තිබේ.

ඒ අනුව දෛනික වැටුප් පදනම යටතේ සේවකයන් 396ක් සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයන් 160ක් සිටින බව අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ 2018, 2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සංවර්ධනය පිළිබඳ පරීක්‍ෂා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙම කාරක සභාව සභාපතිත්වය දරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසිනි.

මේ අනුව (මහාචාර්ය) චරිත හේරත් මහතා සහ පැමිණි සිටි මන්ත්‍රීවරුන් පැවසුවේ පසුගිය කාලසීමාව තුළ විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් පැවැතිය ද වර්තමානයේ පවතින ඩොලර් අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් මත මාර්ග සංවර්ධන ව්‍යාපෘති අවම වී ඇති බවය.ි මේ නිසා මෙම සේවකයන් සියලු දෙනාම ස්ථිර පදනම මත සේවයට බඳවා ගතහොත් ඔවුන්ට වැටුප් ගෙවීමට සිදුවන්නේ මහා භාණ්ඩාගාරයේ මුදලින් බවයි. එබැවින් අත්‍යවශ්‍යම සේවකයන් පමණක් ස්ථිර කිරීම පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත් අතිරික්ත පිරිසක් සිටි නම් වන්දියක් ලබාදී ඔවුන් ඉවත්කිරීම පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් පැමිණ සිටි මන්ත්‍රීවරු පැවසූහ. මෙහිදී මේ වනවිට ව්‍යාපෘතී අඩු බැවින් අවශ්‍යතාවය අනුව මෙම සේවක සංඛ්‍යාව ප්‍රමුඛතා ලැයිස්තු ඇතුළුවන සේ වාර්තාවක් මාස 3ක් ඇතුළත කෝපා කමිටුවට ලබාදෙන ලෙස (මහාචාර්ය) චරිත හේරත් මහතා එහිදී නිර්දේශ කර තිබේ.

එසේම 2012 වර්ෂයේ දී රුපියල් මිලියන 158 ක් වියදම් කොට මිලදී ගත් කොන්ක්‍රීට් ඇතුරුම් යන්ත්‍ර දෙකක් සහ මිලියන 6ක් වටිනා කර්බ් යන්ත්‍රයක් මේ වනවිටත් නිෂ්ක්‍රීය මට්ටමේ පැවැතීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙහිදී 2012 වසරේ සිට 2022 නොවැම්බර් දක්වා කොන්ක්‍රීට් ඇතුරුම් යන්ත්‍ර දෙක පැය 420 ක් පමණක් උපයෝජනය කොට ඇති බවත් කර්බ් යන්ත්‍රය 2012 වර්ෂයේ සිට මේ දක්වාම නිෂ්කාර්යව පැවැති බවත් අනාවරණය විය. එම අංශ පිළිබඳව ද මාස 3ක් ඇතුළත කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කෙරිණි.
අකිත පෙරේරා -රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment