බස් අඩුයි: ඊයේත් මගීහු පාරේ අතරමං වෙති

64

ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රමාණවත් පරිදි ලංගම හා පෞද්ගලික බස්රථ ධාවනය නොවීම නිසා දහස් සංඛ්‍යාත මගීහු ඊයේ (6 දා) දැඩි අපහසුතාවන්ට පත්වූහ.

ඊයේ උදේ රැකියා ස්ථාන කරා යෑමට සහ වෙනත් අවශ්‍යතා සඳහා යෑමට බස් නැවතුම්පළවල් කරා පැමිණි මගීහු විශාල පිරිසක් අසරණ වූහ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් මාර්ගයේ ධාවනය වූ බස්රථ හිඟයක් දක්නට ලැබුණු අතර, ධාවනය වූ සුළු බස්රථ ප්‍රමාණයේ මගීන් අධික ලෙස පටවාගෙන අවදානම් සහගතව යන අයුරු දැකගත හැකි විය.

කොළඹ සහ ඊට ආසන්න නගර හරහා ධාවනය වූ බස්රථවල පාපුරුවේ වහලය මත හා පිටුපස ඩිකියේ ද මගීන් අවදානම් ගමනක යෙදෙන ආකාරය ද දක්නට ලැබිණි.

බස්රථ නැවතුම්පළවල පැය ගණන් රැඳී සිටි ඇතැමුන් බස්රථවල අධික ලෙස මගීන් ගමන් ගැනීම හේතුවෙන් නැවත නිවෙස් බලා ගිය අවස්ථා ද විය.

ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊයේ ධාවනය වූයේ පෞද්ගලික බස්රථ දහසකටත් අඩු සංඛ්‍යාවක් බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ‘දිවයින’ට පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ අංජන ප්‍රියන්ජිත් මහතා මෙසේද කීය.

අදත් නිසියාකාරව පෞද්ගලික බස්රථවලට ඩිපෝ මගින් ඉන්ධන ටික ලබාදෙන්න අසමත් වුණා. අද රටේම ධාවනය විය යුතු බස්රථ 20,000 න් ධාවනය වුණේ බස්රථ දහසකටත් අඩු සංඛ්‍යාවක්. මගීන්ට මේ බස්රථ ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ප්‍රවාහන අමාත්‍යවරයා කියනවා පෞද්ගලික බස්රථ ටික ධාවනය නොකරනවානම් අලුතින් බස්රථ ගෙන්වලා ලංගම බස් ධාවනය කරනවා කියලා. අලුතින් බස් ගේන්න ඩොලර් කෝ ඇමැතිතුමා? මේ අලුතින් ගේන්න හදන බස් ටිකේ ඩොලර් ටික එකතු කරලා රටට තෙල් ටික ගෙන්වලා දෙන්නකො. ප්‍රයිවට් බස් ඔක්කොම දුවවන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, අකිත පෙරේරා, සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment