බස් කොවිඩ් නීති ගැලවෙන්න යයි

183

කොවිඩ් වසංගතය පාලනය සඳහා නිකුත් කර තිබූ මගී ප්‍රවාහන බස් රථ සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය.

ඒ අනුව එම සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් බස් ගාස්තු ඉහළ දැමීම සඳහා ලබාදී තිබූ අනුමැතිය අහෝසි කළ හැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බවට නියම කර තිබුණි.

ඒ වෙනුවෙන් සියයට 20% කින් බස් ගාස්තු ඉහළ දැමීම සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අනුමැතිය ලබාදී තිබිණි.

මේ වනවිට මගී ප්‍රවාහන බස් රථ එම මාර්ගෝපදේශ අනුගමනය නොකරන නිසා එම නියෝගය ඉවත් කිරීමෙන් බස් ගාස්තු සියයට 10% කින් අඩු කිරීමට හැකියාව ඇතැයි ද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

ඒ සඳහා එම අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලීම් කිහිපයක්ම සිදුකර ඇත.

එම මාර්ගෝපදේශ ඉවත් කළහොත් දැනට රුපියල් 34 ක් වන අවම බස් ගාස්තුව රුපියල් 29 දක්වා අඩු කළ හැකි බව එම අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment