බස් ගාස්තු සියයට 19.5 කින් නගී… අවම ගාස්තුව රු. 32 යි

236

පෞද්ගලික බස් ඩීසල් සහනයක් ඉල්ලයි, පාසල් වෑන් ගාස්තු 15% කින් ඉහළට,
එළවළු මිල සියයට 400 කින් නගී, මගී ප්‍රවාහන මෝටර් රථ හා වෑන් ගාස්තු ඉහළ දැමීමට පියවර…

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග ඊයේ (24 දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 19.5 කින් ඉහළ දමා තිබේ. මීට අමතරව ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, කොත්තු සහ බත් පැකට්ටුවක මිලද ඉහළ දමා තිබේ.

ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා මගී බස් රථයක රුපියල් 27ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 32 දක්වා ඉහළ නංවා තිබේ.

කාණ්ඩ 350 ක් යටතේ එම බස් ගාස්තු සංශෝධනය පෞද්ගලික හා ලංගම බස් රථවලට අදාළව සිදුවන අතර, අධිවේගී බස් රථ ගාස්තුවත් ඉහළ නංවා ඇත.

අද (25 දා) සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ජාතික ගමනාගමන කොමිසමේ මිල සශෝධනය නිකුත් කළ පසු ගාස්තු සංශෝධනය කෙරෙන බව ද ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඩීසල් මිල වැඩි නොකර පෞද්ගලික බස් රථවලට සහනයක් ලබාදුනහොත් පැරණි ගාස්තුවටම බස් රථ ධාවනය කරවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ‘දිවයින’ට පැවසීය.

තවදුරටත් කතා කළ අංජන ප්‍රියන්ජිත් මහතා මෙසේ ද කීය.

මේ ආණ්ඩුව අසමත්. දැන් සතියෙන් සතිය ඉන්ධන ගාස්තු වැඩි කරනවා. මේ වගේ ආණ්ඩුවක් කවදාවත් දැකලා නැහැ. ඩීසල් මෙහෙම වැඩි කළාම බස් ගාස්තු වැඩි වෙනවා. මෙහෙම වුණාම මගී ජනතාව පෞද්ගලික බස් රථවලින් තවත් ඈත් වෙනවා. මේ තත්ත්වය තුළ අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වත් කරන්න වේවි. මේවා මගී ජනතාව දරාගන්නේ කොහොමද? මේ බස් ගාස්තු වැඩිවීමට ආණ්ඩුව වග කියන්න ඕනෑ.

මෙහිදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙසේ පැවසීය.

ජාතික ගමනාගමන කොමිසමෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුව බස් රථ ධාවනය කරනවා. මේ දිනවල අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට යන දරුවන්ගෙන් පැරණි ගාස්තුවම අය කරනවා. මේ වෙලාවේ මගී ජනතාව අසරණ වෙලයි ඉන්නේ. බස් ගාස්තු වැඩිවීම තුළින් බස් රථවල ගමන් කරන තවත් මගීන් අඩු වෙන එකයි වෙන්නේ.

මේ තත්ත්වය තුළ සියයට 25 කින් විතර බස් ගාස්තු වැඩි වෙනවා.

පාසල් වෑන් රථ ගාස්තුව සියයට 15 කින් ඊයේ (24 දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ බව අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මේ ඉන්ධන මිල වැඩි කිරීම අපිට දරාගන්න බැහැ.දෙමාපියන්ටත් දරාගන්න බැහැ. ඔවුන්ගේ ආදායම වැටිලයි තියෙන්නේ. ඉන්ධන මිල වැඩි කලාම අපිටත් වෑන් ගාස්තු වැඩි නොකර කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැ. ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරනවා නම් අපිට පැරණි ගාස්තුවටම යන්න පුළුවන්.

ඉන්ධන ගාස්තු වැඩි කිරීමත් සමග එළවළු මිල ගණන් ද සියයට 400 කින් ඉහළ නැග ඇතැයි පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්. එම්. උපසේන මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) කීය.

ඉන්ධන මිල වැඩිවීමත් සමග ඊයේ එළවළු තොග පැමිණීමේ අඩුවක් මෙන්ම පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට තිබූ බව ඒ මහතා කියා සිටියේය.

ඊයේ බෝංචි කිලෝවක් රුපියල් 500 ට ද, තක්කාලි කිලෝවක් රුපියල් 600 ට ද, පතෝල කිලෝවක් රුපියල් 350 ට ද, මෑකරල් කිලෝවක් රුපියල් 350 ට ද, වැටකොලු කිලෝවක් රුපියල් 320 ට ද, තලන බටු කිලෝවක් රුපියල් 250, කැරට් කිලෝවක් රුපියල් 250 ට ද අලෙවි කෙරුණු බව හෙතෙම කීය.

ත්‍රිරෝද රථ ගාස්තුවේ පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100 ක් ද, දෙවැනි කිලෝමීටරය සඳහා රුපියල් 80 ක් ද අයකරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති මහින්ද කුමාර මහතා ‘දිවයින’ට පැවසීය.

මීටර් නොමැති ත්‍රිරෝද රථවල කුලි ගමන් යෑමෙන් වළකින ලෙස ද හෙතෙම මගීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ මහින්ද කුමාර මහතා මෙසේ ද කීය.

මේ ඉන්ධන මිල වැඩිවීමට ජනාධිපතිවරයා ඇතුළු රජය වගකියන්න ඕනෑ. මෙහෙම ඉන්ධන වැඩි වුණාම මගී ජනතාව තව තවත් ත්‍රීවිල්වල යන එකෙන් ඈත් වෙනවා.

පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100 ක් අය කරනවා. මගීන්ගෙන් ඊට වඩා වැඩියෙන් අය කරනවා නම් ත්‍රිරෝද රථයේ අංකය සමග ළඟම පොලිසියට පැමිණිලි කරන්න.

ඉන්ධන මිල ඉහළ නැංවුව ද දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ඉන්ධන මිල වැඩි වුව ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමේ මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

කෙසේ වෙතත්, තව දින දෙකක් තත්ත්වය බලා බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීම සම්බන්ධව තීරණයක් ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බත් පාර්සලයක් කොත්තුවක් මෙන්ම ආහාර මිල සියයට 10 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම වසර තුළ පස්වැනි වතාවටත් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම නිසා ජනතාව දැඩි ආර්ථික පීඩනයට පත්ව සිටින අතර අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු සෑම දෙයකම මිල ගණන් ඉහළ යෑමට එය බලපා තිබේ.

ඉන්දීය තෙල් සමාගම ඉකුත් මාර්තු මස 10 වැනිදා මධ්‍යම රාත්‍රියේදී තුන්වැනි වතාවට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ද ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළ දැමූ අතර එය මෙතෙක් මෙරට ඉතිහාසයේදී එකවර ඉන්ධන මිල ගණන් ඒ සා විශාල මුදලකින් ඉහළ දැමූ පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.

එම සමාගම එකවර ඒ සා විශාල ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමූ පසු ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් (සිපෙට්කො) මාර්තු මස 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමීය. ඒ වනවිට අලෙවි කරන පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80 ක් ද, ඩීසල් ලීටරයකින් රුපියල් 128 ක් ද පාඩුවක් ලබන බව කියමින් මෙසේ තෙල් මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ඉකුත් අප්‍රේල් මාසයේ 18 වැනිදා ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කො) ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල යළිත් රුපියල් 84 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 90 කින් ද වැඩි කළේය.

මාර්තු 11 වනවිට සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් පැවතියේ ඊට අඩු මිලකටය. ඒ අනුව සිපෙට්කෝ අලෙවි සල්වල 92 පෙට්‍රල් ලීටරයක මිල 177 ක් ලෙස ද 95 පෙට්‍රල් ලීටරයක මිල 207 ක් ලෙස ද සටහන් විය. ඔටෝ ඩීසල් ලීටරයක මිල 121 කි. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 159 කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87 කි.

නමුත් ඉන්දීය තෙල් සමාගම අප්‍රේල් 18 වැනිදා ඉන්ධන මිල යළි වැඩිකර පැය විසිහතරක් යන්නට මත්තෙන් තෙල් සංස්ථාව ද (සිපෙට්කො) යළි ඉන්ධන මිල වැඩි කළේය.

ඒ අනුව සිපෙට්කෝ ආයතනය ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 84 කින් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 90 කින් ද වැඩි කළේය. එම වැඩි කිරීමට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල 338 දක්වාත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 373 දක්වා වැඩි විය. ඩීසල් ලීටරයක මිල රුපියල් 289 දක්වාත්, සුපර් ඩීසල් රුපියල් 329 දක්වා ද වැඩි වී තිබිණි.

මාස හතර පහක් ඇතුළත මෙරට ඉන්ධන මිල හිනිපෙත්තටම නග්ගමින් පෙරේදා (23 වැනිදා) මධ්‍යම රාත්‍රියේ යළි ඉන්ධන මිල ඉහළ දැමීම නිසා මේ වනවිට රටේ ප්‍රවාහන ක්‍ෂේත්‍රය මෙන්ම අනෙකුත් සියලු කටයුතු උඩු යටිකුරු වී තිබේ.

මේ වනවිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 420 ක් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් 450 ක් දක්වා ද ඩීසල් ලීටරයක් රුපියල් 400 ක් ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 445 දක්වා ද ඉතිහාසයේ ඉන්ධන මිල ගණන්වල වාර්තා ගත මිලක් නියම වී තිබේ.

මේ තත්ත්වය හමුවේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අතර එය රටේ ආර්ථිකයට ද මරු පහරක් එල්ල කර ඇත.

ශිරාන් රණසිංහ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සුජීව තත්සර, හේමන්ත රන්දුණු, අකිත පෙරේරා සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment