බස් – ත්‍රිරෝද  මුහුණට මුහුණ ගැටී  තිදෙනෙක් මරුට

259

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසලදී ඊයේ (01 දා) උදේ පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීම නිසා සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තිදෙනකු මරුමුවට පත්වී ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියැදුරු වන යූ. ඩබ්ලිව්. ජී. රම්බණ්ඩා (63), ඔහුගේ බිරිය වන පී. කේ. ජී. නන්දාවතී (63) සහ ඔවුන්ගේ ඥාතිවරියක වන පී. ජී. විමලා රංජනී (75) යන තිදෙනා බව පොලිසිය සඳහන් කළේය.

ඔවුහු අරලගංවිල, අරුණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

බස් රථය පොළොන්නරුව සිට මඩකලපුව බලා ගමන් ගනිමින් තිබී ඇති අතර ත්‍රිරෝදය මනම්පිටිය දෙස සිට පොලොන්නරුව දෙසට පැමිණෙමින් තිබියදී එම වාහන දෙක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

අනතුරින් බරපතළ ලෙස තුවාල ලබා සිටි අඹුසැමියන් අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ අනෙක් කාන්තාව ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එහිදී මියගොස් ඇත.

බස් රථයේ රියැදුරා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මනම්පිටිය පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

කරුණාරත්න ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment