බස් මරුවා දහතුන් හැවිරිදි දරුවා බිලිගනී – දහතුන් දෙනෙක් රෝහලේ

193

මටත් නෝනටත් වැඳල ගිය දරුවා බස් එකට යටවී සිටිනවා බලන්න බැරි නිසා මම දුවගෙන ගෙදර ආවා – පියා කියයි

කබඩි ක්‍රීඩා පුහුණුවීම් සඳහා උදෑසැනින් පාසල වෙත යෑමට මාර්ගය අයිනේ සිටි දහතුන් හැවිරිදි පාසල් සිසුවකු 21 වැනිදා උදෑසන 6.15 පමණ සැලව සිට මාවනැල්ල බාලා ධවනය වූ බස් රථයක් රහල රෝහල අසල වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් එයට යටවී මියගොස් තිබේ. මෙම බස් රථ අනතුරෙන් 13 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද පොලිසිය පැවසීය. මාර්ගයෙන් ඉවතට පැන්න බස් රථය අසල ගසක ගැටී නතර වී තිබේ.

අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ උස්සාපිටිය, රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ නව වෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සඳරු පබසර උඩදිවෙල නමැති දහතුන් හැවිරිදි සිසුවෙකු බවද පොලිසිය පැවසීය.

රහල බටහිර, අරණායක ලිපිනයේ පදිංචිව සිටි සඳරු පබසර මව, පියා, නැගණිය ඇතුළු සිවුදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමහල් එකම පිරිමි දරුවා වෙයි.

අනතුරෙන් බස්රථයේ ගමන් කළ 13 දෙනකු තුවාල ලබා අරණායක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා 7 දෙනකු මාවනැල්ල මුලික රෝහල වෙත මාරුකර යවා තිබේ. තවත් පස් දෙනකු අරණායක දිසාරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අප කළ විමසීමකදී අරණායක දිසා රෝහලේ අධ්‍යක්ෂ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ජයසිරි රාමනායක මහතා පැවසීය.

බස් රථයේ රියැදුරු, කොන්දොස්තර යන දෙදෙනාද තුවාල ලබා රොහල්ගතකර ඇති අතර අනතුරෙන් බස් රථයටද හානි සිදුවී ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවද බවද පොලිසිය පැවසීය.

මරණයට පත් පාසල් සිසුවාගේ මළසිරුර මේ වන විට අරණායක දිසා රෝහලේ තැන්පත් කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මළසිරුර මාවනැල්ල මූලික රෝහල වෙත යැවීමට නියමිතව තිබිණි.

බස් මරුවා දහතුන් හැවිරිදි දරුවා බිලිගනී - දහතුන් දෙනෙක් රෝහලේ

අමිල කුමාර උඩදීවෙල (පියා) – (45) අප සමග මෙසේ පැවසීය.

පුතා උදේ මටත් නෝනටත් වැඳල කබඩි පුහුණු වෙන්න තියෙන නිසා ගෙදරින් පාන්දර පහයි තිහට පිටත් වුණා. ඒ ගිහිල්ලා විනාඩි හතළිස් පහකට විතර පස්සේ මහා සද්දයක් ඇහුණා. පොඩ්ඩක් වෙලා යද්දී ආරංචි වුණා බස්එක හැප්පිලා කියලා. මං මඟට ගියා බලන්න. නමුත් මගේ එකම පුතා බස් එකට යටවෙලා හිටියේ. මට පුතා බලන්න බැරි නිසා දුවගෙන ගෙදරට ආව. සතියට දවස් දෙකක් කබඩි පුහුණුවීම් තියෙන නිසා 6.10 යන බස් එකේ තමයි ස්කොලේට යන්නේ. හැමදාම බස් එකට නගින්න මාගේ පුතා පාර අයිනේ ඉන්නේ. රියදුරාගේ නොසැලිකිමත්කම නිසා තමයි මගේ පුතා අද මට අහිමිවුණේ යැයිද හෙතෙම පැවසීය.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ගාමිණි පණාවල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක අනිල් සම්පත්, රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක දයානන්ද, (48565) වික්‍රමරත්න යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අරණායක – රෝහණ ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment