බස් රථ ලබාදීම නිසා බස් මෑන් කියා හැඳින්වුවත් අවලාද අපහාස ගැන කිසිම තැකීමක් නෑ

160

පාසල් තුළ දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ ඇතැම් ආදි සිසුන් හිටියත් තමන්ගේ පාසලේ දියුණුව වෙනුවෙන් කිසිවක් නොකරන බවත් බස් රථ නොමිලේ ලබාදීම නිසා බස් මෑන් යනුවෙන් තමා හැඳින්වූවත් එම අවලාද, අපහාස කිසිසේත්ම තමා විසින් නොතකන බවත් සමගි ජන බල පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බැව් පැවසූවේ සිය සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල වැඩසටහන යටතේ ජාතික පාසල්වලට බස් රථ පිරිනැමීමට අනුව 50 වැනි බස් රථය බෙදා දීම වෙනුවෙන් ඊයේ (27දා) තඹුත්තේගම විද්‍යාලයේ පැවැති උත්සවයේදීය. රුපියල් ලක්ෂ 50ක් වටිනා නොමිලේ බස් රථයක් මෙහිදී පිරිනැමීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

පාසල්වලට බස්රථ ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උනන්දු කළේ හිටපු අමාත්‍යවරයකු වන අර්ල් ගුණසේකර මහතා. මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේ දී සෑමවසරකම සෑම පාසලකම දූ දරුවන්ගෙන් විවිධ ප්‍රවාහන අවශ්‍යතා සඳහා විශාල වශයෙන් මුදල් එකතු කරනවා. මේ තත්ත්වය නිදහස් නිවහල් හා නොමිලේ අධ්‍යාපනය ලබා දීම යථාර්ථයක් බවට පත් කිරීමට බාධාවක්. එම නිසා පාසල් සඳහා නොමිලේ බස් රථ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර මේ වන විට බස් රථ 50ක් ලබා දීම සිදු කර ඇත. මේ නිසා පාසල් දූ දරුවන්ගේ බාහිර ක්‍රියාකාරකම් සඳහා දෙමාපියන්ට වියදම් කිරීමට සිදුවන මුදල් ප්‍රමාණය අඩුවනවා.

අවලාද, අපහාස කිසිසේත්ම මා තකන්නේ නැහැ. මහත්මා ගාන්ධිතුමා විසින් පැවසූ ආකාරයට වැඩ කරන මිනිස්සු සහ ලකුණු දා ගන්න මිනිස්සු යනුවෙන් දෙකොටසක් සිටිනවා. එම නිසා ලකුණු දා ගන්නා මිනිස්සු කෙතරම් සිටියත් වැඩ කරන මිනිස්සු එක්ක සිටගෙන රට වෙනුවෙන් යමක් කිරීමට ඕනෑම වෙලාවක් සූදානම්.

බස්වලින් මිනිසුන් දසදහස් ගණනක් එකතු කර රැස්වීම් පවත්වා ලකුණු දා ගන්නවා වෙනුවට මහපොළොවේ වැඩ කිරීමට තමන් සුදානම්. මේ අවස්ථාවේ අප රටට අවශ්‍ය වන්නෙත් වැඩ කරන මිනිස්සු. ඒ මිනිස්සු සමඟ නැවත රට ගොඩනැගීමට තමන් සූදානම්. වත්මන් රජය කැබිනට් අනුමැති අරගෙන අප රට දුප්පත් රටක් බවට නම් කර ඇත. එය විහිළුවට කරුණක්. අප රටේ අධ්‍යාපනය ශක්තිමත් කරනවා වෙනුවට සිරගෙවල් සකස් කිරීමට පාලකයන් කටයුතු කරලා. නමුත් අමතක නොකළ යුත්තේ එක් පාසලක් විවෘත වන විට සිරගෙවල් කිහිපයක් වුව වසා දැමිය හැකි බවයි.

රට විනාශ කළ පුද්ගලයන් රතු පලස් මත සිටිනවා. ඇතැම් පුද්ගලයන් රටට වැඩ කරන පුද්ගලයන්ට මඩ ගසනවා. ඔවුන්ට කියන්නට ඇත්තේ මඩ දේශපාලනයෙන් ඉවත් වී ජනතාවට සැබෑ සේවයක් කරන ලෙසයි. ඔවුන් කෙතරම් මඩ ගැසුවත් මෙම බස්රථ ලබා දීමේ වැඩසටහන කිසිසේත්ම නතර කරන්නේ නැහැ. රට විනාශ කළ පුද්ගලයන්ගේ තනතුරු වරප්‍රසාද වරදාන ලබා ගෙන වැජඹෙන්නට අවස්ථාව ලැබුණත් ප්‍රතිපත්තියක් ලෙස හොරු සමඟ ගනුදෙනු නොකරන නිසා ස්වෝත්සාහයෙන්ම ජනතාව සමඟ එකට එකතු වී රට ගොඩනැගීමට කටයුතු කරනවා.

මීට පෙර ජනතාව සිය ඉල්ලීම් ඉල්ලා සිටියේ ජනාධිපති, අගමැති හෝ ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙනි. එහෙත් මේ වන විට විපක්ෂ නායකගෙන් සිය දුක්ගැනවිලි කියා ඉල්ලීම් ඉදිරිපත් කරනවා. එයට හේතුව පසුගිය වසර 74ට සාපේක්ෂව වත්මන් විපක්ෂය ජනතාවගේ දුක් ගැනවිලි කෙරෙහි අවධානය යොමු කර විශාල සේවාවක් සිදු කිරීමයි. උනුත් එකයි මුනුත් එකයි කිව්වට එය වත්මන් විපක්ෂයට කිසිසේත්ම අදාළ නොවේ.

තඹුත්තේගම – සී. එම්. ආරියපාල, යාපහුව – විජේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment