බස් සහ ටිපර් 18කින් ඩීසල් සමග බැටරි සොරාගත් සිව්දෙනා තරුණ ග්‍රහණයට

291

බස් රථ සහ ටිපර් රථ 18 කින් ඩීසල් සමග බැටරි සොරාගත් සිව්දෙනකු අල්ලා ගම්පොළ පොලිසියට භාරදීමට ගම්පොළ දොළුව ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇත.

ඉන්ධන හිඟය ආරම්භයත් සමග ඒවා වැඩි මිලට විකිණීම සඳහා පසුගිය මාස දෙක පුරා ගම්පොළ දොළුව ඇතුළු ප්‍රදේශ ගණනාවක බස්රථ 12ක හා ටිපර් රථ 6ක ඩීසල් සොරා ගැනීම් සිදුව ඇති අතර මේ පිළිබඳ ගම්පොළ පොලිසියට පැමිණිලි ලැබී ඇත.

දොළුව පුස්තකාලය ඉදිරිපිට රාත්‍රී කාලයේ නවතා ඇති බස් රථවලින් ලීටර් 350ක්, නාරංවිට බස් රථයකින් ලීටර් එකසිය දහයක්, දොළුව ටිපර් රථයකින් ලීටර් හැටක්, ගුරුකැළේ බස් රථයකින් හා ගුරුකැළේ කෙසෙල්කොටුව ප්‍රදේශයේ ලොරි රථයකින් ලීටර 160ක්, ගොඩවෙල බස් රථයකින් ලීටර් සීයක් සහ කලුගමුව ටිපර් රථයකින් ලීටර් හැටක් ආදී ලෙසින් ඩීසල් මෙලෙස සොරකම් කර ඇත.

මෙම ඩීසල් සොරුන් දොළුව ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ලොරි රථයකින් ඩීසල් ඇද ඒවා දොළුව ආයුර්වේද රෝහලේ මෝචරිය (මිනී කාමරය) අසල සඟවා තිබී ඇත.

පසුදා ඒ අසලින් ගිය දොළුවේ තරුණයකු මාර්ගයේ ඩීසල් හැලී ඇති බව දැක තවත් පිරිසක් කැඳවාගෙන විත් සොයා බැලීමේදී සඟවා තිබූ ඩීසල් කෑන් දැක තිබේ.

මෙම ඩීසල් කෑන් රැගෙන යෑමට කිසිවකු හෝ පැමිණෙන බව දන්නා මොවුන් සැඟවී බලා සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි මෙම සිව්දෙනා සඟවා තිබූ ඩීසල් රැගෙන යෑමට උත්සාහ දරන අවස්ථාවේදී මෙසේ අල්ලා අතපය බැඳ ගම්පොළ පොලිසියට භාරදී තිබේ.

මොවුන් පැමිණි ත්‍රීරෝද රථය හා යතුරුපැදියක් ළඟ තිබූ ඩීසල් අදින බට හා ඩීසල් ටැංකි කැඩීමට ගන්නා උපකරණ සමග සඟවා තිබූ ඩීසල් ද පොලිසිය වෙත භාර දී තිබේ.

අධික ලෙස මත්කුඩුවලට ඇබ්බැහි වී ඇති මෙම පිරිස පේරාදෙණිය මෙගොඩ කළුගමුව හා නිල්ලඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment