බහුජාතික සමාගම් චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමට වලිකනවා

483

මෙරටට මහා පරිමාණයෙන් රසායනික පොහොර ගෙන්වූ බහුජාතික සමාගම් මේ වන විට කාබනික පොහොර ගෙන්වීමටද දැඩි උත්සාහයක නිරත වන බව ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති අනුරුද්ධ තෙන්නකෝන් මහතා ඊයේ (21 දා* කීය.

ඒ සඳහා අදාළ සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සිව් දෙනකු සම්බන්ධ කරගෙන සිටින බව කී හෙතෙම එම සමාගම් ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක් වැය කරමින් චීනයෙන් ගෙන්වීමට උත්සාහ කරන්නේ ප‍්‍රමිතියෙන් තොර කාබනික පොහොර බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා පසුගිය අපේ‍්‍රල් 27 වැනිදා රසායනික පොහොර මෙරටට ගෙන්වීම තහනම් කරන බවට ප‍්‍රකාශ කිරීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යාංශය කාබනික පොහොර ගොවීන්ට හඳුන්වාදීම සඳහා නිසි සැලැස්මක් සකස් නොකර මහ කන්නයට කාබනික පොහොර ආනයනය කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවට හෙතෙම චෝදනා කළේය.

මෙම කාබනික පොහොර ගෙන්වීම පිටුපස මෙරටට රසායනික පොහොර

ගෙන්වන බහු ජාතික සමාගම් සිටින බවත් ඔවුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප‍්‍රබලයන් සිව්දෙනකු සම්බන්ධ කරගෙන මෙම පොහොර ගෙන්වීමට උත්සාහ කරන බවත් ඒ මහතා පැවසීය.

ආනයනය කිරීමට කටයුතු කරන පොහොර තුළ අර්වීනියා නමැති බැක්ටීරියාව පවතින බවට සාම්පල් පරීක්‍ෂාවේදී තහවුරු වී ඇති නිසා එම පොහොර ගෙන්වීම මෙරට ගොවිතැනද විනාශ කිරීමට පිටිවහලක් වියහැකි බවද ඔහු අවධාරණය කර සිටියේය.

මෙම අර්වීනියා බැක්ටීරියාව අර්තාපල්, බීළුනු, කැරට් වැනි බෝගවලට දැඩි හානි පමුණුවන බවත් පසු අස්වනු නෙළීමෙන් පසුවද මෙම බැක්ටීරියාවේ බලපෑම ඇතිවන නිසා එම පොහොර ගෙන්වීම නතර කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසීය. මෙවැනි පොහොර රටට ආනයනය කිරීම රසායනික පොහොර ආනයනයටත් වඩා අහිතකර බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment