බහුතරය පාවා දුන්නේ සජිත්

566

ඔප්පු කිරීමට ඕනෑම විවාදයකට එන්න විමල්ගෙන් අභියෝගයක්

විපක්‍ෂ නායක මන්ත්‍රීවරු බෙදා වෙන්කර ආණ්ඩුව සමඟ
කුමන්ත්‍රණයක සිටි බව පෙන්වුවා – නීතිඥ උදය ගම්මන්පිල

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක පත් කරන අවස්ථාවේදී ආණ්ඩුවට බහුතරයක් ඇති බව පෙන්වීමේ පාවාදීම කළේ කවුද කියා ඔප්පු කර පෙන්වීමට සූදානම් බවත් ඒ සඳහා ඕනෑම රූපවාහිනි නාලිකාවක් සමග විවාදයකට සහභාගි වන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිටපු කර්මාන්ත ඇමැති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අභියෝග කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (05 දා) පස්වරුවේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මං සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරනවා, එන්න ඕනෑම රූපවාහිනි නාලිකාවක් සමග විවාදයකට මෙතන කවුද පාවාදීම කළේ කියලා ඔප්පු කරලා පෙන්වන්න අපි ලෑස්තියි. නිකන් අය එවන්න එපා. අපි එතනදි කියන්නම් හේමා ප්‍රේමදාස මහත්මිය හමු වුණේ කාවද, කොහොදි ද, කීයටද කියලා අපි කියන්නම්. පුළුවන්නම් අභියෝගය බාර ගන්න. කැත නින්දිත පාවාදීම් කරලා තවදුරටත් මේ විපක්‍ෂ නායක භූමිකාව තියා ගන්න හිතනව නම් ඒක හරියන්නෑ ප්‍රේමදාස මහත්තයෝ යැයි විමල් වීරවංශ මහතා කියා සිටියේය.

විශේෂයෙන්ම මේ රටේ ආණ්ඩුව කෙරෙහි කලකිරුණු, විරුද්ධවාදීව ඉන්න සෑම බලවේගයක්ම තේරුම් ගන්න ඕන විරුද්ධ පක්‍ෂ නායකයා තනිකරම රඟ දක්වන්නේ රාජපක්‍ෂ පවුලේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා

නියෝජ්‍ය කථානායකතුමා තෝරන ඡන්ද විමසීම් අවස්ථාවේදී ආණ්ඩුව විසින් අපේ අපේක්ෂකයාගේ පිටුපස හැංගිලා තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව ලෝකයට ප්‍රදර්ශනය වීම වළක්වා ගත්තා. ඒ අතරේ සමගි ජන බලවේගය විපක්ෂය විසින් එකඟතාවයෙන් තෝරාගත් අපේක්ෂකයාගේ නම සඳහන්ව තිබියදී තමන්ගේත් අපේක්ෂකයෙක් නම් කරලා විපක්ෂය දෙකට බෙදලා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය විදිහට තමන්ගේ නොමේරූකම ප්‍රදර්ශනය කර ගත්තා.

ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි තමන්ගේ බහුතරය නෑ කියලා පේනවා නම් තවදුරටත් මේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට උත්සාහ දැරීම පිළිබඳව. විපක්ෂනායකවරයා ඇතුළු මේ විපක්ෂයට නායකත්වය දෙන පිරිස විශ්වාසභංග යෝජනාවක් ආණ්ඩුවට එරෙහිව ගෙනැවිත් තිබියදී විපක්ෂයේ සිටින අය බෙදා වෙන් කිරීමට කටයුතු කිරීමෙන් ඔවුන් ආණ්ඩුව සමඟ රහසිගත කුමන්ත්‍රණයක යෙදී සිටින බව රටට නෙවෙයි මුළු ලෝකයටම ප්‍රදර්ශනය වී තියෙනවා.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් විපක්ෂනායකතුමාට ලිපියක් යැව්වා. සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම ලිපිය භාර ගත් බවටත් අත්සන්කර සහතිකකර තිබෙනවා. විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාවෙන් මේ ආණ්ඩුවට විශ්වාසය නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා. අපිත් ඒ බව කියනවා. මේ ආණ්ඩුව විසින් මෙම ආර්ථික අර්බුදයෙන් තීව්‍ර වීම වැළැක්වීමට කටයුතු නොකරගත් අත්තනෝමතික තීරණ නිසා අද ජනතාව දුකට පත්වෙලා තියෙන නිසාත්, මේ මොහොත වන විටත් මේ මහා ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට කිසිම ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට මේ දක්වාම අසමත් වී ඇති නිසාත්, මේ ආණ්ඩුව පිළිබඳව රටේ ජනතාවට විශ්වාසයක් නැහැ. ඒ නිසා විශ්වාසයභංග වී ඇති බව පැහැදිලි යි. ආණ්ඩුව ගෙදර යැවීමට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන අයට ආණ්ඩුව පරාජය කර ගෙදර යැව්වට පස්සෙ රට පාලනය කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ආණ්ඩුව පෙරළනවා නම් ඊළඟ ආණ්ඩුව හැදීමේ විකල්ප වැඩපිළිවෙළ මොකක්ද කියන එක පැහැදිලිව ජනතාව ඉදිරියේ කියන්න අවශ්‍යයි. අවම වශයෙන් එය පාර්ලිමේන්තුව ඉදිරියේ තියෙන්නට ඕනෑ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment