බහුදින යාත්‍රාවේ බඳෙන් කෝටි 325 ක මත්කුඩු එළියට

318

දෙවුන්දර මුහුදේදී නාවික හමුදා – නාකොටික් වික්‍රමයක්

ඉඳුනිල් පුතා සමග මුහුදු ගිය 6ක් කුඩුත් එක්ක මාට්ටු

යාත්‍රාවේ මාළු කිසිවක් නෑ: මුහුදු ගියේම කුඩු ගේන්න

කුඩු ගේන මාළු බෝට්ටු ගැන නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බළකාය ඇහැගහගෙන

අල්ලන මත්කුඩු නීති කටයුතු නිම වූ පසු පළමු අවස්ථාවේම විනාශ කරනවා – නාවික හමුදාපති

රුපියල් කෝටි 325ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 131 ක් හා ග්‍රෑම් 354 ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රාවක් සමඟ පුද්ගලයින් හයදෙනකු දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

බහුදින යාත්‍රාවේ බඳෙන් කෝටි 325 ක මත්කුඩු එළියට

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මස 11 වැනිදා හය දෙනකු සමග දෙවිනුවර ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති ඉඳුනිල් පුතා 6 IMULA 0201 MTR නමැති බහුදින යාත්‍රාවයි.

පළමුව එම ධීවර යාත්‍රාව තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිහක් සොයා ගෙන තිබේ. හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණ තොරතුරක් මත ඈත මුහුදේදී සැකපිට අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙනැවිත් එම යාත්‍රාව පුළුල් ලෙස පරීක්ෂා කරද්දී යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 325 ක් වටිනා හෙරොයින් කිලෝ 131යි ග්‍රෑම් 354 ක් පෙරේදා (15දා) සවස සොයා ගන්නා ලදී.

නාවික හමුදාවට ලැබුණ තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයත් සමග එක්ව ඈත මුහුදේදී ඉකුත් 11 වැනිදා යාත්‍රාව අත්අඩංගුවට ගෙන සිකුරාදා (14) සවස ගාල්ල වරායට ගෙනැවිත් පරීක්ෂා කළත් යාත්‍රාව තුළ තිබී සැක කටයුතු කිසිවක් හමුවී නැත. පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ස්කෑන් පරීක්ෂණයක් කර ඇති අතර එහිදී අනාවරණයවී ඇත්තේ යාත්‍රාවේ බඳේ ෆයිබර් තහඩු තුළ සැක කටයුතු පාර්සල් තොගයක් සඟවා තිබෙන බවය. ඒ අනුව නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව යාත්‍රාවේ ඉදිරිපස බඳ කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් තොගය පිටතට ගෙන අත්අඩංගුවට ගෙන ඇත.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ විදෙස් යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදේදී මෙම හෙරොයින් තොගය ලබාදී ඇති බවය. යාත්‍රාවේ මාළු කිසිවක් තිබී නැති අතර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන ඒම සඳහාම බවටද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී තිබේ.

බහුදින යාත්‍රාවේ බඳෙන් කෝටි 325 ක මත්කුඩු එළියට

මෙම යාත්‍රාවේ හිමිකරු දෙවිනුවර වෙලේගොඩ ගුණපාල මාවත පදිංචිකරුවෙකි. එය පදවන්නා (ස්කීපර්) ලෙස කටයුතු කර ඇත්තේ දෙවිනුවර කපුගම නැගෙනහිර පදිංචි පුද්ගලයකු වන අතර ධීවරයින් ලෙස ගොස් ඇත්තේද දෙවිනුවර කපුගම නැගෙනහිර සහ රස්සන්දෙණිය ප්‍රදේශවල පදිංචි පස්දෙනෙකි. වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

ඉකුත් 15 දා ගාල්ල වරායේදී මෙම මත්ද්‍රව්‍ය තොගය නිරික්ෂණය කිරිමේ අවස්ථාවට එක්වෙමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා මෙසේ කීවේය.

“2023 වර්ෂයේ නාවික හමුදාව වෙරළාරක්ෂක බළකායේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 26.700කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින්, අයිස්, හෂිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය එමගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම වර්ෂයේ කිලෝ 700කට ආසන්න හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති පද්ධතියට අලුතින් රෙගුලාසි ඇතුළත්ව තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය පිළිබඳව නීති කටයුතු කිරීමෙන් පසු මුල් අවස්ථාවේම ඒවා විනාශ කරනවා. පසුගිය මාසයේ වයඹ වනාතවිල්ලුව ප්‍රදේශයේ දහනාගාරයක් ස්ථාපිත කර විශාල මත්ද්‍රව්‍ය තොගයක් දහනය කළා. අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය නීති කටයුතු කිරීමෙන් පසු පළමු අවස්ථාවේදීම නැවත ප්‍රයෝජනයට ගැනීමට නොහැකි අයුරින් විනාශ කරනවා.

බහුදින යාත්‍රාවේ බඳෙන් කෝටි 325 ක මත්කුඩු එළියට
බහුදින යාත්‍රාවේ බඳෙන් කෝටි 325 ක මත්කුඩු එළියට

ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන සහ ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු නාවික හමුදාව වෙත සහ මෙරට නීතිය බලාත්මක කරනු ලබන ආයතන වෙත ලබාදී අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීමට සහාය වන ලෙස ඉල්ලා සිටිනවා.’

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා සාගර කලාපය ආවරණය වන පරිදි ඉතා අවධානයෙන් යුතුව ආවේක්ෂණ කටයුතු සිදුකරන නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව පවසයි.

ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment