බහුවිධ සමාජයක ද්‍රැවීකරණය වූ ජාතික අභිලාෂ සහ පාලක අභිලාෂවල ස්වරූපය කෙබඳුද?

462

මෙම ලිපියේ පළමු කොටස පසුගිය සතියේ පළවිය.
 

මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය නම් නිවරැදි ව ආණ්ඩු ක්‍රමයක් පවත්වාගෙන යෑම තුළ මහජන මතය ජාතික අභිලාෂ වෙතට රැගෙන යෑමට අවශ්‍ය නිවරැදි වැඩපිළිවෙළක් ද ගොඩනැංවීම අත්‍යවශ්‍ය කරුණකි. අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළින් එය සිදු කළ හැකි ය යන්න යම් සාධාරණ සිතුවිල්ලක් පැවතිය ද එය ආගමික සිද්ධස්ථාන තුළින් ක්‍රියාත්මක කිරීමෙන් ජනතාව මුළාවට පත් වේ. දාර්ශනික නිකලෝ මැකියාවෙලී විසින් කළ “දේශපාලනය ආගමෙන් වියුක්ත විය යුතු ය” යන්න කළ ප්‍රකාශය තුළ ගැබ් ව ඇත්තේ එයයි. දේශපාලනය ආගමෙන් වියුක්ත වීම යන කාරණය තුළ එය ආගමික සිද්ධස්ථාන හරහා සිදු කළ යුතු දෙයක් නොවේ. එය පවත්නා ආණ්ඩුව විසින්ම කළ යුත්තකි. ඒ අනුව සත්‍ය වශයෙන්ම ජාතික අභිලාෂ පාලක තන්ත්‍රය මඟින් ක්‍රියාත්මක නොවන්නේ නම්, ඒ පාලක තන්ත්‍රයේ පැවැත්මෙහි ආයු කාලය ද කෙටි වේ.
තව ද ජාතිය ගොඩනැඟීම යන කාරණාව මෙහිදී ඉතාම වැදගත් කාරණයකි. එනම්, මිනිසා තම පක්ෂපාතීත්වය සහ කැපවීම කුඩා ගෝත්‍රයක, ගමක හෝ කුඩා රාජ්‍යයන්හි සිට විශාල මධ්‍යගත දේශපාලන ක්‍රමයක් දක්වා පරිවර්තනය කිරීම යන්නයි. ආත්මාර්ථකාමී පාලක අභිලාෂ තම රෙජිමයේ වාසි තකා කටයුතු කිරීමත්, ඒවා සාධාරාණීකරණය කිරීමට ජාතික අභිලාෂ ඝනයේ වැඩකටයුතුවලට නාමිකව පමණක් භාවිතා කිරීමේ වංචාසහගත ක්‍රියාව සිදු නොවිය යුත්තකි. එය පාලනයේ පැවැත්මට බාධාවකි. විශේෂයෙන් බහුවිධ සමාජයක ජාතික ප්‍රශ්නවලදී මුහුණ දෙන්නේ වාර්ගික, ආගමික හෝ වෙනත් භේදයන්ගෙන්තොරව ය. එනම්, යම් ආර්ථික අර්බුදයකදී පාලන තන්ත්‍රය ගොඩනැංවීමට සහය වූ (ඡන්දය ලබා දුන්) පුරවැසියන් මෙන්ම නොදුන් පුරවැසියන් ද සමස්ත ප්‍රජාවක් ලෙස පීඩාවට පත් වේ. එය යහපත් තත්ත්වයක් නොවේ. එබැවින් නිවරැදී ආණ්ඩුකරණයක් ගොඩනැංවීම තුළ කපටි කථිකයන් ලවා ප්‍රජා පීඩන පාලනය කිරීම වෙනුවට ජාතික අභිලාෂ අත්පත්කර ගැනීමට අවශ්‍ය සැලසුම් සහ අරමුණු කරගත් ඉලක්ක පුරවැසියන් වෙත ලබා දීමට කටයුතු කිරීම අවශ්‍ය වේ.

එබැවින් වර්තමානයේ දැකිය හැකි ආර්ථික අර්බුදය සඳහා මුල්ව ඇති පාලක පැලැන්තියේ පාලක අභිලාෂ සහ එහි බලපෑම වෙනුවට ජාතික ආර්ථිකය කළමනාකරණය මුල් කර ගත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය පැන නැඟී ඇත. එකී ආර්ථික වැඩපිළිවෙළ තුළ ද්‍රැවීකරණය වූ අභිලාෂයන් ජාතික අභිලාෂ සහ පාලක අභිලාෂ ලෙස අන්ත දෙකක් ඔත්සේ යම් රටක ක්‍රියාත්මක වුවහොත් එම රට සංවර්ධනය කළ නොහැකි ය. ඇතැම් අවස්ථාවල නොදියුණු දේශපාලන සංස්කෘතියක් ඇති රටක පාලකයාගේ පෞද්ගලික අභිලාෂවලට ක්‍රියාත්මක බලපෑම් කිරීම ද පහසු කාර්යක් නොවේ. එවැනි තත්ත්වයක් තුළ තනි පුද්ගල ඒකාධිපතිත්වයක් ද නිර්මාණය විය හැක. දේශපාලන චින්තනය තුළ “මිනිසා ධනයට, බලයට කෑදර කමින් උපතේ සිටම මරණය දක්වාම ක්‍රියා කරන්නේ ය” යන කාරණය තෝමස් හොබ්ස් විසින් පෙන්වා දී ඇත්තේ එබැවිනි. පාලකයන් නිරන්තරයෙන් ඔහුන්ට උචිත ආර්ථික වටපිටාවක් ගොඩනඟා ගනී. ඒ ඔහුන්ගේ පැවැත්ම සඳහා ය. එවැනි ස්වාධීන ආර්ථිකමය කථිකාව ඔහු අයත් පක්ෂ අභ්‍යන්තර කවය වෙතට යොමු කරවමින් ඒ සඳහා අවශ්‍ය මානසික සූදානම රෙජිමට තුළ මූලිකව ගොඩ නැංවීමට උත්සහ දරයි. ඒ තුළ පාලකයා බිම් මට්ටමේ පුරවැසියා පිළිබඳ තැකිමක් නොකරයි. බොහෝ පාලකයන් තම ආර්ථික කළමනාකරණය ඉතාම සාර්ථකව සිදු කරමින් පවත්වන බව පෙන්වීමට ඇතැම් අවස්ථාවල විවිධ වාර්තා යොදා ගනී. ව්‍යාජ ආර්ථිකයක් පෙන්වීමට උත්සහ කරනු ලබන පාලකයා ඒ සඳහා ඔහුට ආවඩන කපටි කථිකයන් ලවා තම ආර්ථික කටයුතු සාධාරණීයකරණය කරයි. ඒ සඳහා ඇතැම් විට පූජක තන්ත්‍රය ද පොළඹවා ගනී. ආගම සහ දේශපාලනය වෙනස්ව ක්‍රියාත්මක විය යුතු සංස්ථා දෙකක් වුවත්, ආගමික පදනම භාවිත කර සුජාත වූ දේශපාලන වටපිටාව අගාදයකට ඇද දැමීමට කටයුතු කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් ද නොවේ. පවතින බලශක්ති අර්බුදය, ගමනාගමන ආදී වශයෙන් අංශ ගණනාවකම උද්ගතව ඇති අර්බුද හේතුවෙන් මහජනතාව පීඩාවට පත් වී ඇත. මෙකී අධි පීඩන තත්ත්වයට නිදසුන් ලෙස එළවළු මිල ගණන් ඉහළ යෑම, වී වගාවට අවශ්‍ය පොහොර සම්බන්ධ ආණ්ඩුවේ තීරණවල බලපෑම මෙන්ම ඇමෙරිකානු ඩොරලයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයට ලක් වීම, වැරදි මූල්‍ය කළමනාකරණය ආදිය පෙන්වා දිය හැක. කෙසේ වෙතත් මෙම කාරණා මත ඇති වන ජන අරගලයන්හි පණිවිඩය වන්නේ “පවත්නා පාලන තන්ත්‍රය ගෙදර යා යුතු ය” යන අදහසට සීමා වීමක් නොවන අතර, පවත්නා ක්‍රමයේ සාධනීය වෙනසක් ඇති කිරීමට කටයුතු කිරීමට යොමු විය යුතුය යන්නයි.

ඒ අනුව ඉහත සඳහන් සමස්ත කාරණා මත මෙම පාලක අභිලාෂ සාක්ෂාත් කර ගැනීමට වෙළෙඳපොළට මැදිහත්වන ප්‍රධාන ව්‍යුහයන් කිහිපයක් ද පෙන්වා දිය හැක. එනම්, ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, අමාත්‍යවරු, පාර්ලිමේන්තුව, මහ බැංකුව, වෙනත් රාජ්‍ය ආයතන යනාදියයි. මෙහිදී වර්තමාන ආණ්ඩුව නිදහස් අර්ථක්‍රමයකට වඩා පාලිත අර්ථ ක්‍රමයකට කැමැත්ත දක්වන බැවින් විවිධ අණ පනත් සහ අය – වැය ලේඛනය හරහා රජයේ මැදිහත් වීම තීව්‍ර කර ගෙන ඇත. එවැනි අසීමාන්තික රාජ්‍යය මැදිහත් වීම තිව්‍රතාව හේතුවෙන් ලෝකයේ ධනේෂ්වර රටවල් විසින් තම පාලනයන්හි භාවිතයට ගනු ලබන “SMART POLITICS” වැනි ප්‍රජාත්නත්‍රවාදී නව දේශපාලන ප්‍රවාහයන් මෙවැනි රටවල ස්ථාපනය කිරීම ද සිහිනයක්ව පවතී. කෙසේ වෙතත් රටක ජාතික අභිලාෂ සඳහා අභියෝග වන පාලක අභිලාෂ දිගින් දිගටම සිදු කිරීම සඳහා පාලක පැලැන්තිය දේශපාලනික වේදනානාශක (Political Painkillers) භාවිත කිරීම තාවකාලික කාරණයකි. එය සමස්ත පාලක ප්‍රජාවටම අද වන විට අවබෝධ වී හමාර ය. මන්දයත් පාලක තන්ත්‍රය පිළිබඳ සමාජය තුළ ඇති වන අස්ථාවරත්වය මත පවත්නා පාලනයට එරෙහිව ජනතාවගේ නැඟී සිටීම නොවැළැක්විය හැකි තත්ත්වයක් බවට පත් වීමයි. ඒ තුළ පුරවැසියන් සක්‍රීයව මැදිහත් වීමක් දක්වයි. දේශපාලන සාක්ෂරතාවය මේ තුළ කැපී පෙනේ. එබැවින් සෑම රටක් තුළම පාලක තන්ත්‍රය සියලුම පුරවැසියන් හට සමාජ, ආර්ථීක සහ දේශපාලනික වශයෙන් ජාතික අභිලාෂ ඉටු කර ගැනීමට අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව තේරුම්ගෙන එය ක්‍රියාවට නැංවීම වගකීමක් කොට සැලකිය යුතු ය.

සටහන
කේ.ඩී.එම්. නිසන්සලා
ශාස්ත්‍රපති (දේශපාලන විද්‍යාව ),
කැළණිය විශ්වවිද්‍යාලය.



 

advertistmentadvertistment
advertistmentadvertistment