බහුශ්‍රැත පඬිවරයකු වූ සඳදස් කෝපරහේවා දැයෙන් සමුගනී

374

සිංහල ඉංග්‍රීසි දෙබසෙහිම එකලෙස හසල වූද, සිංහල සාහිත්‍ය, චිත්‍ර කලාව, බුදුදහම සම්බන්ධව ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ කවියකු, කලා විචාරකයකු, පරිවර්තකයකු ලෙසද බහුශ්‍රැත වූ හෙළ හවුලේ පුරෝගාමී ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදී සඳදස් කෝපරහේවා සූරීන් අභාවප්‍රාප්ත විය.

මියයන විට අනූනමවැනි වියෙහි පසුවිය. 1923 ජනවාරි 23 වැනිදා මාතර පඹුරන චාල්ස් විලියම් කෝපරහේවා සහ ලීලා අභය ගුණරත්න දෙමාපියනට දාව සඳදස්හු ජන්ම ලාභය ලැබූහ. පඹුරන ශාරිපුත්‍ර විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහලෙන් මැනවින් ඉගැනීම නිමාකර 1947 දී මාතර වෙලේගොඩ සුදර්ශන විද්‍යාලයේ පාලි හා ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස පත්වීමක් ලැබීය.

ඉන්පසු වසර තිස්දෙකක් සාන්ත තෝමස් විදුහලේ ගුරු සේවයෙහි යෙදුණු කෝපරහේවාසූරීහු පසුව මහරගම සිරි වජිරඥාන ධර්මායතනයෙන් පළ කරන ලද පාලි ශබ්ද කෝෂයේ සංස්කාරක මණ්ඩලයෙහිද කටයුතු කළහ. කෝපරහේවාසූරීන්ගේ සාහිත්‍ය සේවාව අරඹනුයේ තුරණු වියේදීය. කුමාරතුංග මුනිදාස මහතා මාතරදී පැවැත්වූ දේශනයකට සවන්දීමෙන් අනතුරුව ඇතිවූ කැමැත්ත නිසා ‘හෙළ හවුලට’ සම්බන්ධවී ඇත්තේ වර්ෂ 1940 දීය. චන්ද්‍රදාස කෝපරහේවා නම් වූ ඒ මහතාගේ මුල්නාමය ‘චන්ද්‍ර-දාස’ ‘සඳ-දස්’ යනුවෙන් නම් කරනු ලැබුවේද කුමාරතුංග මුනිදාස මහතා විසිනි.

1941 වසරේ සිට සුබස සඟරාවට ගැදි-පැදි පැබැදුම් හෙතෙම සැපයූහ. හෙළ හවුලේ මුල් පෙළෙහි ඇතුළතකුවූ එතුමා දිගු කලක් එහි අනුනයු (උප සභාපති) ලෙසද කටයුතු කළහ. සිදු කළාවූ උතුම් මෙහෙවර උදෙසා හෙළ හවුලින් හෙළ බස් මිණි ගරු නමද, දෙටු සුබැසි හරසරද එතුමාට පිරිනැමිණි.

ආර්. එච්. විලෙන්ස්කි ලියූ ‘Minia tore History of Europiean Art’ නම් ග්‍රන්ථයෙහි පරිවර්තනය කෝපරහේවා සූරීන්ගේ මුල්ම ග්‍රන්ථය වේ. 1958 යුරෝපා කලාවේ ලුහුඬු ඉතිහාසය හා යුරෝපා කලා හෙළ කලා සසඳාව නමින් එය පළවිය. ජගත් කලාකරු කතන්දර ලියනාඩෝ ඩාවින්සි, රාෆායෙල්, යුරෝපා කලා ඇගැයුම කලාව පිළිබඳව ලියූ පොත් අතර වේ. දහම් ගැට මාලා විවරණය, නවගමු දේවාලයේ පත්තිනි ඇදහිල්ල, තම පියාණන් ගැන පිය වියෝව නම් පද්‍ය ග්‍රන්ථයද ඒ මහතා ලියූ කෘති
ගණනාවක් අතර වේ.

සඳදස් කෝපරහේවයන් කළ විශිෂ්ට භාෂා සාහිත්‍ය සේවාවන් අගයා රජයෙන් කලා භූෂණ සම්මානයද, 2015 ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙලේදී දිවිමත් සම්මානයෙන්ද එතුමෝ පිදුම් ලැබූහ.

එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රධාන මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සහ කොළඹ සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සනත් කෝපරහේවා මහත්වරුන්ගේ පියාණන්ද වේ.

සඳදස් කෝපරහේවා සූරීන්ගේ අවසන් කටයුතු ඊයේ (7 දා) සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.

ඒ මහතාගේ දේහය ඊයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අයුරු.

නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment