බළධාරීන් නොදකින දැදුරු ඔය විනාශය…පෙනි පෙනී නොදකින ෂේප් න්‍යාය මේකයි

763

ඇතැම් දේශපාලනඥයන් සහ නිලධාරීන්ගේ සහයෝගය සියතට ගනිමින් වැලි ජාවාරම්කරුවන් රිසි සේ දැදුරු ඔය විනාශ කිරීම සිදු කරන්නේ අද ඊයෙක නොව ඒ දශක ගණනාවක් තිස්සේය.

දේශපාලනය ආරූඪ කරගත් වැලි ජාවාරම්කරුවන් කොතරම් දුරට බලවත්ද යන්න තහවුරු කරගත හැක්කේ දැදුරුඔය දෙපස තිබෙන රක්ෂිතය එම ප‍්‍රදේශවල ගම්මාන කරා කොතරම් දුරට පැමිණ ඇති බව දැකීමෙන්ය. ඇතැම් ප‍්‍රදේශවල එම ඉවුරු ගම්මානවල නිවෙස් ආසන්නයට පැමිණ තිබීම ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති බව සනාථ කරගැනීමට ප‍්‍රභල සාක්ෂියකි. තවද ජාවාරම රිසි සේ සිදුවෙමින් පවතින බවට සාක්ෂි දරන්නේ දැදුරු ඔය තුළට ට‍්‍රැක්ටර් රථ හා ටිපර් රථ බස්සවා සිදුවන වැලි ජාවාරම හේතුවෙන් දෙපස ඉවුරුවල ඇති විනාශයන් දැකීමෙන්ය. මීට අමතරව ඔය පතුලේ කිමිදී කූඩවලින් වැලි ගොඩ දැමීමේ සිදුවන ස්ථානද සංඛ්‍යාත්මකව සඳහන් කළ නොහැකි තරම්ය.

බළධාරීන් නොදකින දැදුරු ඔය විනාශය…පෙනි පෙනී නොදකින ෂේප් න්‍යාය මේකයි

අධිකරණ තීන්දු තීරණවලට හිසනොනමන ශ‍්‍රී ලංකාවේ කණ්ඩායමක් සිටී නම් ඒ වැලි ජාවාරම්කරුවන් යන්න පැහැදිලි වන්නේ 2011 ජුලි 20 දින ත‍්‍රිත්ව පුද්ගල විනිසුරු ම`ඩුල්ලක් විසින් ලබා වී ඇති නඩු තීන්දුව අමු අමුවේ ඝාතනය කරමින් දැදුරු ඔය වැනසීමය. දැදුරු ඔය තුළ කිසිදු ලෙසකින් වැලි කැණීමක් සිදු නොකරන ලෙස දැඩි අවවාද නියෝගක් මෙම තීන්දුව මගින් ලබා දී ඇත.

දැදුරු ඔයේ පවතින විනාශයන් සම්බන්ධව ජනතාව පොල් ගෙඩි අකුරින් ලියැවුණු දැවැන්ත නාම පුවරු ඔසවා කටේ ලේ රස දැනෙනකම් කෑ කෑගැසුවෝය. විනාශයන් සම්බන්ධව මාධ්‍යවේදීන් ගේ සටහන් පුවත්පත්වල දෘශ්‍යාබාධිතයන්ටත් පෙනෙන පොල්ගෙඩි අකුරින් සටහන් කෙරුවෝය. විවිධ පරිසර සංවිධානය පවතින විනාශයන් පෙන්වා හඬ නැගුවෝය. මේ සියලූ දේ පොඩිපට්ටම් කරන බලවේග නිසාවෙන් කුරුණෑගල රිදීගම සුන්දර කඳු පන්ති යුගලක් වන ගොන්මුත්තාව හා මොරන්කන්ද මුදුනින් ගලාවිත් සැතපුම් 88 ක් දුර ගෙවමින් පැමිණ හලාවත වෙරළ තීරයෙන් නිමාවන දැදුරු ඔය කොමලිය අදටත් හඩා වැළපෙන්නේ හිත්පිත් තැති ජාවරම්කරුවන්ගේ රිදවීම් නිසාය. මල්වානේ රඹුටන්, කල්පිටියේ කරවල සේම දැදුරු ඔයේ වැලිවලටද ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ඇත්තේ දැඩි ඉල්ලූමකි. මේ හේතුවෙන් වැලි ජාවාරම්කරුවන්ගේ දෑස් යොමු වන්නේ අන් කවර ප‍්‍රදේශවලටත් වඩා දැදුරුඔයටය. එකම කාසියේ දෙපැත්තට මිල මුදලින් ජාවාරම්කරුවන් සංග‍්‍රහ කිරීම නිසා ප‍්‍රබල පක්ෂ දෙකෙහි දේශපාලඥයන් කොතරම් දෝෂාරෝපණ ආවත් නිහඬ වන්නේ මඩිය තර වන නිසාය. දැදුරු ඔය දෙපස පිහිටි බොහෝ ගම්මානවල ජනතාවද නිහඬ කරවන්නේ වුන්ගේ අවශ්‍යතා සපුරාලීමට මෙම ජාවාරම්කරුවන්ගේ පිහිට ලැබීම නිසාය.

බළධාරීන් නොදකින දැදුරු ඔය විනාශය…පෙනි පෙනී නොදකින ෂේප් න්‍යාය මේකයි

එසේම මෙම වැලි ජාවාරමට එරෙහි වන ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ට සහ ගම්වල ප‍්‍රබල චරිත නැමෙන්නේ ජාවාරම්කරුවන්ගෙන් මිල මුදල් නිසාය. බොහෝවිට මෙම චරිත සුදනන් සේ පෙනී සිටිමින් ජාවාරම්වලට එරෙහි වන්නේ කොයි මොහොතේ හෝ ජාවරම්කරුවන් තමන් වෙත පැමිණෙන බව ගලේ කෙටුවාක් මෙන් නිශ්චිතව දන්නා නිසාය. ඇතැම් විට ගම්මානවල මාර්ග ආසන්නයේ පිහිටි කුඩා කඩ හිමියන්ද ජාවාරම්කරුවන්ගේ ඔත්තුකරුවන්ය. එසේම ගම්මානවල කුඩා දරුවන්ට ජංගම දුරකථන පවා ලබා දී දැදුරු ඔයට පැමිණෙන පිරිස් පිළිබඳව තොරතුරු සැපයීමට ඔත්තුකරුවන් බවට පත්කර තිබීමද කනගාටුවට කරුණකි.

මේ අතර පොලිස් පොඞ්ඩන්සේම ලොක්කන් ද ජාවාරම්කරුවන්ට ඉනිමන් බ`දිති. මෙවන් වාතාවරණයක් තුළ මේ සිදුවන වූ විනාශයන් වලකාලිය හැකි ද? ඇතැම් පරිසර සංවිධන සහ ගම රට ගැන කැක්කුමක් ඇති කුඩා කණ්ඩායම් පමණක් ඉතිරිව මේ ප‍්‍රබල සංචිතය පරදවාලිය හැකිද? අතීතයෙත් වර්තමානයේත් පැවති, පවතින ගැටලූව එයයි. එනිසාවෙන්ම එදා සිට අද දක්වා දැදුරු ඔය වනසන පිරිස් තව තවත් වැඩිවනවා මිස අඩුවක් නම් දකින්නට නොලැබේ. එසේනම් අනාගතය ගැන කවර කතාද? එදා සිට අද දක්වා බලයට පැමිණෙන දේශපාලඥයන් පරිසරය ගැන ගුණ ගායනා කරති. පරිසරය ආරක්ෂා කිරීමට ආකර්ෂණීය වදන් යොදා විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරති. බොහෝවිට පරිසර විෂය ජනාධිපතිවරයා සතු කරගන්නේද පරිසරය ආරක්ෂා කර ගැනීමටය. එසේනම් එය කොතරම් දුරට එය සිදුවූවාද යන්න අපි දෙවරක් සිතා බැලිය යුතුය. මේ විනාශයන් බලධාරීන්ට නොපෙනේද? නැත්නම් පෙනි පෙනී නොදකින න්‍යායද? යන්න ජනතාවට ප‍්‍රශ්නයක් වී ඇත්තේ ද දිගු කලක සිටය. මේ සම්බන්ධව අදහස් දක්වන හරිත පරපුර පරිසර සංවිධානයේ සභාපති සුරංග සුභාෂණ මහතා –

බළධාරීන් නොදකින දැදුරු ඔය විනාශය…පෙනි පෙනී නොදකින ෂේප් න්‍යාය මේකයි

”අපි පරිසර සංවිධානයක් ලෙස අසරණ වෙලා. මොකද මේ පිළිබඳව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු පිරිස් ජාවාරම්කරුවන් සමග ගැටීම නිසා. නමුත් කරන්න කිසිම දෙයක් නැහැ තව ටික දවසකින් දැදුරු ඔයක් නැති වෙනවා. ඒක තමා ඇත්ත කතාව. අපි දැදුරු ඔය ආසන්නයේ පදිංචිකරුවන් නොවෙයි. නමුත් ඒ ප‍්‍රදේශ නිරන්තරයෙන් අපේ අවධානයට යොමු වෙනවා. ඒ හැම අවස්ථාවකදීම ජාවාරම්කරුවන් ඔවුන්ගේ ආධිපත්‍ය පතුරවමින් මේ ජාවාරම සිදුකරනවා. අපිට කනගාටුව නීතිය ක‍්‍රියාත්මක කරන්න ඉන්න උදවිය මේ අයගේ සාක්කුවට බහින තැනට වැටිල ඉන්න එකයි.

බළධාරීන් නොදකින දැදුරු ඔය විනාශය…පෙනි පෙනී නොදකින ෂේප් න්‍යාය මේකයි

හරිත පරපුර පරිසර සංවිධානයේ ලේකම් – දිලංක සේනානායක මහතා –

”දැදුරු ඔය තුළ තියෙන්නේ සම්පූර්ණයෙන් ජාවාරමක්. අපි මේ විනාශයට චෝදනා එල්ල කරන්නේ ඝෘජුවම පොලිසියට එය බරපතළ තත්වයක්. මොකද පොලිසිය මේ වැලි ජාවාරම එයාලාගේ ව්‍යාපාරයක් කරගෙන. මේ නිසා අද දැදුරු ඔය ජාවාරම්කරුවන් නිදහසේ වනසනවා.

වැලි ජාවාරම්කරුවන් දැදුරු ඔය බදු ගත්ත ගානට දැන් වැඩ. පුදුම අපරාධයක් මේ පරිසර පද්ධතියට නීතිය රකින පිරිස් එකතු වෙලා කරන්න.

දැදුරු ඔයට කිසිදු වැලි කැණීමක් කරන්න එපා කියලා අධිකරණ නියෝගයක් ලබා දී තිබියදී තමා මේ තත්ත්වය වෙන්නේ. මේ පිළිබඳව අපි දිගින් දිගටම පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා සේම අනිකුත් ප‍්‍රධානීන්වත් දැනුවත් කර තියෙනවා. එසේ තිබියදී තමා මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ.

දැදුරු ඔය ආසන්නයේ පදිංචිව සිටින ටී. එම්. ලයනල් අප්පුහාමි මහතා –

” අපි කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන මිනිස්සු. නමුත් අද දැදුරු ඔයේ වැලි ගොඩදාන ජාවාරම්කරුවන් නිසා අපේ පොල්, කෙසෙල් වගාවන් සියල්ලම එක්ක පදිංචි ඉඩමෙන් කොටසක් දැදුරු ඔයට බිලි වෙලා. දැන් ජීවත් වෙන්න තිබුන කෙසෙල් ගස් ටිකයි පොල් ගස් ටිකයි නැති වෙද්දී අපි දවස් කුලියට තැන් තැන්වල වැඩට යනවා. මේ විනාශය නවතා දමන්න පොලිසියට වාගේම අනිත් වගකිව යුතු නිලධාරීන් කටයුතු කරන්න සූදානමක් නැහැ. ජාවාරම්කරුවන් වැලි වලින් සල්ලි හොයලා මාලිගා හදලා සතුටින් ජීවත් වෙනවා. ඒ කිසිම විනාශයක් නොකරපු අපි පව් ගෙවනවා. මේ රට අද දේශපාලඥයන් නිසා විනශ වෙමින් පවතිනවා.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment