බ්‍රසීලයේ කෝලාහලවලට එරෙහිව මහජන විරෝධතාවක්

269

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් විසින් බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා නගරයේ පිහිටි පාර්ලිමේන්තුව වන ජාතික කොංග්‍රස් ගොඩනැගිල්ල ඇතුළු රජයේ ආයතනවලට කඩා වැදී දේපලවලට හානි කරමින් සිදු කළ විරෝධතාවයට විරෝධය පාමින් කෝපයට පත් දස දහස් ගණනක් වන බ්‍රසීල ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට සහය පළ කරමින් රට පුරා නගරවල ඊයේ (10දා) දිනයේ විරෝධතා රැලි පවත්වා තිබේ.

බ්‍රසීලයේ විශාලතම නගරය වන සාඕ පවුලෝ නගරයේ විරෝධතා රැලිවලට සහභාගී වූ ජනතාව එක හඬින් පවසා ඇත්තේ කෝලාහලකරුවන් පිටුපස සිටින බවට අනාවරණය වී ඇති රටේ හිටපු ජනපති බොල්සොනාරෝ සිරගෙදරට යැවිය යුතු බවයි.

ඉකුත් ඔක්තෝබර් මාසයේදී බ්‍රසීලයේ පැවති මහා මැතිවරණයෙන් දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු ජනපති බොල්සොනාරෝ පරාජයට පත් වූ අතර ඔහුගේ පරාජය පිටුපස මැතිවරණ වංචාවන් පවතින බවට චෝදනා කරමින් හිටපු ජනපතිගේ ආධාරකරුවෝ දහස් ගණනක් ඉකුත් ඉරිදා දිනයේ රටේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ශ්‍රේෂ්ඨාධිකරණය, ජනපති මැඳුර ඇතුළු රජයේ ආයතන වෙත කඩා වැදී දේපලවලට හානි සිදු කර ඇති අතර පොලිසිය ඇතුළු ආරක්ෂක හමුදාවන් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණි. විරෝධතාවයට සහභාගී වූ 1500ක් පමණ දෙනා මේ වන පොලිස් අත්අඩංගුවට පත්ව සිටි. බ්‍රසීලයේ පැවති මහා මැතිවරණයෙන් ජයගත් නව ජනපති ලුස් ඉනාසියෝ ලුලා ද සිල්වා සහ රටේ ආණ්ඩුකාරවරු පෙරේදා (09දා) සවස කෝලාහලකරුවන් විසින් පහරදී හානි සිදු කළ ජාතික කොන්ග්‍රස් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ජනපති මැදුර ප්‍රමුඛ ආයතනවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගය දැඩි සේ හෙළා දැක තිබේ.

සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වා දී ඇති ඔවුහු සිද්ධියට සම්බන්ධ වරදකරුවන් කඩිනමින් නීතිය හමුවට පමුණුවන බවට ප්‍රතිඥා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment