බ්‍රසීලය සහ පෘතුගාලය අවසන් 16 ට

214

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ අදියර යටතේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම කණ්ඩායම් 16 වටය සඳහා සුදුසුකම් ලැබීමට බ්‍රසීලය සහ පෘතුගාලය සමත් විය.

පෙරේදා (28) පැවති තරගයේ දී ස්විට්සර්ලන්ත කණ්ඩායම පරාජය කරමින් ලද ජයග්‍රහණය සමඟ බ්‍රසීලය එම දක්ෂතාවය දැක්වූ අතර පෘතුගාලය ඊයේ අලුයම උරුගුවේ කණ්ඩායම පරාජය කරමින් ඒ සඳහා සුදුසුකම් ලැබීය.

පෘතුගාලය සහ බ්‍රසීලයට අමතරව පසුගිය වර ලෝක ශූරයන් වූ ප්‍රංශය අවසන් 16 අතරට සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම වේ.

ස්විට්සර්ලන්තයට පරාජය

බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතර පෙරේදා (28) පැවති තරඟය 1-0ක් ලෙස ජය ගැනීමට බ්‍රසීලය සමත් විය. කටාර් හි 974 ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවති අතර පළමු අර්ධය නිමාවන විට කණ්ඩායම් දෙකටම එකම ගෝලයක් හෝ ලබාගැනීමට නොහැකි විය.

එහෙත් තරගයේ 83 වැනි විනාඩියේදී ස්විට්සර්ලන්තයට කඳුළු ගෙන එමින් බ්‍රසීලය ගෝලයක් ලැබීය.

පෘතුගාලය වාඩුව ගනියි

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය යටතේ තරගයකදී තම කණ්ඩායම 2-1 ක් ලෙස පරාජය කිරීමට උරුගුවේ කණ්ඩායම සමත් වීමේ වාඩුව මෙවර තරගාවලියේ දී ලබා ගැනීමට පෘතුගාලය ඊයේ සමත් විය.

2-0ක් ලෙස උරුගුවේ කණ්ඩායම පරාජය කරමින් පෘතුගාලය ඊයේ එම ජයග්‍රහණය ලැබීය.

කැමරුන් සහ සර්බියාවෙන් ගෝල් වැස්සක්

සර්බියාව සහ කැමරුන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කණ්ඩායම් දෙකම හොඳින් ගෝල් වාර්තා කළද තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි විය. ඒ අනුව තරගය අවසන් වනවිට දෙපිලම ගෝල් 3ක් බැගින් ලබා තිබුණි.

තවත් පෙරළියක්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිදු වූ පෙරළිකාර තරග අතරට දකුණු කොරියාව සහ ඝානාව අතර පැවති තරගය ද එක්විය. පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින කණ්ඩායමක් වන දකුණු කොරියාව පරාජය කරමින් 3-2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඝානාව සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment