‘බ්‍රැඩ්බී පළිහ’ සටනේ පළමු තරග ජය රාජකීයයන්ට

165

තනි අශ්වයකුගේ ධාවන තරගයක ස්වරූපයක් ප්‍රදර්ශනය කරමින් ඉකුත් සෙනසුරාදා (20) කොළඹ දී නිමාව දුටු ‘බ්‍රැඩ්බී පළිහ’ සටනේ පළමු අදියර ලකුණු 29 – 00 ක් ලෙස ජය ගැනීමට රාජකීය විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ, සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයා වන මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින්ය.

ගෝල් දිනුම් 03 ක් සහ එක් උත්සාහක දිනුමක් සමග දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් රාජකීය විදුහල තම ලකුණු 29 ක එකතුව සටහන් කර ගත්තේය.

රාජකීය සහ ත්‍රිත්ව යන දෙවිදුහල් අතර 76 වැනි වර්ෂයට ක්‍රියාත්මක කෙරෙන ‘බ්‍රැඩ්බී පළිහ’ පළමු අදියර ජයග්‍රහණය කිරීමට සමත් වීමත් සමගම එළඹෙන සැප්තැම්බර් මස 03 දින පල්ලෙකැලේ දී ක්‍රියාත්මක කෙරෙන දෙවන අදියර ආරම්භ කිරීමටත් මත්තෙන් ලකුණු 29 කින් පෙරමුණ ගැනීමට රාජකීය විදුහල ට හැකියාව ලැබිණි.

කොළඹ හතේ පදනම් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ පිටියේදී පැවති මෙම තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කළ ද එම තත්ත්වය මුල සිටම දක්නට නොලැබීම මෙවර තරගයේ විශේෂත්වයක් විය.

‘ඩයලොග් අභියෝග කුසලාන’ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු මෙවර දේශීය ප්‍රමුඛ පෙළ පාසල් අවුරුදු 20න් පහළ තරගාවලියේ දී ලත් එක් ලකුණක සියුම් පරාජයේ වාඩුව ගැනීමේ අවස්ථාවක් ලෙස ද මෙම ජයග්‍රහණය රාජකීය විදුහල වෙතින් දිස් විය.

රාජකීය විදුහල් ජයග්‍රහණය වෙනුවෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වන්නට සමත් වූ නවීන් පෙරේරා 02 ෂෙනාල් අදිකාරම් 01 සහ දිනෙන් ගමගේ 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන ත්‍රිත්වයක් මගින් දඬුවම් පහරක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව එල්ල කිරීමට නබීල් යෙහියා ට හැකියාව ලැබිණි. නවීන් පෙරේරා සහ නබීල් යෙහියා ගේ නිවැරදි රිද්මය තරගය පුරා දක්නට ලැබීම ද කැපී පෙනුණි.

ප්‍රධාන විනිසුරු ඉෂංක අබේකෝන් මහතාගේ නලා හඬට අනුව මෙම තරගය ක්‍රියාත්මක කෙරුණු අතර 1983 වසරේ රාජකීය විදුහලට නායකත්වය දුන් ශ්‍රියාන් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් තරගය පැවැත්වුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment